යෝගාවචරයාට තමාගෙන් ලැබෙන උපකාරය

ඉද්ධිපාද ධර්මයන්ගේ බලය, ශක්තිය පුදුම සහිතය. භාවනා මනසිකාරය දියුණුවට පත්කර ගැනීම සඳහා දිරි දරන යෝගාවචරයා හට තම ඉදිරි ගමනට ප්‍රතිවිරෝධී විවිධ සිදුවීම්වලින් සිත රැකගැනීමට තමාටම ශක්තිය සැලසෙන්නේ තමා තුළ දියුණුවට පත්කර ගන්නා ඉද්ධිපාද ධර්මයන්ගේ බලයෙනි. එහෙයින් අපි මේ ඉද්ධිපාද දේශනාවකට සිත යොමු කරමු.

“චත්තාරො මෙ භික්ඛවෙ ඉද්ධිපාදා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා. කථං භාවිතාව භික්ඛවෙ චත්තාරො ඉද්ධිපාදා කථං බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා. ඉධ භික්ඛවෙ භික්ඛු චන්‍දසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, (අ) ඉති මෙ ඡන්‍දො න ච අතිලීනො භවිස්සති. (ආ) නව අතිපග්ගහිතො භවිස්සති. (ඇ) නව අජ්ඣත්තං සඞ්ඛිත්තො භවිස්සති. (ඈ) නව බහිද්ධා වික්ඛිත්තො භවිස්සති. (ඉ) පච්ඡා පුරෙ සඤ්ඤීච විහරති. යථා පුරෙ, තථාපච්ඡා. යථා පච්ඡා තථා පුරෙ. (ඊ) යථා අධො තථා උද්ධං, යථා උද්ධං තථා අධො. (උ) යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා. (ඌ) ඉතිවිවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති.”[1]

මේ සඳහන් වූයේ ඉද්ධිපාදයන් පිළිබඳ දේශනා පෙළකි. සංයුක්ත නිකායේ සෘද්ධිපාද සංයුක්තයේ මේ ධර්ම කොටස පිළිබඳ දේශනා රැසෙකි. අභිධර්මයේ සෘද්ධිපාද විභඞ්ගයේ හා විසුද්ධිමග්ගයේද විභාග රැසෙක් දක්නා ලැබේ. මෙහි ඉතා කෙටි හැඳින්වීමෙකි, දක්වනු ලබන්නේ.

ඒ මෙසේය :

  1. ඡන්‍ද ඉද්ධිපාදය
  2. චිත්ත ඉද්ධිපාදය
  3. විරිය ඉද්ධිපාදය
  4. විමංසා ඉද්ධිපාදය

යන ඉද්ධිපාද සතරයි.

ඉද්ධි පාද යන ශබ්ද දෙක්හි වෙන වෙන තේරුම් දෙකක් ඇතිබව පළමුවෙන් සිතේ තබාගත යුතුය. එයින් “ඉද්ධි” යන්නෙහි තේරුම ඉජ්ඣනය, සමෘද්ධිය, නිෂ්පත්තිය යනු ය. පාද යන්න හේතුව - උපකාරය යන අදහස් ඇත්තේය. එකල ඉද්ධිපාද යන්නෙහි සම්පූර්ණ අදහස නම් සමෘද්ධවීමට උපකාර ධර්මයෝ යනුය. මෙහි සමෘද්ධවීමට නම් ශමථ විදර්ශනා වශයෙන් ලැබෙන ඒ ඒ යෝග ක්‍රියා සමූහය පිළිබඳ සමෘද්ධවීමට නිෂ්පත්තියට උපකාර වන බවය. ඒ නිෂ්පත්තිය පස් ආකාරයෙකින් පැහැදිලි වෙයි.

  1. අභිඤ්ඤෙය්‍ය ධර්මයන[2] පිළිබඳ අභිඤ්ඤ නිෂ්පත්තිය,
  2. පරිඤ්ඤෙය්‍ය ධර්මය[3] පිළිබඳ පරිඤ්ඤා නිෂ්පත්තිය,
  3. පහාතබ්බ[4] ධර්මය පිළිබඳ ප්‍රහාණ නිෂ්පත්තිය,
  4. සච්ඡිකාතබ්බ[5] ධර්මය පිළිබඳ සාක්ෂාත්කරණ නිෂ්පත්තිය,
  5. භාවෙතබ්බ[6] ධර්මයන් පිළිබඳ භාවනා නිෂ්පත්තිය, යනුවෙනි.

මෙසේ මේ සසුනෙහි යෝග කර්මයෙකින් සමෘද්ධවන මහද්ගත ලෝකෝත්තර ධර්ම සමූහය සාදාගැනීමට බලවත් උපාය ධර්ම සමූහය නම් ඉද්ධිපාද සතරයි. එනම් ඡන්ද (බලවත් ඕනෑකම), චිත්ත (පහළකර ගත් සිත), විරිය (උත්සාහය) සහ විමංසා (නුවණ) යන ධර්ම සතරයි.

දේශනාවේ මෙය සඳහන් වූයේ “සමාධි පධාන සංඛාර සමන්නාගත” යන වචනය සමගය, එහි “සමාධි” නම් දියුණුවට පත් චිත්තෙකග්ගතාවය. “පධාන සංඛාර” නම් සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයි. එසේ හෙයින් සමාධියෙන් හා වීර්‍ය්‍යයෙන් බලවත්ව යෙදුනු ඡන්දය ඡන්‍ද ඉද්ධිපාදයයි. සමාධියෙන් හා වීර්යයෙන් බලවත්ව යෙදුනු සිත-චිත්ත ඉද්ධිපාදයයි. සමාධියෙන් හා වීර්යයෙන් බලවත්ව යෙදුනු විරිය-විරිය ඉද්ධිපාදයයි. සමාධියෙන් හා වීර්යයෙන් බලවත්ව යෙදුනු නුවණ වීමංසා ඉද්ධිපාදයයි කියා තේරුම පැහැදිලි කරගත යුතුය.

මෙහිලා මේ අදහස නියතයෙන් සිත තබාගත යුතුය. එනම්: මේ ධ්‍යාන හා මාර්ග ඵල ධර්ම වන උත්තරි මනුෂ්‍ය ධර්මයෝ[7] යන්තමට ප්‍රකෘතියෙන් ලැබෙන ඡන්දයෙකින් හෝ වීර්යයෙකින් හෝ සිතෙකින් හෝ නුවණකින් හො අත්පත් කරගත හැකි නොවෙති. පලිබෝධ වශයෙන් ඉදිරිපත්වන කිසිම බාධකයෙකින් වළක්වාලිය නොහෙන අධිපතිභාවයට පත් වූ ඡන්දාදියෙකින්ම ලැබගත හැකි වෙති. එහෙයින් මේ ධර්මයෝ අධිපති ධර්ම වශයෙන්ම සලකා ගත යුතු වෙති.

සෘද්ධිපාදයන් වැඩෙන කරුණු 8 කි

සෘද්ධිපාදයන් තමාගේ සන්තානයෙහි වැඩි දියුණු කරගැනීමට මැනවින් සැලකිලිමත් විය යුතුය. ඒවා ඉබේට වැඩෙන ධර්මයෝ නොවෙති. බුදුන් රහතුන් ආදී උතුමන්ට මේවා වැඩී ඇති බව ඔබ දන්නවා ඇත. රහතුන් වහන්සේලා අතුරෙහි මහමුගලන් හිමියන්හට මේවා ඉතා හොඳින් දියුණුවට පත්ව ඇති වග සංයුක්ත සඟියේ ඉද්ධිපාද සංයුක්තයෙහි සඳහන් වී ඇත. මුලින් සඳහන් කළ 10 වෙනි සූත්‍රයෙහි වූ කරුණු අට අපි යළිත් පැහැදිලි කර ගැනීමට උත්සාහ ගනිමු. එහි සඳහන් කරුණු අටෙන් සතරක් අයින් කළයුතු කරුණුය. සතරක් දියුණුවට පත්කරගත යුතු කරුණුය.

එයින් අයින් කළයුතු කරුණු මෙසේය:-

  1. සෘද්ධිපාද සතරෙහි මැ අතිලීනතාව[8] දුරු කළයුතුය.
  2. සෘද්ධිපාද සතරෙහි මැ අතිපග්ගහිත බව[9] දුරු කළයුතුය.
  3. සෘද්ධිපාද සතරෙහි මැ අධ්‍යාත්මයෙහි සඞ්ඛිත්ත බව[10] දුරු කළයුතුය.
  4. සෘද්ධිපාද සතරෙහි මැ බහිද්ධා වික්ඛිත්ත බව[11] දුරු කළයුතුය.

දියුණුවට පත්කරගත යුතු කරුණු නම්:-

  1. සෘද්ධිපාද සතරෙහි මැ පච්ඡා පුරෙ සඤ්ඤා[12] ඇතිවගෙන විසිය යුතුය.
  2. සෘද්ධිපාද සතරෙහි මැ උඩ යට දෙකෙහි සම සිත් වැ විසිය යුතුය.
  3. සෘද්ධිපාද සතරෙහි මැ රෑ දාවල් දෙක සම සිත් වැ විසිය යුතුය.
  4. සෘද්ධිපාද සතරෙහි මැ විවෘත වූ නොබැඳුණු ප්‍රභා සහිත සිත් ඇතිවැ විසිය යුතුය.

යන සතරය.

මේ කරුණු අට මෙතැන් පටන් පැහැදිලි කරලීමට උත්සාහ ගනිමු. මෙහි මුල් කරුණු පෙළෙහිම පැහැදිලි කොට දක්වන ලද්දේ මෙසේයි.

  1. සංනි ----------පසාද කම්පන වග්ග 10 සූත්‍රය.

  2. විශිෂ්ටඥානයෙන් දතයුතු ධර්ම

  3. ත්‍රිලක්‍ෂණාවබෝධයෙන් දතයුතු ධර්ම

  4. ප්‍රහානය කළයුතු ඉවත්කළයුතු ධර්ම

  5. ප්‍රත්‍යක්‍ෂ කළයුතු ධර්ම

  6. වැඩියයුතු ධර්ම

  7. මනුෂ්‍ය ධර්‍මයන්ට වඩා උසස් ධර්‍ම

  8. අතිශයින් සැඟවුණු බව

  9. අතිශයින් උත්සාහවත් බව

  10. ඇතුළත හැකුළුණු බව

  11. බැහැරට විසිරුණු බව

  12. පෙර පසු නොවෙනස් හැඟීම