4. පග්ගහෙතබ්බ (උදව් දිය යුතු) චිත්තාවස්ථාව නම්:

එහි පග්ගහෙතබ්බ චිත්තාවස්ථාව නම්: සිතේ ලීනාවස්ථාව යි. ලීනවීමට හේතු වශයෙන් දක්වන ලද්දේ, “අතිසිථිල විරියාදීහි” යනුවෙනි. ඉතා සිථිල (ලිහිල්) වීර්‍ය්‍යය ඇති බව ආදීන් යනු එහි අර්ථය. වීර්‍ය්‍යය ඉතා ලිහිල්වීම නම් සෑහෙන තරම් වීර්‍ය්‍යය නොයොදා ලීමයි. එනම් කොසජ්ජයට වැටුණු දුබලකමයි. පමොදන[1], සංවේදන[2], විපරීතභාවයන්[3] ද සිත ලීනවීමට හේතුවන සැටි ටීකාකාර හිමියෝ දකිති. විරිය අඩුකමින් වැටුණු සිත ඔසවාලීමට ඒ අවස්ථාව තේරුම්ගෙන, පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය, සමාධි සම්බොජ්ඣඞ්ගය, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය, යන තුන ඒ අවස්ථාවේ නොවැඩිය යුතුය. ඒ අවස්ථාවේ වැඩිය යුත්තේ, ධම්මවිචය, විරිය, පීති, යන සම්බොජ්ඣඞ්ග තුන ය. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදමැයි. “මහණෙනි, පුරුෂ තෙමේ යම්සේ මඳ වූ ගින්න දල්වනු කැමැතිවේ ද, හෙතෙම ඒ මඳ ගින්නෙහි අළුත් තණ බහාලන්නේද, අලුත් ගොම බහාලන්නේ ද, අලුත් දර බහාලන්නේ ද, දිය මුසු වාතයන් දෙන්නේ ද පස් ඕනේද, මහණෙනි, ඒ පුරුෂ තෙම ඒ මඳගින්න දල්වන්නට පොහොසත්දැයි පුළුවුත්හු. වහන්ස, නොපොහොසතැ” යි ප්‍රතිවචන දුන්හ.

මහණෙනි, එපරිද්දෙන්ම යම් සමයෙකැ සිත හැකුළුනේ වේද, එසමයෙහි පස්සදධි සම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමට නොකළ, සමාධි සම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමට නොකළ, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමට නොකළ, එයට කාරණා කිම? මහණෙනි, සිත හැකුළුණේය. හේ පස්සද්ධි-සමාධි-උපෙක්ඛා යන ධර්මයන් නඟන්නට නොපිළිවන් වෙයි.

මහණෙනි, යම් සමයෙකැ සිත ලීන වේද, එසමයෙහි ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමට කල, විරිය සම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමට කල, පීති සම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමට කල, එයට හේතු කිම? මහණෙනි, සිත ලීනය. හේ ධම්මවිචය විරිය-පිති යන බෝධ්‍යඞ්ග ධර්මයෙන් සුවසේ නැගිය හැකි වෙයි. “මහණෙනි, පුරුෂ තෙමේ යම්සේ මඳ ගින්න දල්වනු කැමැති වේද, හෙතෙම ඒ මඳ ගින්නෙහි වියලි තණ බහාලන්නේද, වියලි ගොමත් බහාලන්නේ ද, වියලි දරත් බහාලන්නේ ද, මුවෙන් සුලං ඕනේ ද, නොද පස් ඕනේ ද, මහණෙනි, ඒ පුරුෂ තෙමේ ඒ මඳගින්න දල්වන්නට පොහොසත් වේදැ” යි පුළුවුත්හු. “වහන්ස එසේය”යි පිළිවදන් දුන්හු.[4]

මෙහි ධම්මවිචය සම්බොජ්ඣඞ්ගාදීන්ගේ ඉපදවීමත් වැඩීමත් සඳහා ඒ ධර්මයන් පහළකරන්නාවූ හේතූන් කෙරෙහි මනසිකාරය පැවැත්විය යුතු බව සැලකිය යුතු ය. වදාළේමැයි:- “අත්‍ථි භික්ඛවෙ කුසලාකුසලා ධම්මා, සාවජ්ජානවජ්ජාධම්මා, හීනප්පණීතා ධම්මා, කණ්හා සුක්ක සප්පටිභාගාධම්මා, තත්‍ථ යොනිසොමනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා ධම්මවිචය සම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ධම්මවිචය-සම්බොජ්ඣඞ්ගස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති”යි.

මහණෙනි, කුශලාකුශල ධර්මයෝ, සාවද්‍යඅනවද්‍ය ධර්මයෝ, හීන ප්‍රණීත ධර්මයෝ, කෘෂ්ණ ශුක්ල සප්‍රතිභාග ධර්මයෝ[5] ඇත්තාහ. එහි (ඒ ධර්මයන් කෙරෙහි) යෝනිසො මනසිකාරයේ යම් බොහෝ කිරීමෙක් ඇද්ද, මේ ප්‍රත්‍යය තෙමේ නොඋපන් හෝ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයාගේ උත්පාදය පිණිසද, උපන් හෝ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයාගේ නැවත නැවැත වැඩීම පිණිසද, විපුලබව පිණිස ද, වෘද්ධිය පිණිස ද සම්පූර්ණවන පිණිස ද, පවතියි යනු අදහස යි. මෙයින් ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය වැඩීමට කළයුත්තේ හමුවන තාක් ධර්මයන් එකක් නොහැර මනසිකාරය පැවැත්වීම බව ප්‍රකට වෙයි. විදර්ශනා භාවනාවේ දී මෙය මැනවින් ප්‍රකට වෙයි. එහි දී සිත ලීන වන විට නිකම් බලා නොසිට මෙනෙහි කිරීම වැඩි වැඩියෙන් කළයුතුයයි, උපදෙස් දෙන ලද්දේ ය. විදර්ශනා උපදෙසක් නොවන මෙහිදී කළයුත්තේ ද ධර්මසම්මර්ශනය මැයි.

“අත්‍ථි භික්ඛවෙ, ආරම්භධාතු[6] නික්ඛමධාතු[7] පරක්කමධාතු[8] තත්‍ථ යොනිසො මනසිකාර බහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා විරිය සම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය උප්පන්නසස වා විරිය සම්බොජ්ඣඞ්ගස්ස හිය්‍යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති” යනු විරිය සම්බොජ්ඣඞ්ගයේ ප්‍රත්‍ය දැක්වීමයි. එහි අදහස් මෙසේයි:

මහණෙනි, ආද්‍යාරම්භයෙහි[9] පැවැති වීර්‍ය්‍යය ඇත. කෞසීද්‍යයෙන්[10] නික්මුණු බලවත් වීර්‍ය්‍යය ඇත. මත්තට යන ඉතා බලවත් වීර්‍ය්‍යය ඇත. ඒ ආද්‍යාරම්භයෙහි පැවැති වීර්‍ය්‍යාදියෙහි යෝනිසො මනසිකාරයාගේ යම් බොහෝ කිරීමෙක් ඇද්ද, මේ ආහාරය තෙමේ නොඋපන් හෝ විරිය සම්බොජ්ඣඞ්ගයාගේ උපැදීම පිණිස ද, උපන් විරිය සම්බොජ්ඣඞ්ගයාගේ නැවත නැවත වැඩීම පිණිස ද, විපුල බව පිණිස ද, වෘද්ධිය පිණිස ද, සම්පූර්ණ වන පිණිසද පවතියි.

විරිය සම්බොජ්ඣඞ්ගයට හේතු දක්වන මේ පාඨයෙහි විරිය පිළිබඳ අවස්ථා තුනක් දැක්වූහ. “ආරම්භධාතු, නික්කමධාතු, පරක්කමධාතු” යනුවෙනි. මේ වීර්‍ය්‍ය තුන ක්‍රමයෙන් බලවත් බව සැලකිය යුතු ය. මේ වීර්‍ය්‍යතුන සිත්තුළ පහළවන අයුරින් මෙනෙහි කිරීම පැවැත්වීම මෙහි ප්‍රත්‍යය වශයෙන් දතයුතුය.

“අත්‍ථි භික්ඛවෙ, පීතිසම්බොජ්ඣඞ්ගට්ඨානියා ධම්ම තත්‍ථ යොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා පීති සම්බොජ්ඣඞ්ගස්ස උප්පාදය උප්පන්නස්සවා පීති සම්බොජ්ඣඞ්ගස්ස හිය්‍යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.”

'මහණෙනි, පීති සම්බොජ්ඣඞ්ගය උපදවාලීමට කරුණු වූ ධර්මයෝ ඇත්තාහ. එහි යෝනිසො මනසිකාරයාගේ යම් බහුල කිරීමෙක් වෙයිද, නූපන් පීති සම්බොජ්ඣඞ්ගයාගේ ඉපදීම පිණිසද, උපන් පීති සම්බොජ්ඣඞ්ගයාගේ නැවත නැවත වැඩීම පිණිස ද, විපුලභාවය[11] පිණිසද, වෘද්ධිය පිණිසද, සම්පූර්ණවන පිණිසද, මේ ආහාරය තෙමේ පවතියි.

ප්‍රීතිය උපදවන මනසිකාරයමැ පීති සම්බොජ්ඣඞ්ගට්ඨානිය ධර්ම[12] හෙයින් යම්සේ මෙනෙහි කරන්නාහට නොඋපන් පීති සම්බොජ්ඣඞ්ගය උපදී නම්, උපන් පීති සම්බොජ්ඣඞ්ගය නැවත නැවත වැඩේ නම්, භාවනායෙන් සම්පූර්ණ වේ නම්, ඒ යෝනිසො මනසිකාරයමැ මෙහි අදහස් කළ බව සැලකිය යුතු ය.

ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය නම් විදර්ශනා මනසිකාරය මැ වන හෙයින් “තත්‍ථ සභාවසාමඤ්ඤ ලක්ඛණපටිවෙධවසෙන පවත්තමනසිකාරො කුසලාදීසු යොනිසො මනසිකාරො නාම”[13] යනුවෙන් දක්වන ලදී.

තවද ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයාගේ උත්පාදය පිණිස ධර්මයෝ සත්දෙනෙක් උපකාර කෙරෙති. ඔවුහු නම්:-

  1. පරිපුච්ඡකතා: හාත්පසින් බැස විචාරන බව, පස්මහ සඟිය ඉගෙන ද ආචාර්‍ය්‍යයන් සේවනය කොට ඒ ඒ පදයාගේ අර්ථ විචාරන්නහුට ද අටුවා සහිත පඤ්චනිකාය හෝ ඉගෙන යම් ග්‍රන්ථි ස්ථාන[14] ඇත්නම් ඒ ඒ ස්ථාන “වහන්ස, මේ පදය කෙසේද? මේ පදයාගේ අර්ථ කවරේද?” යි විචාරන්නහුට ද ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය උපදියි යන අර්ථ යි.
  2. වත්ථු විසද කිරියතා: ආධ්‍යාත්මික බාහිර වස්තූන්ගේ නිර්මල බව කිරීම ය.
  3. ඉන්‍ද්‍රිය සමත්ත පටිපාදනතා: ඉඳුරන්ගේ සමබව පිළියෙල කිරීම ය.
  4. දුප්පඤ්ඤ පුග්ගල පරිවජ්ජනතා: බත් ගොඩකට වැදුණු කවුඩන්, මස් ගොඩකට වැදුණු සුනඛයන් මෙන් මෝහයෙන් මුළා වූ සත්ත්වයන් දුරින් දුරුකිරීම දුෂ්ප්‍රාඥයන් දුරු කිරීම නම් වේ.
  5. පඤ්ඤාවන්ත පුග්ගල සෙවනතා: පැණවත් පුඟුලන් සෙවීමය. ප්‍රඥාව පිණිස කෘතාධිකාර ඇති[15] සත්‍ය, ප්‍රතීත්‍ය සමුත්පාදාදියෙහි දක්ෂ ආචාර්‍ය්‍යයන් හෝ විදසුන් භාවනාකරන්නා වූ මහා ප්‍රාඥයන් කලින් කල සේවය කිරීමය.
  6. ගම්භීරඥානචරියා පච්චවෙක්ඛනතා: ගැඹුරු නැණැත්තන් විසින් අවබෝධ කටයුතු වූ ස්කන්ධ ධාතු ආයතන ප්‍රතීත්‍ය සමුත්පාදාදිය ප්‍රකාශ වන්නා වූ හෝ ශුන්‍යතා ප්‍රතිසංයුක්ත[16]වූ හෝ සූත්‍රාන්තයන් පස්විකීම[17]ය.
  7. තදධිමුත්තතා: ඒ ප්‍රඥායෙහි නිම්න ප්‍රවණ බවයි[18], යනුය.

විරිය සම්බොජ්ඣඞ්ගයාගේ උපදවීමට එකොළොස් ධර්ම කෙනෙක් කරුණු වෙති.

1. අපායභයාදි පච්චවෙක්ඛණතා: අපායාදිභය පස්විකන බවය, ආදී ශබ්දයෙන් ජාත්‍යාදී දුක් ගනු ලැබේ.

2. විරියායත්ත ලොකිය-ලොකුත්තර විසෙසාධිගමානිසංස දස්සිතා: වීර්‍ය්‍යයට අයත්වූ ලෞකික ලෝකෝත්තර ගුණ විශේෂාධිගමයන්ගේ අනුසස් දක්නා සුලු බවය.

3. ගමන වීථි පච්චචෙක්ඛණතා: බුදු පසේ බුදු මහසව් උතුමන් විසින් අධිගත වූ මාර්ගය මා විසින් යායුතු ය. හේද කුසීත වූවහු විසින් යා නො හැකියයි මෙසේ ගමන් මාර්ගය පස්විකන බවය.

4. දායකානං මහප්ඵලකරණෙන පිණ්ඩපාතාපචායනතා: ප්‍රත්‍යය දායකයන්ගේ සත්කාරයද, තමාගේ මනා ප්‍රතිපත්තිය ද, මහත්ඵල බව කිරීමෙන් පිණ්ඩපාතයට ප්‍රතිපූජා කරන බවය.

5. සත්‍ථු මහත්ත පච්චචෙක්ඛණතා: මගේ ශාස්තෲන්වහන්සේ විරියාරම්භයෙහි ගුණ කියන සුළුහ, උන්වහන්සේද නොඉක්මිය හැකි අනුශාසනා ඇති සේක. අපට බෙහෝ උපකාර ඇත්තෝව, ප්‍රතිපත්ති පූජාවෙන් පුදනු ලබන්නාහු පුදනු ලද්දාහු වෙති. අන් පරිද්දෙකින් නොවෙති යි, මෙසේ ශාස්තෲහුගේ මහත් බව පස්විකීම ය.

6. දායජ්ජ මහත්ත පච්චචෙක්ඛණතා: මා විසින් සද්ධර්මය යි කියන ලද මහා දායාදය ගතමනාය. එයද කුසීතව ගත නොහැකි යයි, මෙසේ දායාදය පිළිබඳ මහත් බව පස්විකන බව ය.

7. ථින මිද්ධ විනොදනතා: ථීන මිද්ධ නීවරණයන් දුරු කිරීම; මෙසේ දුරු කිරීමට ආලෝක සංඥා මනසිකාරය එක් උපායයෙකි. එළිමහන් පෙදෙසකට වී, එහිදී ලැබෙන ආලෝකයට දෙඇස යොමුකරමින් දෙඇස වසමින් යළිත් විවෘත කෙරෙමින් වසන විට දෙඇස වැසූවිටත් ආලෝකවත් වැ වැටහීම වෙයි එනම් එය ආලෝක සංඥාව පුරුදු කිරීම ය. ඉරියව් පෙරළීම දෙවන උපායයි. භාවනා මනසිකාරයෙහි යෙදෙන්නා ථින මිද්ධයක් තමාගේ සිත මැඩගෙන උපදාන බව දැනගත් විගස කලබල නොවිය යුතුය. තමා පුරුදු කරගෙන ඇති ආලෝක සංඥාව ඉදිරිපත් කරලීමට පුරුදු විය යුතුය. එයට සිත යොදා මද වේලාවක් ගෙවන විට ථින මිද්ධය නැතිවී, නිදිමතද නැතිවී යයි. මෙය සමථ භාවනාවේ යෙදෙන්නා විසින් කළයුතු ප්‍රථම කාර්‍ය්‍යයෙකි. විදර්ශනා භාවනා මනසිකාරයේ යෙදෙන්නා විසින් කළයුතු ප්‍රථම කාර්‍ය්‍යය නම් ථිනමිද්ධය තේරුම් ගෙන එය මැනවින් මෙනෙහි කිරීමයි. ශමථ භාවනාවේ යෙදෙන්නා පළමු කොට කරුණ තේරුම් ගෙන, තමා පුරුදුකළ ආලෝක සංඥාවක් ඉදිරිපත් කොටගෙන ටිකවේලාවක් කල් ගෙවිය යුතුය. එයින් ථින මිද්ධය ගෙවී යන්නට ඉඩ තිබේ.

යම්කිසි විදියකින් සම්පූර්ණයෙන් ගෙවීනොගියේ නම්, ඊළඟට කළයුතු වන්නේ ඉරියව් පෙරැළීමයි. විදර්ශනාවේ යෙදෙන්නා විසින් එය කළයුත්තේ මෙනෙහි කරමිනි. ශමථ යෝගාවචරයා විසින් ද එය මැනවින් තේරුම්ගෙන කිරීමමය සුදුසුවනුයේ. තුන්වැනි උපායනම්, එළිමහන් පෙදෙසෙකට වී භාවනා මනසිකාරයෙහි යෙදීමයි. මෙයටම උපාය වශයෙන් සිහිල්දියෙන් දෙඇස සේදීම, ඇස් ගුළි කරකැවීම, දෙකන් පිරිමැදීම, භය හෝ ප්‍රීතිය සිත් තුළ පහළ කර ගැනීම ආදී කරුණු සඳහන් කළහැකිය.

8. කුසීත පුග්ගල පරිවජ්ජනතා: අලසවූ, භාවනාවෙහි යම් පමණකුදු නොදන්නා, කායදඩ්ඪී බහුලවූ[19], සෙය්‍ය සුඛාදියෙහි[20] යෙදෙන, තීර්යක් කථාවෙහි[21] යෙදෙන පුඟුලන් දුරුකරන බවය.

9. ආරද්ධවිරිය පුග්ගල සෙවනතා: පිණ්ඩපාත කෘත්‍යාදි ආවශ්‍යක කර්තව්‍ය වේලාවන් හැර ඉතිරි දවල් කාලය ද, රාත්‍රියෙහි පෙරයම පසුයම යන අවස්ථා දෙකද, පර්යඞ්ක භාවනාව හා සක්මන භාවනාවද යන භාවනා දෙකින් දියුණු කළ භාවනා මනසිකාර කෘත්‍ය ඇති දෘඪවීර්‍ය්‍ය ඇති පුද්ගලයන් කලින් කල සේවනය කිරීමට ලැබීම.

10. සම්මප්පධාන පච්චවෙක්ඛණතා: සතර වැදෑරුම් සම්‍යක් ප්‍රධානයේ ආනුභාව පස්විකීම.

11. තදධිමුත්තතා: ඒ විරිය සම්බොජ්ඣඞ්ගයෙහි සියලු ඉරියව්වෙහිදීමැ ඉතා වැඩියෙන් සිත් සතන් නැමී පවත්නා බව යනුයි.

පීති සම්බොජ්ඣඞ්ගයේ උපදවීම පිණිස එකොළොස් ධර්ම කෙනෙක් කරුණු වෙති. ඔවුහු නම්:-

  1. -7. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති, උපසමානුස්සති යන මේ අනුස්සති භාවනාවන් පුරුදු කිරීම.
  2. ලූඛ පුග්ගල පරිවජ්ජනතා: බුදුරුවන් ආදියෙහි ප්‍රසාද ස්නේහ නැති බැවින් වියලී ගිය ආසයැති[22] පුද්ගලයන් දුරුකරන බවය.
  3. සිනිද්ධ පුග්ගල සෙවනතා: බුදුරුවන් ආදියෙහි ප්‍රසාද ස්නේහයෙන් සිනිඳු ළයැති පුඟුලන් සේවනය කිරීමය.
  4. පාසාදනීය සුත්තන්ත පච්චචෙක්ඛණතා: බුදුරුවන් ආදීන්ගේ ගුණ හඟවන සම්පසාදනීයාදී සූත්‍රාන්තයන් පස්විකන බවයි.
  5. තදධිමුත්තතා: ඒ ප්‍රීති සම්බොජ්ඣඞ්ගය ඉපදවීමෙහි අතිශයින් නැමීගිය සිත්සතන් ඇති බවය යන මොහුය.

මෙසේ මේ ආකාරයෙන් කුසලා දී විෂයයෙහි යෝනිසො මනසිකාරාදීන් ද, ධර්ම දැන්මය, අර්ථ දැන්මය යනාදී ධර්මයන් ද උපදවන්නා ධම්මවිචය සම්බොජ්ඣඞ්ගාදිය වඩන්නා නම් වෙයි.

චිත්තයාගේ පග්ගහෙතබ්බ අවස්ථාවෙහි[23] සිත පග්ගහය කරන්නේ මෙසේයි.

  1. සතුටුකරන

  2. සංවේගයට පත් කරන

  3. විකාර

  4. සංනි. බොජ්ඣඞ්ග

  5. අකුසල් සහ කුසල් වෙන් වෙන් වශයෙන්, ඒවායේ කළු-සුදු විපාක සහිතව

  6. කුසීත භාවයෙන් නැගී සිටින ස්වභාවය

  7. කුසීත භාවයෙන් නික්මෙන ස්වභාවය

  8. ප්‍රතිවිරුද්ධ ධර්‍මයන් මැඩලන ස්වභාවය

  9. මුල් ආරම්භයෙහි

  10. කුසීත බවින්

  11. මහත්බව

  12. සම්බොධියට උපකාර වන ධර්ම

  13. විම

  14. ගැටළුතැන්

  15. කරන ලද පින් ඇති

  16. ශුන්‍යතාව හා යෙදුනු

  17. ප්‍රත්‍යවේක්‍ෂාව, සලකා බැලීම

  18. නැමුණු, ඇලවුනු බව

  19. කය දැඩි කර ගැනීමෙහි යෙදුනු

  20. නිදි සුවය ආදියෙහි

  21. තිරච්ඡාන කථා නම්වූ කථා දෙතිස

  22. චිත්ත සන්තානය ඇති

  23. සිතට උදව් දිය යුතු අවස්ථාව