අරූපාවචර ධ්‍යාන

1. අජටාකාශය[1], පරිච්ඡින්නාකාශය[2], කසිණුග්ඝාටිමාකාශය[3], රූප කලාප පරිච්ඡේදාකාශය[4]යි ආකාශය සිවුවැදෑරුම් වෙයි. එහි ආකාසානඤ්චායතනය යන මෙහි අදහස් කරන ලද්දේ කසිණුග්ඝාටිමාකාශයයි. එය වනාහි අනන්ත වූ අජටාකාශය හා ඒකීභූත[5] වූ සේ වෙයි. යෝගාවචරයා විසිනු දු එය අනන්ත භාවයෙන් පතුරුවනු ලැබේ. එහෙයින් අනන්ත වූ ආකාශයනුයි, ආකාසානන්තො යනුවෙයි. උත්පාදාන්තයෙක්[6] හෝ ව්‍යයාන්තයෙක්[7] මොහුට නැතිනුයි නොපැනේනු යි. අනන්ත වේයයි කියන ලදී. ආකාසානන්තො එව - ආකාසානඤ්චං, ස්වාර්ථයෙහි ය ප්‍රත්‍යයෙන් සිද්ධ හෙයිනි. යම්සේ දෙවියන්ගේ වාසස්ථානයට දේවායතනයයි කියනු ලැබේද, එපරිද්දෙන් මැ මෙහිදු එහි අර්පණා ප්‍රාප්ත වූ සම්ප්‍රයුක්ත ධර්මයන් සහිතවූ ධ්‍යානයට, “පිහිටිතැන” යන තේරුමෙන් එයම ආකාසානන්තායතනයයි කියනු ලැබේ. “ආකාසානඤ්චං ආයතනමස්සාති - අකාසානඤ්චායතනං”යි වෙයි චිත්ත චෛතසික රාශියයි. “ආකාසානඤ්චායතනන්ති - ආකාසානඤ්චායතනං සමාපන්නස්සවා උප්පන්නස්සවා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා චිත්ත චෙතසිකා ධම්මා” හි විභංගයෙහි දේශනා කරණ ලදී. ආකාසානඤ්චායතනයෙහි පැවැති කුශල චිත්තය පළමුවන අරූපාවචර සිතවූ කුසල සිතයි.

2. විඤ්ඤාණචායතනය යන මෙහි විඤ්ඤාණය ආකාසානඤ්චායතන චිත්තයමැයි. එය වනාහි උත්පාදාන්තය ව්‍යයාන්තය යන අන්තයන්ගෙන් යුත් එකකි. එය අනන්තවූයේ කෙසේද? අනන්ත සංඥිත ආකාශයෙහි පවත්නා හෙයිනි. නොහොත් අන්ත ශබ්දය කොට්ඨාසාර්ථයෙහි වැටෙන්නේය. එහෙයින් තමාගේ උත්පාදාදීවූ කොටසුන් අතුරෙහි එක දේශයෙකැ නොපිහිටා සියල්ල පැතිරවීම් වශයෙන් එය අරමුණු කොට ඇති භාවනාව පවත්නා හෙයින් අනන්ත යයි කියනු ලැබේ. “අනන්තං විඤ්ඤානන්ති - විඤ්ඤාණානන්තං, විඤ්ඤාණානන්තමෙව - විඤ්ඤාණඤ්චං” නිරුත්තිනයෙනි. විඤ්ඤාණඤ්චං ආයතනමස්සාති - විඤ්ඤාණඤ්චායත නං, විඤ්ඤාණඤචායතන සංඛ්‍යාත වූ චිත්ත චෛතසික රාශියෙහි පැවැති කුසල චිත්තය විඤ්ඤාණාචායතන කුසල චිත්තයයි.

විඤ්ඤාණඤ්චායතනන්ති - විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්සවා - උපපන්නස්සවා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා චිත්ත චෙතසිකා ධම්මා”යි විභංගයෙහි දී දෙසන ලදමැයි. අනන්තං විඤ්ඤාණන්ති තදෙව විඤ්ඤාණං ඤාණෙන ඵුට්ඨං මනසිකරොති අනන්තං ඵරති”යි පාළි හෙයින් ඥානයෙන් ස්පර්ශකරන ලද්දාවූ ඒ විඤ්ඤාණය මෙනෙහි කෙරෙයි. අනන්ත යයි පැතිරගනියි.

3. ආකිඤ්චඤ්ඤායතන යන මෙහි “අකිඤ්චන - ආයතන යයි මූලය සැලකිය යුතුය. එහි අකිඤ්චන යන්නෙහි තේරුම කිසිවකුදු නැත යනුයි. ප්‍රථමාරූප්‍ය විඥානයෙන් කිසිදු ස්වල්පයකුදු මෙහි නැත. යන අදහස යි. “අකිඤ්චනස්සභාවො - ආකිඤ්චඤ්ඤං” යි ගත් කල්හි ආකිඤ්චඤ්ඤ නම් ප්‍රථමාරූප්‍ය විඥානයාගේ අභාවයයි. ආයතන ශබ්දය සම්බන්ධ කරන අයුරු පෙරමෙනි.

4. නෙවසඤ්ඤා නාසඤ්ඤායතන: ඖදාරික සංඥාව නැති හෙයින් නෙවසඤඤ්ඤාවූද, සූක්ෂ්ම සංඥාව නැත්තේ නැති හෙයින් නාසඤ්ඤාවූද චිත්ත චෛතසික ධර්මරාශිය පිහිටා ඇති කුසල චිත්තයය.

මේ අරූපසිත් ආරම්මණ භේදයෙන් සතරකට බෙදී ඇත. ඒ ආරම්මණය, අතික්‍රමණය කළයුතු[8] ආරම්මණ සතරය, අරමුණු කළ යුතු අරමුණු සතරයැයි දෙආකාරයකින් ලැබේ. එහි ප්‍රථමා රූප්‍යයෙහි රූපාවචර පඤ්චමධ්‍යානයේ අරමුණවූ කසිණ නිමිත්ත අතික්‍රමණය කළයුතුය. එය උගුළුවාලීමෙන් ලද ආකාසය අරමුණු කළයුතු විය. දෙවැන්නෙහි ප්‍රථමාරූප්‍යයාගේ අරමුණ වන ආකාසය අතික්‍රමණය කළයුතුය. ප්‍රථමා රූප්‍ය විඥානය අරමුණු කළ යුතුය. තුන්වැන්නෙහි ඒ ප්‍රථමාරූප්‍ය විඥානය අතික්‍රමණය කළ යුතුය. ඒ විඥානයේ අභාවය අරමුණු කළ යුතුය. සිව්වැන්නේ ඒ අභාවය අතික්‍රමණය කළ යුතුය. තුන්වන අරූප්‍ය විඥානය අරමුණු කළයුතුය.

  1. පටලැවීමක් නැති අහස

  2. කසිණයෙන් සීමාකරගත් අවකාශය

  3. පැතිරවූ කසිණාලෝකය අයින් කළ අහස

  4. රූපකලාපයකින් (රූපාංශු මිටියකින් තවත් රූප කලාපයක් වෙන්කොට සලකන ආකාශය, ඉඩ

  5. එකක් බවට පත්වූ

  6. ඇතිවීමේ කොනක්

  7. නැතිවීමේ කොනක්

  8. ඉක්මවිය යුතු