1. එහි වත්‍ථු විසදකිරියා නම්:

සිත් පවත්නා තැන් හෙයිනි සිරුර ද, සිරුර පිළිබඳ සිවුරු ආදීහුද වස්තු නම් වෙති. ඒවා යම් සේ සිතට සුව එළවාද, එසේ කිරීම විසද කරණ නම් වෙයි.

මෙහි වස්තූහු අධ්‍යාත්ම වස්තූය, බාහිර වස්තූය කියා දෙවැදෑරුම් වෙයි. එහි කෙස්, නිය, දත්, කන්, නැහැය, ඇඟපත යන මේවා අධ්‍යාත්ම වස්තූන් ය. එයින් කෙස්, නිය, ලොම් යන මේවා දික්වී ගොස් නම්, ඇස්, කන්, නැහැ ආදියෙහි රෝග ඇත්නම්, ඇඟ හෝ ඩහදිය මල ගන්නා ලද නම්, එකලැ අධ්‍යාත්ම වස්තු අවිශද වෙයි. අපිරිසිදු වෙයි. යම් කලෙක සිවුරු දිරායාමෙන් කිලිටි නම්, දුඟද හමා නම්, සෙනසුන හෝ කසළ සහිත නම්, පාත්‍රය වහන් සඟළ ආදී උපකරණ හෝ දිරාගොස් නො සකස් නම්, එකල බාහිර වස්තු අපිරිසිදු වූයේ වෙයි. මෙසේ ආධ්‍යාත්මිකවූ ද, බාහිරවූ ද වස්තූන් අපිරිසිදු කල්හි, නිශ්‍රයාදී ප්‍රත්‍යය වශයෙන් උපන් චිත්ත චෛතසිකයන් කෙරෙහි උපදනා ඥානය පිරිසිදු නොවේ. නොපිරිසිදු පහන් බඳුන්, වැටි, තෙල් නිසා උපන් පහන්දැල්ලේ එළිය නො පිරිසිදු වන්නාක් මෙනි. නොපිරිසිදු ඥානයෙන් සංස්කාරයන් සම්මර්ශනය කරන්නහුට සංස්කාරයෝ ප්‍රකට නොවන්නාහ. කමටහන්හි යෙදෙන්නහුගේ කමටහන ද වැඩීමට, දියුණුවට, විපුලබවට පත් නොවේ. අධ්‍යාත්මිකවූ ද, බාහිරවූ ද වස්තූන් පිරිසිදු කල්හි උපන් චිත්ත-චෛතසික ධර්මයන් කෙරෙහි ඥානයද විශද වේ. පිරිසිදු පහන් බඳුන්, පහන් වැටි තෙල් නිසා උපන් පහන් දැල්ලෙහි එළිය මෙනි. පිරිසිදු නුවණින් සංස්කාරයන් සම්මර්ශනය කරන්නහුට සංස්කාරයෝද ප්‍රකට වන්නාහ. ශමථ කමටහන ද වැඩීමට දියුණුවට විපුලබවට පත්වෙයි.