අයින් කළයුතු කරුණු

(1)

1. මෙසේ පිළිපැදීමෙන් මාගේ ඡන්දය අතිලීන නොවන්නේ යයි සලකා මැනවින් දැනගත යුතුය. යනු පළමුවන කරුණ යි. එය පෙළෙහිමැ පැහැදිලිව ඇති සැටි බලන්න.

“කතමොච භික්ඛවෙ අතීලීනො ඡන්‍දො? යො භික්ඛවෙ ඡන්‍දො කොසජ්ජ සහගතො. කොසජ්ජ සම්පයුත්තො අයං වුච්චති භික්ඛවෙ අතිලීනො ඡන්‍දො.”

“මහණෙනි, අතිලීන වූ ඡන්දය කවරේද? මහණෙනි, යම් ඡන්දයෙක් කුසීතකමින් යෙදුණු කුසීතකමින් එකතුවැ සැඟවී ගියේද, එය අතිලීන ඡන්‍දයයි කියනු ලැබේ.

යෝගාවචරයා කත්තුකම්‍යතා කුසලච්ඡන්‍දය සිත තුළ පහළ කරගෙන තමාගේ පුරුදු කමටහනෙහි යෙදී කමටහන මෙනෙහි කෙරෙමින් වාසය කෙරෙයි. මෙසේ මනසිකාරයෙහි යෙදීගෙන වසන ඔහුට නිදිමතින් මැඩීමෙකුත් නැති ව සිත කමටහනින් පිට පැන, එය සිතට එපාකම බලපානා බව දැනගන්නට ලැබෙයි. මේ දැනීම අතැමුන්ට කමටහනින් පිට පැන්න කෙණෙහි මැ දැනෙයි. සමහරුන් හට ටික වේලාවක් පසුවූ විට දැනෙයි. කමටහන් මෙනෙහි කරන්නට බැස්සේ කෙලෙසුන්ගේ බිහිසුණු ආදීනව රාශියක්, තමාහට මත්තට ලැබෙන්නට ඇති සසර දුක් රැසක් සිතට තදින් කාවද්දාගෙනමය.

එහෙත් මේ උනන්දු සිත සසර පුරුදු අනුව ගෙවී යයි. එහෙයින් මේ සිතේ ලීනතාව වහාම තේරුම් ගෙන මේ ලීනතාව යළි යළිත් වැඩීගිය හොත් සසර දුකින් නිදහස් වන්නේ කෙසේද? සතර අපායෙන් නිදහස් වන්නේ කෙසේද?” යන මේ ආකාරයෙන් සිතට තර්ජනය කොට යළිත් ඡන්දය සිත්තුළ පහළ කොට ගෙන භාවනා මනසිකාරයෙහි යෙදෙයි. මෙසේ ටික වේලාවක් භාවනා මනසිකාරයෙහි යෙදෙන විට යළිත් මුලදීමෙන්මැ සිතෙහි ලීනාකාරය පහළ වෙයි. යළිත් පෙරසේම අපාය භය ඉදිරිපත් කොට සිතට තර්ජනය කෙරෙමින් ඡන්දය සිත තුළ පහළ කරගනියි. මෙලෙසින් මොහුගේ මේ මනසිකාර අවස්ථාව කොසජ්ජය ගැවසීගත් හෙයින් කොසජ්ජ සහගත වෙයි. සිත කොසජ්ජය හා යෙදීමද මෙසේමැයි. මෙසේ කොසජ්ජ සහගත භාවය හා කොසජ්ජ සම්ප්‍රයුක්ත භාවයද ඡන්ද සම්ප්‍රයුක්ත සිතෙහි ලීනතාවයි. ඉද්ධිපාදය වැඩීමට නම් මේ ලීනතාව පහළ වන සැටි මැනවින් තේරුම් ගෙන ඒ හේතු අයින්කොටගෙන අලීන චිත්තයක් දිගටමැ දියුණු කරගත යුතුය. මෙයට සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ආවශ්‍යකය. එහෙයිනි හැම ඉද්ධිපාදයක් පාසාමැ “පධාන සංඛාර සමන්නාගත” යන්න යොදා දක්වන ලද්දේ.

තවද මේ ලීනතාවයට හේතු වූ කොසජ්ජය හා සම්ප්‍රයුක්ත සිත අට්ඨ කුසීත වත්ථු අනුවද පහළවීමට ඉඩ තිබේ. එබඳු අවස්ථාවලදී අට්ඨ විරියාරම්භ වත්ථුන් සිත් තුළ පහළ කර ගැන්මෙන් මෙය ඉවත් කර ගැනීමට යෝගාවචරයා සිහිනුවණින් ක්‍රියා කළයුතුය.

එහි කුසීත වත්ථු අට නම්:-

  1. ඉධාවුසො භික්ඛුනා කම්මං කාතබ්බං හොති, තස්ස එවං හොති, කම්මං ඛො කාතබ්බං භවිස්සති. කම්මං ඛො පන කරොතස්ස කයො කීලමිස්සති. හන්‍දාහං නිපජ්ජාමීති සො නිපජ්ජති. න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය, අසච්ජිකතස්ස සච්ඡිකිරියාය, ඉදං පඨමං කුසීත වත්‍ථු.
  2. පුනචපරං ආවුසො භික්ඛුනා කම්මං කතං හොති, තස්ස එවං හොති, “අහං ඛො පන කම්මං අකාසිං, කම්මං ඛො පන මෙ කරොන්තස්ස කායො කීලන්තො, හන්‍දාහං නිපජ්ජාමී” ති. සො නිපජ්ජති. න විරියං ආරභති -පෙ- සච්ඡිකිරියාය, ඉදං දුතියං කුසීත වත්‍ථු.
  3. පුනචපරං ආවුසො භික්ඛුනා මග්ගො ගන්තබ්බො හොති. තස්ස එවං හොති. “මග්ගො ඛො මෙ ගන්තබ්බො භවිස්සති මග්ගං ඛො පන මෙ ගච්ඡන්තස්ස කායො කිලමිස්සති හන්‍දාහං නිපජ්ජාමි ති සො නිපජ්ජති. න විරියං ආරභති. -පෙ- සච්ඡිකිරියාය ඉදං තතියං කුසිත වත්‍ථු.
  4. පුනචපරං ආවුසො භික්ඛුනො මග්ගො ගතො හොති. තස්ස එවං හොති, අහං ඛො මග්ගං අගමාසිං, මග්ගං ඛො පන ගච්ඡන්තස්ස කායො කිලන්තො -පෙ- ඉදං චතුත්‍ථං කුසීතවත්‍ථු.
  5. පුනචපරං ආවුසො භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො, න ලභති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්‍ථං පාරිපූරිං, තස්ස එවං හොති. අහංඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො නාලත්‍ථං ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්‍ථං පාරි පූරිං. තස්ස මෙ කායො කීලන්තො. අකම්මඤ්ඤා හන්‍දාහං නිපජ්ජාමි -පෙ- ඉදං පඤ්චමං කුසීත වත්‍ථු.
  6. පුනචපරං ආවුසො භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො ලභති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්‍ථං පාරිපූරිං. තස්ස එවං හොති “අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො අලත්‍ථං ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්‍ථං පාරිපූරිං. තස්ස මෙ කායො ගරුකො අකම්මඤ්ඤො මාසාචිතං මඤ්ඤෙ හන්දාහං නිපජ්ජාමි -පෙ- ඉදං ඡට්ඨං කුසීත වත්‍ථු.
  7. පුනචපරං ආවුසො භික්ඛුනො උප්පන්නො හොති අප්පමත්තකො ආබාධො තස්ස එවං හොති. උප්පන්නො ඛො මෙ අප්පමත්තකො ආබාධො, අත්‍ථි කප්පො නිපජ්ජිතුං -පෙ- ඉදං සත්තමං කුසිත වත්‍ථු.
  8. පුනචපරං ආවුසො භික්ඛු භික්ඛුනො ගිලානාවුට්ඨිතො හොති. අචිර වුට්ඨිතො ගෙලඤ්ඤා තස්ස එවං හොති. අහං ඛො ගිලානා වුට්ඨිතො. අචිර වුට්ඨිතො ගෙලඤ්ඤා තස්ස මෙ කායො දුබ්බලො අකම්මඤ්ඤො අත්‍ථි කප්පො නිපජ්ජිතුං -පෙ- ඉදං අට්ඨමං කුසීත වත්‍ථු.

1-2. මෙහි තේරුම මෙසේය. කුසීතකම සිතට නැගෙනා තැන් අටෙකි. එයින් පළමුවෙනි දෙවෙනි කුසීත වත්‍ථු දෙක කරන්නට ඇති වැඩක් සලකාත් කළවැඩ සලකාත් සිත් තුළ පහළ වන කෝසජ්ජයයි. යෝග භාවනා මනසිකාරයෙහි යෙදී වසන්නා කම්මාරාමාතාවෙන් මිදී විසිය යුතුය. එය ප්‍රථමයෙන්මැ ශුද්ධකර ගතයුතු කරුණෙකි. නැවත වැඩවලට අතගැසීමෙන් ද වැළකී විසිය යුතුය. අවශ්‍යයෙන් ම කරන්නට වැඩක් ඉදිරිපත් වුවහොත් එය සිතට නිතර නිතර නැගෙන විට එය ද පලිබෝධයෙකි.

පලිබෝධය එක්කෝ සිතින් ඉවත් කර දැමිය යුතුය. නැත්නම් කමටහන රැකෙන ලෙසින් එයකර අවසන් කර දැමිය යුතුය. “මටත් වැඩක් කරන්නට තිබේ. එය කරන්නට ගියවිට කයට පීඩාවෙයි. එහෙයින් මම කල් ඇතිවමැ මඳක් සැතපී ගනිමි”යි සැතපෙයි. භාවනා මනසිකාරයෙහි සිත නොයොදයි. පමාවෙයි. මෙසේ නැතිනම්, වැඩක් කර අවසන් වූ විට ද, “මම වැඩක් කළෙමි. මා වැඩෙහි යෙදුණු නිසා කයට පීඩා දැනුණා, එහෙයින් මඳක් දැන් සැතපෙමි”යි නිදාගනියි. භාවනා මනසිකාරයෙහි නොයෙදෙයි. පමාවෙයි. මේ අවස්ථා දෙකේදීමැ කුසීත කමින් සිත ලීනතාවයට පත්කරගෙන පිරිහෙයි. ඉද්ධිපාදයන් පිරිහෙලා ගනියි. මෙහිදී ඉද්ධිපාදයන් වඩා ගන්නට බලාපොරොත්තු වන යෝගාවචරයා විසින් කළයුත්තේ විරියාරම්භ වස්තු දෙක සලකාගෙන සිත කෝසජ්ජයෙන් මුදා ගැනීමයි. එයින් ඉද්ධිපාදයන්ගේ වැඩීම සිදුවෙයි. එහිදී සැලකිය යුත්තේ මෙසේයි. “මට වැඩක් කරන්නට තිබේ. එය කරනවිට මට භාවනාවේ නියම ලෙසින් යෙදෙන්නට ඉඩ නොලැබේ. එහෙයින් කල් ඇතිවැ භාවනා මනසිකාරයේ යෙදෙමි. වෙනදාට වඩා භාවනාවේ යෙදී ඉද්ධිපාදයන් දියුණුවට පත්කරගත යුතුය. එසේම වැඩක් අවසන් වූ විටද සැලකිය යුත්තේ “මා වැඩෙහි යෙදෙද්දී නියම ලෙසින් භාවනාවේ යෙදී ගතනුහුණු හෙයින් වැඩ අවසන් වූ දැන් පළමු අඩුපාඩුවත් සරිලනසේ වැඩියෙන් භාවනා මනසිකාරයෙහි යෙදීම සුදුසුය” යි සිතට ගෙන භාවනාවේ යෙදී ඉද්ධිපාදයන් දියුණුවට පත්කර ගැනීමයි.

3-4. තුන්වෙනි හා සිව්වෙනි කුසීත වස්තු නම්:- යන්නට තිබෙන ගමන සැලකීමෙනුත්, ගිය ගමන සැලකීමෙනුත් සිතෙහි කෝසජ්ජය පහළ කර ගැනීමයි. මෙසේ පහළ වෙන්නට ඉඩ ඇති ලීනතාව ඉද්ධිපාද දියුණුවට බාධාවෙකි. ගමන් පිළිබඳව සැලකිය යුත්තේ වැඩ පිළිබඳව සැලකූ ආකාරය මැයි. විරියාරම්භයන් සලකා ගෙන වැඩ වැඩියෙන් භාවනා මනසිකාරයෙහි යෙදී කෝසජ්ජයට ඉඩ නොතබා, ලීනතාව සිතින් බැහැරකොට ඉද්ධිපාදයන් දියුණුවට පත්කර ගැනීමට උනන්දු විය යුතුය.

5-6 කුසීත වස්තු නම්: කුසට සෑහෙන පමණ ආහාර නො ලැබීමත් ආහාර වැඩිවීමත් යන දෙකය. හොඳ යෝගාවචරයා සලකන්නේ, “අද මට සෑහෙන තරම් ආහාර ලැබුනේ නැත. එහෙයින් දැන් මාගේ සිරුර සැහැල්ලුය. දැන් භාවනා මනසිකාරයට සුදුසුය” යනුවෙනි. එසේ සලකා කුසීතකම මැඩගෙන සිතේ ලීනකමට ඉඩ නොතබා ඉද්ධිපාදයන් දියුණුවට පත්කරගත යුතුය කියාය. ආහාරය සෑහෙන්නට ලැබුණ විටද ඔහු විසින් සලකා බැලිය යුත්තේ මේ ආකාරයෙන් මැයි.

7-8 වෙනි කුසීත වස්තු නම්: සුළු ලෙඩක් හට ගත් අවස්ථාවේ හා ලෙඩක් සුවවූ අවස්ථාවේත් එය ම සිත කෝසජ්ජයෙන් වසා තබා ගැනීමයි. එබඳු අවසථාවේ නියම යෝගාවචරයා සලකන්නේ මේ හටගත් සුළු අසනීපය වැඩිවුවහොත් භාවනා මනසිකාරයට ඉඩ නොලැබේ. එහෙයින් දැන්මැ භාවනාවේ යෙදෙමියි උත්සාහ ගැනීමත් ලෙඩෙන් නැගීසිටිවිට ලෙඩ අවසථාවේදී වූ පාඩුව දැන්ම පිරිමසා ගන්නෙමි යි උත්සාහ ගැනීමත් එයින් ඉද්ධිපාදයන් දියුණුවට පත්කර ගැනීමත් සුදුසුය යනුවෙනි.

ඡන්දය කෝසජ්ජසහගත වීමෙන් මෙසේ ලීනතාව සිදුවන සැටි සලකා අලීනතාවෙන් ඡන්ද ඉද්ධිපාදය තමාගේ සන්තානයෙහි දියුණුවට පත්කරගත යුතු ය. මෙහිදී යෝගාවචරයා තමගේ මනසිකාරය මැනවින් පැවැත්විය යුතුය. එය අඩුපාඩු වීමෙන් මේ දියුණුවේ මාර්ගය වැළකී යන්නට ඉඩ තිබේ.

(2)

“න ච අති පග්ගහිතො භවිස්සති” යන්න ඡන්දයේ පිරිහීමට හේතුවන දෙවන කරුණයි. මේ යෝගාවචරයා තමාගේ ඡන්දය හිත ඇවිස්සී යන පමණට වැඩි නොකළ යුතු බව සලකයි. 1-2 “කතමො ච භික්ඛවෙ අතීපග්ගහිතො ඡන්‍දො, යො භික්ඛවෙ ඡන්‍දො උද්ධච්ච සහගතො උද්ධච්ච සම්පයුතො අයංවුච්චති. භික්ඛවෙ අතිපග්ගහිතො ඡන්‍දො” යනුවෙන් මෙය පැහැදිලි කරන ලදී. උද්ධච්චය නම් සිතේ නොසන්සුන් බවයි.

භාවනා – මනසිකාරය පිළිබඳ ඉදිරිගමන සාර්ථකවීමට යෝගාවචරයාගේ සිත් තුළ කරුණු රැසක්ම සම්පූර්ණ විය යුතුය. ආසන පරිචයෙන්[1] කය සකස් විය යුතුය. වීර්‍ය්‍යය සමාධියත් සමඟ දියුණුවට පත්විය යුතුය. සෙසු ඉන්‍ද්‍රියයන් ද දියුණුවී ඒකත්වයකින් පෙනී සිටිය යුතුය. මේ කිසිත් නොදත් ඇතැම් යෝගාවචරයෝ ඉක්මනින් ධ්‍යාන, මාර්ග, ඵල යන මේ උත්තරී මනුෂ්‍ය ධර්මයන් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වෙති.

තනිකර ඉක්මන්කමින් සිදුවනුයේ මෙහි සඳහන් උද්ධච්චය යි. එය ඡන්දය නිකම් අහක යාමට හේතුවන බලවත් වරදෙකි. මෙයින් ආරක්ෂා වියයුතු බවය මෙහි සඳහන් වන්නේ.

ඡන්දය උද්ධච්ච සහගත වන්නේ මෙසේයි:-

යෝගාවචරයා කුසලච්ඡන්දය සිය සන්තානයෙහි පහළ කොට ගෙන කමටහන මැනවින් මෙනෙහි කරමින් වාසය කෙරෙයි. සමාධියෙන් තොර ව වීර්‍ය්‍යය නිතර නිතර පැවැත්වීම හේතු කොට ගෙන ඔහුගේ සිත උද්ධච්චයෙහි පතනය වෙයි[2]. සිත විසිරෙයි. නොසන්සුන් කම බල පවත්වයි. ඇතැම්හු මෙය තේරුම් ගෙන එයට පිළියම් කරන්නට නොදනිති. එයින් මිරිකි මිරිකී කාලය ගෙවති. බලවත් වෙහෙසට ද පත්වන්නාහ. පිළිවෙත ගැන ද සැක උපදවන්නාහ. මෙය නියම ලෙසින් තේරුම් ගත් යෝගාවචරයා වහාම සිත දෙස සලකා බලා උද්ධච්චයෙහි සිත පතිතවී තිබන සැටි සලකා මුල් කමටහනෙන් සිත ඉවත්කොට ගෙන කලින් පුරුදු කළ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, කමටහනකට සිත යොමුකොට චිත්ත සම්පහංසනය කොට, එයින් සිතේ නොසන්සුන්කම ඉවත්වී ගියපසු යළිත් පුරුදු කමටහනටමැ සිත යොදා වාසය කෙරෙයි. ඔහුට යළිත් නොසන්සුන්කම පහළ වන්නට ඉඩ තිබේ. එහිදී පිළිපදින්නේ මෙලෙසටමය. මෙසේ මොහුගේ ඡන්දය නැවැත නැවතත් උද්ධච්චයෙන් ඇවිස්සී පවතිනා හෙයින් උද්ධච්ච සහගත වෙයි. ඡන්දය අති පග්ගහිත වෙයි. ඉද්ධිපාද තත්ත්වයට පත්කරගත නොහෙයි. මේ දෙවන කරුණයි.

(3)

“න ච අජ්ඣත්තං සංඛිත්තො භවිස්සති”, යනු තුන්වන කරුණයි. සතිපට්ඨාන සූත්‍ර අටුවාවේ වික්ඛිත්ත චිත්තයට පසට චිත්ත[3] යයිද, සංඛිත්ත චිත්තයට සංකුචිත චිත්ත[4]යයි ද සඳහන් කරන ලද්දේය. ඇතුළතමැ හැකිළී ගිය සිතට මේ වහරයි. එසේ නොවන හැටියට ඡන්දය දියුණුවට පත්කරගතයුතු බවය. මෙහි අදහසවන්නේ. 1-3, “කතමො ච භික්ඛවෙ අජ්ඣත්තං සංඛිතො ඡන්‍දො? යො භික්ඛවෙ ඡන්‍දො ථීන මිද්ධ සහගතො ථීන මිද්ධ සම්පයුත්තො අයං වුච්චති භික්ඛවෙ අජ්ඣත්තං සංඛිත්තො ඡන්‍දො” යනු එය පැහැදිලි කළ අයුරුයි.

දියුණුවට පත්කර ගත යුතු ඡන්දය ඇතුළතමැ හැකිළීයන්නේ ථිනමිද්ධ නීවරණය බලපෑම හේතු කොටගෙනය. කමටහනක සිත යොදා එය මෙනෙහි කරමින් වසන විට, නොදැනීමැ කමටහනින් සිත බැහැරට වැටෙයි. නින්දට වැටෙයි. එය බලවත්වැ පැමිණිවිට පළමු විදර්ශනා භාවනාවේ යෙදෙන යෝගාවචරයා කරන්නේ ඒ නිදිමත මෙනෙහි කිරීමය. එවිට එය නැතිව යයි. ශමථ භාවනාවෙක යෙදෙන්නාට එබඳු අන්දමක මෙනෙහි කිරීමක් නොමැති හෙයින් කළයුත්තේ නින්ද ආබව තේරුම් ගෙන ජලයෙන් මුහුණ සෝදාගෙන, දෙකන් මඳක් ඇද, පුහුණු කළ බණපද ටිකක් සජ්ඣායනා කොට නින්ද ඉවත් කර ගැනීමය. දවල් ගත් ආලෝක සඤ්ඤාවක් ඇතොත් එය මෙනෙහි කිරීමද ථිනමිද්ධය දුරු කරගැනීමට උපකාර වෙයි. මෙසේ කොට යළිත් ඡන්දය

මතුකොටගෙන භාවනා මනසිකාරයේ යෙදෙයි. යළිත් නින්ද පැමිණි විට මුලැදී කියන ලද පිළිවෙළින් කටයුතු කොට ථිනමිද්ධය දුරුකොට ගෙන, යළිත් ඡන්දය උපදවාගෙන භාවනා මනසිකාරයෙහි යෙදෙයි.

මෙසේ මේ යෝගාවචරයාගේ ඡන්දය නිතර නිතර ථිනමිද්ධයෙන් ගැවසී ගන්නා හෙයින් ථිනමිද්ධ සහගත නම් වෙයි. මෙයින් ඔහුගේ ඡන්දය ඉද්ධිපාදභාවයට පමුණුවාගත නොහැකි වෙයි. මෙය තේරුම් කරගෙන දිගට මැ ථිනමිද්ධයෙන් නොමැඩුණු ඡන්දයක් පවත්වා ගැනීමට උත්සහ ගතයුතු වෙයි. එකල එය ඉද්ධිපාද භාවයට පත්වන බව මෙයින් පහැදිලි කළබව සැලකිය යුතුවෙයි.

(4)

“න ච බහිද්ධා වික්ඛිත්තො භවිස්සති” - බැහැර කාම අරමුණෙහි වැදී ඡන්ද සම්ප්‍රයුක්ත චිත්තය තබා ගැනීමයි. කමටහනෙහි සිත යොදා වසන යෝගාවචරයාට නොදැනීම සිහින් කාම සංඥාවන්ද සිතෙහි බලපාන්නේය. එවිට ඉඩ ලැබුණහොත් බලවත් කාම සංඥාවන්ද සිතෙහි පහළ වන්නට ඉඩතිබේ. විදර්ශනා යෝගාවචරයා මෙනෙහි කිරීමෙන් එය පහසුවෙන් අයින්කර ගනියි. එයින් නොනැවතී දිගටම පවතිතොත්, ඔහු විසින්ද, ශමථ යෝගාවචරයා විසින්ද කාමාදීනවයන් හා අශුභාදිය හෝ මෙනෙහි කොට සිත යළිත් කමටහනට පමුණුවා ගතයුතුය. යළිත් එසේ කාමාරම්මණයෙහි[5] වැටුණහොත් නැවතත් එසේම පිළිපැද සිත කර්මක්ෂමකොට[6] ගෙන ඡන්දය පහළ කොට ගෙන කමටහන මෙනෙහි කරයි. මෙසේ දිගින් දිගට කාම අරමුණෙහි සිත වැටෙන හෙයින් ඉද්ධිපාදභාවයට පමුණුවාගත නොහැකි වෙයි. ඉද්ධිපාද භාවයට පමුණුවා ගැනීමට නම් මෙසේ ඡන්ද සම්ප්‍රයුක්ත සිත බැහැර අරමුණෙන් රැකගෙන කමටහනෙහිමැ තබාගත යුතුය. එය පැහැදිලි කෙළේ මෙසේය:-

1-4 “කතමොව භික්ඛවෙ බහිද්ධා වික්ඛිත්තො ඡන්‍දො? යො හි භික්ඛවෙ ඡන්‍දො බහිද්ධා පඤ්චකාම ගුණෙ ආරබ්භ අනුවික්ඛිත්තො අනුවිසටො අයං වුච්චති භික්ඛවෙ බහිද්ධා වික්ඛිත්තො ඡන්‍දො” යි මහණෙනි, බැහැර විසිරී ගිය ඡන්දය කවරේද? මහණෙනි, යම් ඡන්දයෙක් බැහැර පස්කම් ගුණෙහි විසිරී ගියේද, එහි පැතිරී ගියේද මහණෙනි, මේ ඡන්දය බැහැර වික්ඛිත්ත වූයේය කියනු ලැබෙයි.


මෙසේ අතිලීනතාව, අතිපග්ගහිතතාව, සංඛිත්තතාවය, වික්ඛිත්තතාව යන දෝස සතරෙන් සිත්හි ඡන්දය යොදා රැකගෙන භාවනා මනසිකාරය පවත්වන යෝගාවචරයාහට සන්තානයෙහි දියුණුවට පත්කරගතයුතු තවත් හොඳ ගුණයෝ සතර දෙනෙක් වන්නාහ.

ඔවුහු මෙසේයි:-

  1. පර්‍ය්‍යඞ්කයෙන් හිඳගැනීමට පුරුදුවීම

  2. වැටෙයි

  3. විසිරුණු සිත

  4. හැකුළුණු සිත

  5. කාම අරමුණෙහි

  6. කර්මයට යෝග්‍ය කොට කාර්‍ය්‍යයට ගැලපෙන පරිදි සකස් කොට