ඉන්‍ද්‍රියයන් සමබවට පත්කිරීම ය. සමබවට පත්කරගතයුතු වූ ඉන්‍ද්‍රියයෝ, සද්ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය, පඤ්ඤින්‍ද්‍රිය යයි පසෙකි. ඉදින් යෝගාවචරයාහට සද්ධින්‍ද්‍රිය බලවත් නම්, සෙසු ඉන්‍ද්‍රියයෝ මඳ වෙත් නම් මෙසේ සද්ධින්‍ද්‍රිය බලවත් බැවින් හා සෙසු ඉන්‍ද්‍රියයන් මඳ වීමෙන් විරියින්‍ද්‍රිය තෙමේ සම්ප්‍රයුක්ත ධර්ම[1]යනට අනුබලදීමෙන් ඔසවා තබා ගැනීමේ කෘත්‍යය කරන්නට නොපොහොසත් වේ. සතින්‍ද්‍රිය තෙමේ අරමුණට එළඹ සිටුනා කෘත්‍යය-අරමුණ නොහරනා කෘත්‍යය හෝ කරන්නට නොපොහොසත් වේ. සමාධින්‍ද්‍රිය තෙමේ සම්ප්‍රයුක්ත ධර්මයන් විසිරිය නොදී පවත්වන කෘත්‍යය කරන්නට නොපොහොසත් වේ. පඤ්ඤින්‍ද්‍රිය තෙමේ රූපාරම්මණයක් ඇසින් බලන්නා සේ ඇති පරිදි විෂය ස්වභාවය දක්නා කෘත්‍යය කරන්නට නොපොහොසත් වේ. මෙසේ කෘත්‍ය වශයෙන් අනූනඅනධික[2] වශයෙන් සමත්වය නැතිවීමෙන් වූ පරිහානිය වළක්වා ගැනීමට කළමනා ප්‍රතිකර්ම දෙකක් දක්වන ලද්දේය.
එයින් එකක් නම් ඉන්‍ද්‍රිය ධර්ම ස්වභාවය ප්‍රත්‍යවේක්ෂා කිරීම[3] යි. අදැහීමට සුදුසු වූ බුද්ධාදී වස්තූන් පිළිබඳ උදාරතාදී ගුණයෙහි[4] අධිමෝක්ෂය සාතිශය වැ පැවැත්මෙන් සද්ධින්‍ද්‍රිය බලවත්වී නම් ඒ වස්තූන් පිළිබඳ ප්‍රත්‍යසමුත්පන්නාදී විභාගය වෙන් වෙන්වැ ගෙන මෙනෙහි කිරීමය, මේ ප්‍රත්‍යාවේක්ෂාව. මෙසේ ධර්මතා නය[5] ස්වභාව[6] ස්වරස වශයෙන් පරිග්‍රහය[7] කරන කල්හි “මෙය දහමුන්ගේ ස්වභාවය” යන ප්‍රඥා ව්‍යාපාරය බලවත් බැවින් අධිමොක්ෂය පැතිරීම සහිත විය
නොහේ. ධුරීය දහමුන්[8] කෙරෙහි වනාහි යම්සේ ශ්‍රද්ධාවගේ බලවත් භාවයෙහි ප්‍රඥාවගේ මන්දභාවය වේද, එසේම ප්‍රඥාවගේ බලවත් භාවයෙහි ශ්‍රද්ධාවගේ මන්ද භාවය වේ යයි දත යුතු ය.”
අනෙක් කරුණ නම්, තමාගේ සද්ධින්‍ද්‍රිය වැඩීගියේ යම් ආකාරයෙකින් මෙනෙහි කිරීමෙන් නම්, ඒ ආකාරයෙන් මෙනෙහි කිරීම නවත්වාලීමෙන් ඒ වැඩී ගිය වේගය අඩු වන්නේ ය. එහි යෙදීම අඩු කළයුතුය. මේ අඩුකරන ක්‍රමය ද විරියාදී සෙසු ඉන්‍ද්‍රියයන් වැඩෙන සේ මෙනෙහි කිරීමෙන් සම රස භාවයට පමුණුවා ලීම යි. සෙසු ඉන්‍ද්‍රියයන් කෙරෙහිදු අඩුකරන සැටි මෙසේ යි. වක්කලී හිමියනට සද්ධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය ඉක්මැගෙන පැවැත්මෙන් අධිගමනයට බාධා පැමිණියේයි.
ඉදින් විරියින්‍ද්‍රිය බලවත් වී නම්, එකලැ සන්ධින්‍ද්‍රිය තෙමේ අධිමොක්ෂ කෘත්‍යය කිරීමට නොපොහොසත් වේ. සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය, පඤ්ඤින්‍ද්‍රියයෝ ද උපට්ඨාන කෘත්‍යය, අවික්ෂේප කෘත්‍යය, දර්ශන කෘත්‍යයන් කිරීමට නොපොහොසත් වෙති. මෙහි වැඩිවී ගිය විරියින්‍ද්‍රිය පස්සද්ධි, සමාධි, උපෙක්ඛාවන් වැඩෙනසේ මනසිකාරය පැවැත්වීමෙන් පහත හෙළිය යුතු ය. සෝණ හිමියනට විරියින්‍ද්‍රිය සෙසු ඉන්‍ද්‍රියන් ඉක්මැගෙන යාමෙන් අධිගමයට බාධාවී ගියේය. සෙසු ඉන්‍ද්‍රියයන් පිළිබඳව ද අන් ඉන්‍ද්‍රියයන් ඉක්මැගෙන වැඩීයාමෙන් වන හානිය මෙලෙසින් මැ සලකා ගත යුතුය.
මේ ඉන්‍ද්‍රිය ධර්මයන් පිළිබඳ වැ විශේෂ කරුණක් නම්, සද්ධා-පඤ්ඤා දෙකේ ද, සමාධි-විරිය දෙකේ ද සම භාවය පහළකර ගැනීමට මනසිකාර විධිය මෙහෙයවීමය. නුවණේ ක්‍රියාකාරිත්වය හීනවීමෙන් ශ්‍රද්ධාවගේ ක්‍රියාකරිත්වය වැඩීයාමෙන් හානි සිදුවෙයි. එයින් සිදුවන්නේ නොමනා තැනත් පැහැදීමය. සැදැහැ හීන වී නුවණ වැඩීමෙන්ද සිදුවන්නේ හානියෙකි. ඒ දෙක සම වීමෙන් සුදුසු තැන පැහැදීම සිදුවෙයි. සමාධිය බලවත් වී ඒ තරමට වීර්‍ය්‍යය අඩුවී නම්, එබන්දහු කොසජ්ජය මඩියි. සමාධිය කොසජ්ජයට පක්ෂ හෙයිනි. වීර්‍ය්‍යය බලවත් වී සමාධිය අඩුවී නම් එබන්දහු උදධච්චය මැඩලයි. වීර්‍ය්‍යය උද්ධච්චයට පක්ෂවන හෙයිනි. වීර්‍ය්‍යය හා එකට සමව යෙදූ සමාධිය කොසජ්ජයෙහි[9] වැටෙන්නට ඉඩ නොලබයි. සමාධිය හා එක්කොට සමව යෙදුනු වීර්‍ය්‍යය උද්ධච්චයෙහි වැටෙන්නට ඉඩ නොලබයි. ඒ දෙක සමකළ යුතු ය. දෙක සමවීමෙන් අර්පණාව වෙයි. තවද, ශමථ භාවනාවෙහි යෙදෙන්නා හට බලවත් ශ්‍රද්ධාව ප්‍රයෝජන සහිත වේ. එසේ මඳක් ශ්‍රද්ධාව බලවත් කල්හී “පඨවී පඨවී” යි කීපමණින් ධ්‍යාන නම් කෙසේ වන්නේදැයි නොසලකා ඒකන්තයෙන් බුදුන් විසින් කියන ලද මේ විදිය සිද්ධවන්නේ ම යයි අදහමින්, විශ්වාස කෙරෙමින්, අර්පණාවට පැමිණෙයි. ශමථ යෝගාවචරයාහට සමාධි පඤ්ඤාවෙන් ධ්‍යාන සමාධිය ප්‍රධානකොට ඇති බැවින් ඒකග්ගතාව බලවත්වීම වටියි. එසේ ඒකග්ගතාව මඳක් බලවත් ව පවත්නා කල්හි හෙතෙමේ අර්පණාවට පැමිණෙයි. විදර්ශනා යෝගාවචරයාහට ප්‍රඥාව බලවත්වීම සුදුසුවෙයි. එසේ ඇතිකල්හි හෙතෙමේ ලක්ෂණ ප්‍රතිවේධයට[10] පත්වෙයි.
යුගනද්ධ භාවනාවේදී[11] සමාධි ප්‍රඥා දෙක සම වැ ගෙනයා යුතු ය. එසේ නොවනවිට ශමථ යෝගාවචරයා හට සමාධිය බලවත් විය යුතු ය. විදර්ශනා යෝගාවචරයාට ප්‍රඥාව බලවත් විය යුතු ය. මෙසේ වීමෙන් සාර්ථක ප්‍රතිඵල සලසා ගත හැකි වෙයි.
සතින්‍ද්‍රිය වනාහි ලීන පක්ෂයෙහි සිටියාවූද, උද්ධච්ච පක්ෂයෙහි සිටියා වූ ද ඉන්‍ද්‍රියයන් විෂයෙහි බලවත්වීම සුදුසු වෙයි. ඒ එසේ මැයි:- සද්ධා, විරිය, පඤ්ඤා යන මේ තුන්දෙනා උද්ධච්චයට - සිතේ විසිරීමට පක්ෂය. සමාධිය කොසජ්ජයට පක්ෂය. සතිය මේ දෙකොටසින්මැ රැකගැනීමේ පිහිටි ශක්තියෙකින් යුක්ත වෙයි. උද්ධච්චයෙහි වැටෙන්නටද නොදෙයි. කොසජ්ජයෙහි වැටෙන්නටද නොදෙයි. එහෙයින් වදාළහ : “සති පන සබ්බත්‍ථිකා වුත්තා භගවතා, කිංකාරණා විත්තං හි සති පටිසරණං. ආරක්ඛාපච්චුපට්ඨානා ච සති. න විනා සතියා චිත්තස්ස පග්ගහ නිග්ගහො හොති”යි.[12]
-
ඒ හා එක්ව යෙදුනු ධර්‍ම ↑
-
නොඅඩු නොවැඩි ↑
-
නැවත හැරී බැලීම, සලකා බැලීම ↑
-
උදාරත්‍වය ආදි ගුණයෙහි ↑
-
ධර්‍ම ස්වභාවය පිළිබඳ න්‍යායය ↑
-
ස්වරස - (එහි) ආකාරය, (එහි) කෘත්‍යය ↑
-
වටහා ගැනීම ↑
-
යුගල වශයෙන් පවතින ධර්‍ම ↑
-
කුසීතකම ↑
-
අනිච්ච, දුක්ඛ, අනත්ත යන තිලකුණු විනිවිද දැකීම් ↑
-
ශමථ-විදර්‍ශනා එක්ව යෙදුණු භාවනාව ↑
-
වීම 96 පිට ↑