ධ්‍යාන (ඣාන) යන්නෙහි තේරුම කසිණාදි අරමුණු උපනිජ්ඣායනය (සලකා බැලීම) කරන්නා ද, ප්‍රතිවිරුද්ධ වූ නීවරණාදී ධර්මයන් දවන්නා ද කියා අදහස් දෙකක් දී තිබේ. මේ අරුත් දෙකෙහි මැ ඒකග්ගතාව හොඳට මැ යෙදී ඇත. ඒ ඒකග්ගතාව වනාහි ඒකත්වාරම්මණ[1] සංඛ්‍යාත වූ ඒක අග්‍රය. කෝටිය (කෙළවර) හෝ මොහුට යැ යන අර්ථයෙන් ඒකග්ග සංඛ්‍යාත වූ චිත්තය පිළිබඳවැ එසේ පැවැතුමෙහි ආධිපත්‍යගුණයෝගයෙන් එනමින් වහරනු ලබේ. ඒ ඒකග්ගතාව මැ සිත නන් අරමුණෙහි විසිරීයන්නට නො දී, එක් අරමුණෙහි ම ප්‍රතිපක්ෂ ධර්මයන් දුරුවීමෙන් මැනැවින් තබයි.
“සම්මා ආ ධීයතී ති” - සමාධි ඉන්‍ද්‍රියයන් පිළිබඳ සමභාවය කොට එහිම ලීනභාවයට ද උද්ධච්චභාවයට ද වැටෙන්නට ඉඩ නොදී සම වැ තබයි යන අර්ථයෙන් සමාධිය යි ද කියනු ලැබේ.[2] එයමැ පෙළෙහි “අවික්ඛෙපො[3] අවිසංහාරො[4] සණ්ඨිති[5] අවට්ඨිති[6]” යයි දක්වන ලදී. විතක්කාදිය වූ කලී එමැ ඒකග්ගතාවට අතිශයින් උපකාර හෙයින් ඣානය යි මැ කියන ලදී. ඒ එසේ මැයි:
1. විතර්කය වනාහි ථිනමිද්ධයට යටවී, පසු බස්නට නොදී දැඩිවැ අරමුණට සිත යොමු කෙරෙයි. විතර්කයේ ස්වභාවය අරමුණෙහි ඇතුළුවීම යි. එය ථීනමිද්ධයන්ට කෙළින් ම ප්‍රතිපක්ෂයි.
2. විචාරය විචිකිච්ඡාවෙන් සිතට හැලහැප්පෙන්නට ඉඩ නොදී, දැඩිව ඒ සිත අරමුණ අනුව බැඳුනක් ම කෙරෙයි. විචාරය අරමුණෙහි කිමිදීම ලක්ෂණ කොට ඇත්තේය. එය ප්‍රඥා ප්‍රකෘතිකයි. විචිකිච්ඡා නීවරණයට එක එල්ලේම ප්‍රතිපක්ෂය.
3. ප්‍රීතිය සිතට ව්‍යාපාද දෝෂයෙන් උකටලීවන්නට ඉඩ නොතබා අරමුණෙහි සතුටු වූවක්මැ කෙරෙයි. ප්‍රීතියේ ස්වභාවය අරමුණට ප්‍රිය කිරීමයි. එය ව්‍යාපාද නීවරණයට එක එල්ලේම ප්‍රතිපක්ෂය.
4. එසේම සුඛය උද්ධච්ච කුක්කුච්චයෙන් යටවී නොසන්සුන්කමකට වැටෙන්නට නොදී සිත, අරමුණේ දී ලත් මිහිර වැඩිදියුණුවට පත් කරයි. සුඛය ශාත ලක්ෂණ ඇත්තේය. උද්ධච්ච කුක්කුච්ච නීවරණයට එක එල්ලේම ප්‍රතිපක්ෂය.
5. උපෙක්ඛාව ශාන්ත ස්වභාවය ඇත්තේ ය. එහෙයින් සුඛයෙහි මැ සංග්‍රහ කරන ලදී. මෙසේ කරන්නාවූ ඒ ධර්මයෝ ඒ අරමුණෙහි ඒ සිතේ මැනවින් එකඟබව සඳහාමැ වෙති. ඒකග්ගභාවය නම් (එකඟ බව නම්) ඒකග්ගතාවමැයි. ඒ ඒකග්ගතාවද ඒ ධර්මයන්ගෙන් එසේ අනුග්‍රහ ලැබ අතිශයින් බලවත් වැ කාමච්ඡන්දය අනුව නොයෙක් අරමුණෙහි සිතේ දිවීම වළකා කසිණ නිමිත්තාදී ඒ ඒ අරමුණෙහි නිශ්චලව පිහිටා සිට ඒ අරමුණ වෙත එළැඹ බලයි. එහෙයින් ඒ සියලු ධර්මයෝ උපනිජ්ඣායන අර්ථයෙන් ධ්‍යාන යයි කියන ලදී.
ඒ ඒ ධර්මයන් එසේ පවත්නා කල්හි ඔවුනට ප්‍රතිපක්ෂ නීවරණ ධර්මයෝ අවකාශයක් නොලැබැ එහි පරියුට්ඨානයට[7] පත්වීමට නොහැකි වෙති. එහෙයින් දැවුණාහු වෙති. එහෙයින් ඒවාට ප්‍රතිපක්ෂයන් දවන තේරුම අනුව “ඣාන” යයි කියන ලදී. මෙය මෙසේ වතුදු යම් හෙයකින් ඣාන-මග්ග-සම්බොධි සංඛ්‍යාත ත්‍රිවිධ ස්ථානයන්හි ධර්මයන්ගේ සාමග්‍රය[8] ප්‍රධාන වේ ද, අඞ්ගයන්ගේ එකතුවෙහිදීම අර්පණාප්‍රාප්ති වශයෙන් උපනිජ්ඣායනාදී කෘත්‍යයන් සිදුවන හෙයිනි. යම් හෙයකින් ඒ ධර්මයෝ කියන ලද ක්‍රමයෙන් වෙන් වෙන් වැ තමන්ගේ කෘත්‍යයන් කරන්නාහුද, චිත්තය පිළිබඳ අරමුණෙහි නිශ්චල ප්‍රාප්ති සංඛ්‍යාත එක මැ උපනිජ්ඣායනය කරන්නාහුද, එහෙයින් රථයේ අවයවයන්ගේ සමුදායයෙහිම (එකතුවෙහිම) රථය යන වහරමෙන් ඔවුන්ගේ සමුදායයෙහිම ධ්‍යාන ව්‍යවහාරය සිද්ධයයි දතයුතුය.
මේ ධ්‍යානයන් පිළිබඳ අඞ්ගභේදය කරන ලද්දේ කවුරුන් විසින් ද යත්; එය කරන ලද්දේ පුද්ගලාධ්‍යාශයෙනි. යමෙක් විතර්කය සහාය කොට ගෙන පඤ්චාඞ්ගික[9] ධ්‍යානය උපදවාගෙන, ඒ ධ්‍යානයෙහි වසීභාවයද පහළකොට ගෙන යළි විතර්කයෙහි කළකිරේ නම් ඔහුට විතර්කය ඉක්මැගෙන විතර්කය නැති චතුරඞ්ගික[10] ධ්‍යානය ලැබ ගැනුමට අදහස පහළ වෙයි. එකල්හි හෙතෙම ඒ ප්‍රථමධ්‍යානය ම පාදකභාවය[11] පිණිස දැඩිවැ සමවැදී එයින් නැගී ඒ අධ්‍යාශයෙන් යුතුවමැ යළිත් භාවනාවෙහි යෙදනුයේ විතර්කයෙන් තොර චතුරඞ්ගික ධ්‍යානය ලැබැ ගනියි.
එහි ඒ භාවනාව විතර්කයෙන් යුතු වුව ද ඒ අදහසින් පරිභාවිත වූ හෙයින් විතර්ක විරාග භාවනා නම් වෙයි. ඒ භාවනාවේ බලයෙන් ඒ ධ්‍යානය උපදිනුයේ අවිතර්ක චතුරඞ්ගිකවැ මැයි. සෙසු ධ්‍යානයන් ලැබීමේ ද ක්‍රමය මෙයමැයි. මෙසේ පුද්ගලයාගේ අදහස අනුව ඒ ධ්‍යානයන්ගේ අඞ්ගභේදය සිදුවන සැටි සැලකිය යුතු ය. මෙහිදු මතු මත්තෙහි ධ්‍යානයන් ලැබගැනුමේදී එයට මුලින් වූ ධ්‍යානයට සමවැදීම අවශ්‍යයෙන් කැමැතිවිය යුතුය. “හෙට්ඨිමං හෙට්ඨිමං පගුණජ්ඣානං උපරිමස්ස උපරිමස්ස පදට්ඨානං හොති” යි යටින් ඇති ප්‍රගුණ වූ ධ්‍යානය මතුමත්තෙහි ධ්‍යානයට පදට්ඨාන[12] වේය යි අටුවාවේ කියන ලදී. අධ්‍යාශයයාගේ බලයෙන් ඉහළ ධ්‍යානය උපදිනුයේ පාදක ධ්‍යානයට සමානව නොවේ. පාදක ධ්‍යානයට වඩා පුද්ගලාධ්‍යාශය තෙමේ අතිශයින් බලවත් වෙයි. “ඉජ්ඣති භික්ඛවෙ සිලවතො චෙතොපණිධි විසුද්ධත්තා[13]” යි එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක්මැයි.
සමාධියක් දියුණු වීමට අංග 10 ක් ආවශ්‍යකය.
- අතීතානුධාවනං චිත්තං වික්ඛෙපානුපතිතං තං විවජ්ජයිත්‍වා එකට්ඨානෙ සමාදහති, එවම්පි චිත්තං වික්ඛෙපං න ගච්ඡති.
- අනාගත පාටිකංඛානං චිත්තං විකම්පිතං, තං විවජ්ජයිත්‍වා තත්ථෙව අධිමොචෙති, එවම්පි චිත්තං වික්ඛෙපං න ගච්ඡති.
- ලීනං චිත්තං කොසජ්ජානුපතිතං පග්ගණ්හිත්‍වා කොසජ්ජං පජහති, එවම්පි වික්ඛෙපං න ගච්ඡති.
- අති පග්ගහිතං චිත්තං උද්ධච්චානුපතිතං, තං නිග්ගණහිත්‍වා උදධච්චං පජහති.
- අභිනතං චිත්තං රාගානුපතිතං, තං සම්පජානො හුත්‍වා රාගං පජහති, එවමපි -පෙ-
- අපන්තං චිත්තං ඛ්‍යාපාදානුපතිතං, තං සම්පජානො හුත්‍වා ඛ්‍යාපදං පජහති, එවම්පි චිත්තං න වික්ඛෙපං ගච්ඡති. ඉමෙහි ඡහි ඨානෙහි පරිසුද්ධං චිත්තං පරියොදාතං එකත්තගතං හොති.
1. අතීතයට දිවෙන, එයින් වික්ෂේපයට වැටුණු යම් සිතෙක් වේ නම් එය නවත්වා එක් අරමුණෙක පිහිටුවයි. මෙසේත් සිත වික්ෂේපයට නො යයි.
2. අනාගතය පැතුමෙන් වෙසෙසින් සැලෙන යම් සිතෙක් වේ නම්, එය හැරදමා එහිම අධිමුවචනය[14] කෙරෙයි. මෙසේත් සිත වික්ෂේපයට නො යයි.
3. කුසීත කමින් ලීනවූ[15] යම් සිතෙක් වේ නම්, එය ඔසවාලමින් කුසීතකම දුරු කෙරෙයි. මෙසේත් සිත වික්ෂේපයට නොයයි.
4. ඉතා දැඩි කොටගත් උද්ධච්චයට[16] වැටුණු යම් සිතෙක් වේනම්, එය අඩුකොට විසිරිගිය ගතිය දුරුකෙරෙයි. මෙසේත් සිත වික්ෂේපයට නොයයි.
5. වෙසෙසින් නැමී රාගය අනුව ගිය යම් සිතෙක් වේද, එය මනා නුවණ පහළකර ගනිමින් රාගය දුරුකෙරෙයි. මෙසේත් සිත වික්ෂේපයට නොයයි.
6. නො නැමී ව්‍යාපාදයෙන් යුත් සිතෙක් වේ නම්, එය සම්පජඤ්ඤය පහළ කර ගනිමින් ඒ ව්‍යාපාදය දුරු කෙරෙයි. මෙසේත් සිත වික්ෂේපයට නො යෙයි. මේ කරුණු හය හේතු කොට ගෙන, පිරිසිදු වූ සිත බබළන සුළු වූයේ ඒකත්වයට ගියේ වෙයි[17].
මෙහි ඒකත්ව යයි කියන ලද්දේ සමාධියයි. එහි අඞ්ග සයක් ඇති බව ප්‍රකාශිතය. මෙහි කියන ලද ඒ අඞ්ගයන්ගේ පැහැදිලි තේරුම මෙසේයි:
- කමටහනෙහි යොදා ඇති සිත පසුගිය දේවල් කරා නො යාම.
- අනාගත පැතුම් සොයා නො දිවීම.
- ථීන මිද්ධය නිසා නො හැකිළීම.
- උද්ධච්චය නිසා නො විසිරීම.
- රාග අදහස්වලින් කිලිටි නො වීම.
- ව්‍යාපාදයෙන් නො ගැටීම, යන මේ කරුණු සයෙන් යුතුවැ කමටහන් අරමුණෙහි පවත්නා සිත සමාධියෙන් යුක්ත යයි කිව යුතු ය.
ඒ සිතෙහි සමාධිය තිබේ. එහෙයින් සිත සමාධිමත් යයි කිව යුතුය. එහෙත් ඒ සිත ධ්‍යානයෙන් යුක්තවූයේ නැත. ධ්‍යාන සිතක් වීමට තවත් ඔබ්බට දියුණුවිය යුතු ය. අර්පණා සිත යයි කියන්නේ ද මේ ධ්‍යාන සම්පන්න සිතටමය.
මෙම ඒකත්වය නම් වූ සමාධිය පුද්ගලානුරූපවැ අදහස් අනුවැ සතර ආකාරයෙකින් ලැබේ.
- දානවස්තු පරිත්‍යාගය නිසා පහළ වන චාගානුස්සති සමාධිය,
- සමථ නිමිත්ත එළැඹ සිටීමෙන් පහළ වන සමාධිය,
- භඞ්ග ලක්ෂණය එළැඹ සිටීමෙන් පහළ වන සමාධිය
- නිරෝධය එළැඹ සිටීමෙන් පහළ වන සමාධිය, යනු ඒ සතර ආකාරය යි.
එහි ප්‍රථමය උපචාර සමාධිය යි. දෙවැන්න අර්පණා සමාධියයි. තුන්වැන්න විදර්ශනා සමාධියයි. සිවුවැන්න මාර්ග සමාධි ඵල සමාධි යන දෙකයි. මෙසේ සැපයුණු සමාධිය මෙතෙකින් සම්පූර්ණ නොවේ. මෙය ප්‍රමාදය හේතු කොට ගෙන පිරිහීමට ඉඩ තිබේ. හානභාගිය[18] ධර්මයන් මෙහි ලා දැක්වීම සුදුසු යයි සලකමි.
“පඨමස්ස ඣානස්ස ලාභිං කාමසහගතා සඤ්ඤා මනිසිකාරා සමුදාචරන්ති, හානභාගියො ධම්මො -පෙ- දුතියස්ස ඣානස්ස ලාභිං විතක්ක සහගතා සඤ්ඤා මනසිකාරා සමුදාවරන්ති. භානභාගියො ධම්මො -පෙ- තතියස්ස ඣානස්ස ලාභිං පීති සහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති, භානභාගියො -පෙ- චතුත්‍ථස්ස ඣානස්ස ලාභිං සුඛ සහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති, භානභාගියො -පෙ-“
යනුවෙන් පටිසම්භිදා මග්ග පාළියෙහි දැක්වූ පරිදි, ප්‍රථම ධ්‍යානයේ පිරිහීමට කාමාරම්මණයක් සිත් තුළට බලපෑම ද ද්විතීය ධ්‍යානාදියේ පිරිහීමට ඒවාට මුලින් වූ ධ්‍යානාඞ්ග අරමුණු බලපෑම ද හේතුවන බව සැලැකිය යුතුය.
ධ්‍යාන සිතක් පිරිහීමට කරුණු තුනෙක් වෙයි.
- කෙලෙසුන් හා වික්ඛම්භනය කළ අංගයන්ගේ බලපෑම.
- අසප්පාය ක්‍රියාවන්හි යෙදීම.
- අනනුයෝගය.
යනුවෙනි.
1. කෙලෙසුන් හා ප්‍රහීනාඞ්ගයන්ගේ බලපෑමෙන් පිරිහීමේදී, එය බොහෝ වේගයෙන් සිදුවෙයි. අහසේ යන ධ්‍යානලාභියා කාමාරම්මණ හමුවීමෙන් පියාපත් දාගිය පක්ෂියකු සේ බිමට පතිත වෙයි. එහෙත් දියුණු වී තිබූ ශාන්ත ධර්මයේ බලයෙන් පතනයෙන් වන හානියකට භාජන නොවේ.
2. අසප්පාය ක්‍රියා[19] නම්: කම්මාරාමතාව[20], භස්සාරාමතාව[21], නිද්ධාරාමතාව[22], සංගණිකාරාමතාව[23], යන මේවා ය. ලබා දියුණු කරගත් ධ්‍යානයට අහිතකර මේ ක්‍රියාවන් නිසා පිරිහීම හෙමින් සිදුවෙයි. එහෙත් එය බිහිසුණුය. පිරිහුණු බව පවා සලකා ගන්නට නොහැකි වීමේ ස්වභාවයෙන් යටින් පිරිහීම සිදුවන හෙයිනි.
3. හටගත් ලෙඩ ය, ආහාර, සිවුරු, ආවාස යන මේ ආවශ්‍යක කරුණු නැතිකමය යන මේ පළිබෝධයෙන් පෙළීමෙන් නැවත නැවත, ඇති කරගත් තම ධ්‍යානයට සමවදින්නට නොහැකි වීම අනනුයෝගය[24] යි. මෙසේ පිරිහීමේ දී ද, පිරිහෙන්නේ හෙමිනි. පටිසම්භිදා මග්ග පාළියේ බලවත් හේතුව වශයෙන් දක්වන ලදදේ කෙලෙසුන්ගේ බලපෑමය. ද්විතීය ධ්‍යානාදියෙන් පිරිහීමේ දී යට යට ධ්‍යානාශාව බලපෑමෙන් සිදුවෙයි. තමා ලබාගත් ධ්‍යානයට යළිත් සමවැදීමට නොහැකිවී නම්, එවිට එය පිරිහීගිය බව දත යුතු ය. ලැබැගත් ධ්‍යානයෙහි මැ ආශාව පැවැත්වීමෙන් ඉහළ ධ්‍යානයට පැමිණිය හැකි නොවේ. එහෙයින් මෙහි දී යෝගාවචරයා නැණවත් විය යුතුය. විමසුම් සහිතව එහි යෙදිය යුතුය.
තමා ලැබූ සමාධිය පිරිහෙන්නට නොදී රැක ගැනීම හා ධ්‍යාන තත්ත්වයට පමුණුවා ගැනීම උපනිශ්‍රය බල ඇත්තවුන් හට එතරම් දුෂ්කර නැතත්, එබඳු බලය නැති හෝ අඩු හෝ ඇත්තවුන්හට එතරම් පහසු නැත. ඇතමුන් හට බොහෝ දුෂ්කර අවස්ථාවනට පත්වන්නට සිදුවන්නේය.
-
ඒකත්වාරම්මණ - ඒකත්‍වය අරමුණුවීම ↑
-
විභ. බු.ජ. 384 පිට ↑
-
නොවිසිරෙන බව ↑
-
ඉවතට ඇදී නොයන බව ↑
-
එකට සිටීම ↑
-
රඳා සිටීම ↑
-
නැඟී සිටීමට, ඉස්මතු වීමට ↑
-
සමඟි බව ↑
-
අඞ්ග පසකින් යුත් ↑
-
අඞ්ග හතරකින් යුත් ↑
-
පදනම් වීම ↑
-
ආසන්න කාරණය, පදනම ↑
-
අං. නි. අට්ඨකනි. ↑
-
නිශ්චිත අධිෂ්ඨානය ↑
-
අලසවූ ↑
-
සිතෙහි නොසන්සුන් බව ↑
-
පටිසං. බු. ජ. 316 ↑
-
පිරිහීම් පක්ෂයෙහි වූ ↑
-
අහිතකර ක්‍රියා ↑
-
වැඩෙහිම යෙදී කල් ගෙවීමට ඇති ඇල්ම ↑
-
කතාවෙහිම යෙදී කල්ගෙවීමට ඇති ඇල්ම ↑
-
නින්දෙන්ම කල්ගෙවීමට ඇති ඇල්ම ↑
-
පිරිසකට එක්වී කල් ගෙවීමට ඇති ඇල්ම ↑
-
නොයෙදීම ↑