(5)
“පච්ඡා පුරෙ සඤ්ඤීව විහරති” - පෙර පසු එක සමාන සංඥාවන් ඇතිව වාසය කෙරෙයි. එය විස්තරය කළේ මෙසේයි.
“කථඤ්ඤ භික්ඛවෙ භික්ඛු පච්ඡා පුරෙසඤ්ඤී ව විහරති යථා පුරෙ තථා පච්ඡා, යථා පච්ඡා තථා පුරෙ, ඉධ භික්ඛවෙ භික්ඛුනො පච්ඡා පුරෙ සඤ්ඤා සුග්ගහීතා හොති, සුමනයිකතා, සූපධාරීතා සුප්පටිවිද්ධා පඤ්ඤාය, එවං ඛො භික්ඛවෙ භික්ඛු පච්ඡා පුරෙ සඤ්ඤී විහරති. යථා පුරෙ තථා පච්ඡා යථා පච්ඡා තථා පුරෙ.”
“මහණෙනි යෝගාවචරයා සමසංඥා ඇතිවැගෙන කෙසේ වාසය කෙරේද? පළමු යම්සේද පසුවද එසේය. පසුව යම්සේ ද පළමුවද එසේය යනුවෙනි.
මහණෙනි, මේ සසුනෙහි මහණහට පසු පෙර සංඥාව මැනවින් ගන්නා ලදුව පවතීද, මැනවින් සලකන ලදුවැ පවතීද, මැනවින් මෙනෙහි කරන ලදු ව පවතීද, ප්‍රඥාවෙන් මැනවින් ප්‍රතිවේධ කරන ලදුවැ පවතීද, මහණෙනි, මෙසේ වනාහී පෙර යම්සේ ද පසුද එසේ ය. පසු යම්සේද පෙරද එසේය යනුවෙන් පසු පෙර සංඥා ඇතිව වාසය කෙරෙයි.
පෙර පසු සංඥාව යනුවෙන් දක්වන්නේ පෙර පටන් පසුවටත් පසුව පටන් පෙරටත් මැනවින් පැවති හැඳිනීම යි. මේ පෙර පසු බව දේශනා වශයෙන් නම් එක් ක්‍රමයෙකි. කමටහන වශයෙන් නම් වෙන ක්‍රමයෙකි. එහි කමටහන වශයෙන් පෙර පසු බව පැහැදිලි කරමු. කමටහනට ඇතුළුවීම පූර්වයයි. එයින් ලැබ ගත යුතු රහත් බව අගයි. (පසුවයි) ඒ මෙසේයි:- යෝගාවචරයා මූල කර්මස්ථානයෙකින් විදර්ශනාවට ඇතුළුවී, මනසිකාරය මැනවින් ගෙන යමින් ඡන්ද සම්ප්‍රයුක්ත සිත අතීලීනතාවෙන් වළකා, අතිපග්ගහිතතාවෙනුත් වළකා, ඇතුළත හැකිලී ගිය බැවිනුත් වළකා, බැහැර වික්ෂිප්ත භාවයෙනුත් වළකාගෙන, කුළු ගොනුන් බැඳ හසුරුවන්නාක් මෙන්ද සිවුරැස් ඝටිකාවක්[1] පැති සතරින් එක් පැත්තකද නො ගටා බස්සන්නාක් මෙන්ද, සතර තැනින් එක තැනක නො රඳා සංඛාරයන් සම්මර්ශනය කොට රහත් බවට පත්වෙයි. මේ තෙමේද “යථා පුරෙ තථා පචඡා” නම්වෙයි. අභිනිවේශයේ[2] පටන් වුට්ඨානය[3] දක්වා වැරදි පැති සතරින් නොකිලිටිවැ අවසන් කළ හෙයිනි. දේශනාව අනුව “පච්ඡා පුරෙ භාවය මෙසේයි:- එහි ද්වත්තිංසාකාර කමටහනෙහි “කෙසා” පූර්ව යයි ඇරඹීමයි. එහි මත්‍ථලුඞ්ගය පශ්චාත් නම් වෙයි. මේ අනුව යෝගාවචරයා කේශයෙන් විදර්ශනාවට ඇතුළු වී වර්ණාදී වී වශයෙන් කේසාදී කොටස් ව්‍යවස්ථා කෙරෙමින් මනසිකාරය පවත්වා ගෙන ගොස් මේ කිසිතැනෙකදී අතිලීනතාදී තැන් සතරින් එකකිනුදු විප්‍රකාරයට පත්නොවී මත්‍ථලුඞ්ගය දක්වා භාවනාව පමුණුවා පවත්වයි නම්, මේ පෙර යම්සේද, පසු එසේ යයි කියයුතු වන්නේය. පටන් ගැන්මේ පටන් අග දක්වා එසේ යයි කියයුතු වන්නේය. පටන් ගැන්මේ පටන් අග දක්වා ඡන්දය අතිලීනතාදී සතරට අනුවැ නොකෙලෙසුන හෙයිනි.
(6)
ඉහළ සේ පහළත් පහළ සේ ඉහළත් සමවැ මනසිකාරය පවත්වමින් වාසය කිරීම: මේ ඉහළ පහළ භේදය ගන්නේ ශරීරය අනුවය. එහෙයින්ම එය පැහැදිලි කොට දැක්වීමේ දී “උද්ධං පාදතලා අධො කෙස මත්‍ථකා” යනාදීන් දෙසූ සේක. මෙහි දෙයාකාරයකින් භාවනාව සම්පූර්ණ කෙරෙයි. දෙතිස් කොටස අනුව මුල පටන් අගටත්, අග පටන් මුලටත් අතිලීනතාදී ස්ථාන සතරෙන් එකක හෝ නොරැඳී භාවනාව මුදුන් පමුණුවාලීම එක් ක්‍රමයෙකි. අනෙක් ක්‍රමය නම්, පා ඇඟිලිවල අගපුරුකෙහි ඇටයේ පටන් ගෙන හිස් කබල දක්වාද, හිස් කබලේ පටන් ඇඟිලි ඇට දක්වා ද මනසිකාරය පැවැත්වීමේදී අතිලීනතාදී සතර පැත්තෙන් එක පැත්තක හෝ නොරැඳී භාවනාව මුදුන් පමුණුවාලීමය. ඇට රැස යට පටන් උඩටත්, උඩ පටන් යටටත් සලකන්නේ මෙසේයි:- ඇඟිලි පුරුක් ඇට, විළුම්ඇට, ගොප් ඇට, කෙණ්ඩා ඇට, කලවා ඇට, කටීඇට, පිටකටු ඇට, ගෙල ඇට, හිස්කබල් ඇට යන පිළිවළටය.
(7)
1-7 මහණෙනි, යෝගාවචරයා දවල් සේ රැයත්, රැයසේ දවාලත් ඉද්ධිපාදයන් වැඩෙන සේ කෙසේ වාසය කෙරේද? මේ සසුනෙහි යෝගාවචරයා යම් කොටසකින්, යම් සටහනෙකින්, යම් වැටහීමකින් දවල්හි ඡන්ද සමාධියෙන් හා ප්‍රධාන සංඛාරයන්ගෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙමේ ඒ කොටසින් ඒ සටහනින් ඒ වැටහීමෙන් රැයද ඡන්ද සමාධි ප්‍රධාන සංඛාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. යම් කොටසකින් යම් සටහනෙකින් යම් වැටහීමකින් රැයෙහි ඡන්ද සමාධි ප්‍රධාන සංඛාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙම ඒ කොටසින් ඒ සටහනින් දවල්හිද ඡන්ද සමාධි ප්‍රධාන සංඛාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, යෝගාවචරයා දවල් සේ රැය ද, රැයෙහි සේ දවල් ද මෙසේ ඉද්ධිපාදයන් වඩමින් වාසය කෙරෙයි.
මෙයින් පැහැදිලි වන අදහස මෙසේයි :- යෝගාවචරයා කමටහන් අරමුණෙහි සිත යොදාගෙන මෙනෙහි කෙරෙමින් වාසය කෙරෙයි. ඇතැම් විට ඔහුගේ මෙනෙහි කිරීම දවල් කාලයෙහි අතරින් පතර අතීලිනතාදිය නිසා කැඩී යන්නට පුළුවන. මැනවින් ක්‍රමයෙන් ඉක්මන්
නොවී සිහියෙන් සම්පජඤ්ඤයෙන් යුතුව සද්ධාදී ඉන්‍ද්‍රිය ධර්මයන් දියුණුවට පත්කොට ගත් යෝගාවචරයා උදේ අවදිවීමේ අවස්ථාවයයි වෙන්කොට දැක්විය නොහෙනසේ කමටහනෙහි සිත යොදාගෙන වාසය කරන්නේ අතිලීනතාදී සතර අවස්ථාවනට අසුනොවීගෙනය. මුළු දවල් කාලයේමැ පිණ්ඩපාතය සඳහා ගමන, නෑම, දන්වැළදීම, අනුන් හමුවීම යන මේ හැම ක්‍රියාවක්මැ මෙසේ අතීලීනතාදී සතර පලිබෝධයනට අසුනොවනසේ මැනවින් සිදු කෙරෙයි. මෙසේ දවල් කාලයෙහි මැනවින් සිදුකොට, රෑ කාලයෙහි ලීනතාදියට අසුවී නම්, මේ තුන්වන අවස්ථාව සම්පූර්ණ වන්නේ නැත. රාත්‍රී කාලයෙහි මෙන් දවල් කාලයෙහිත්, දවල් කාලයෙහි මෙන් රාත්‍රී කාලයෙහිත් සමවැ අතිලීනතා, අති පග්ගහිත්තා, සංඛිත්තතා, වික්ඛිත්තතා යන සතර පැත්තට අසුනොවී මැනවින් භාවනා මනසිකාරය පවත්වාලන්නට හැකි වෙතොත් මෙහි සඳහන් කළ ඉද්ධිපාද දියුණුව සැලසුණේයයි නියමයෙන් කිය යුතුය. මෙබඳු අවස්ථාවකට පත්වෙන යෝගාවචරයනුත් ඇද්දැයි සැක නොකළ යුතුය. සිටිති.
(8)
1-8 මහණෙනි, යෝගාවචරවරයා කෙසේ නම් කිසිවෙකින් නොබැඳුණු පිරිසිදුවැ එළිවීගිය සිතින් යුතුවැ ප්‍රභාසහිත වූ සිත වඩන්නේද? මහණෙනි, මේ බුදුසසුනෙහි යෝගාවචරයා ආලෝක සංඥාව මැනවින් පුහුණුවෙන් ගන්නා ලදද, දිවා සංඥාව මැනවින් පුහුණුවෙන් පිහිටුවා ගන්නා ලදද, මහණෙනි, මෙසේ වනාහි යෝගාවචරයා කිසිදු බාධාවකින් නොබැඳුනු එළිපෙහෙළි වූ සිතින් යුතුවැ ප්‍රභා සහිත සිත වඩයි. (සප්පභාසං චිත්තං භාවෙති.)
මේ සූත්‍ර ප්‍රදේශයෙහි අර්ථය පැහැදිලි කර ගැනීමට මෙහිමැ අග යෙදී ඇති “සප්පභාසං චිත්තං භාවෙති” යන්නමැ උපකාරයට ගතමනා වෙයි. ප්‍රභාව සහිත වූ සිතක් වැඩීමට හෙවත් සිත ප්‍රභාවයෙන් සමන්විත කරගැනීමට උපකාරක ධර්මයන් “ආලොක සඤ්ඤා සුග්ගහිතා හොති” යනාදීන් දැක්වූ බව ද සලකාගත හැකිවෙයි. සිත ප්‍රභා සහිත කරගැනීමේ අවශ්‍යතාව දක්වා නැතත් අටුවාවෙන් එය ථිනමිද්ධ විනෝදනයට[4] බව පැහැදිලි වෙයි.
මෙසේ සියල්ල එකතු කොට සලකන විට, ඉද්ධිපාදයේ දියුණුවට පටහැණි වූ ඇතුළත ථිනමිද්ධයෙන් හැකිළී ගත් සිත එයින් වළකාලන්නට මේ සප්පභාස සිත වැඩිය යුතු බව නිගමනය කළ නොහෙන්නේ නැත. සිත ප්‍රභාසහිත කර ගැනීමට ආලෝක සංඥාවත්, දිවා සංඥාවත් උගත යුතු බවත් මැනවින් පිහිටුවා ගතයුතු බවත් මෙහි සඳහන් වෙයි. ආලෝක සඤ්ඤාවත්, දිවා සඤ්ඤාවත් දෙකම එකක් බව අටුවාව කියයි. ආලෝක සඤ්ඤාව සිත් තුළ පහළ කරගන්නා පිළිවෙළ මෙසේය:-
යෝගාවචරයා එළිමහන් පෙදෙසෙක හිඳගෙන ආලෝකය දෙස බලාගෙන කල්ගෙවයි. කලක් ඇස් දල්වාගෙන ද, කලක් ඇස් පියා ගෙනද ඉන්නා ඔහුට ඇස් පියාගත් විටත්, ඇස් දල්වා ගත්තහුට මෙන්මැ සමානවැ ආලෝකය වැටහේ නම් එය ආලෝක සඤ්ඤාව හටගත් අවස්ථාවයි. එය හොඳට පුහුණු වී යයි කිය යුත්තේ රාත්‍රීයෙහිද එසේම දැනෙන විටය. ස්වාධිට්ඨිත නම් මැනවින් අධිෂ්ඨානය කරන ලද්දය. මැනවින් තබන ලද්දය. මැනවින් පුහුණු වට පත් කරන ලද්දාවූ යම් ආලෝකයෙකින් තමා තුළ පහළවූ ථිනමිද්ධය දුරුකොට ඡන්දය උපදවාගෙන කමටහන මෙනෙහි කෙරෙයි නම් ඔහුට දිවා සමයෙහිද ආලෝක සඤ්ඤාව සුග්ගහීත යයි කිය යුතුය. රාත්‍රී සමයෙහි හෝ දිවා සමයෙහි හෝ යම් ආලෝකයෙකින් උපන් ථිනමිද්ධය දුරුකොට කමටහන මෙනෙහි කෙරෙයි නම් ථිනමිද්ධය දුරුකරන ආලෝකයෙහි උපන් සංඥාව සුග්ගහීත ආලෝක සංඤ්ඤා නම් වෙයි.
මෙහි දක්වන ලද්දේ අභිඥා සය ලබා ගැනීමට පාදක ඉද්ධිපාද හෙයින් පෙළ අනුගමනය කරන ලද්දේ ශමථය බව සැලකිය යුතුය. විස්තරයේ දී විදර්ශනා යෝගාවචරයන්ගේද ප්‍රයෝජනය සඳහා විදර්ශනා මනසිකාරයට අදාළ උගැන්වීම්ද දක්වන්නට සිදුවිය. මෙහි අන්තිම කොටසෙහි ථිනමිද්ධය දුරු කරගැන්ම සඳහා ආලෝක සඤ්ඤාව දක්වන ලද්දේද එහෙයිනි. විදර්ශනා භාවනා මනසිකාරයෙහි යෙදෙන යෝගාවචරයාගේ සති සම්පජඤ්ඤය මැනවින් පවතිනවා නම්, සමාධිය හොඳ නම් මෙනෙහි කිරීම් මාත්‍රයෙන්ම ථිනමිද්ධ නීවරණයන් දුරුකරගත හැකිවෙයි. නින්දද මෙනෙහි කිරීමෙන් නැතිවී යන බව සැලකිය යුතුය. විදර්ශනාවේ යෙදෙන යෝගාවචරයා හට විදර්ශනා බලයෙන්මැ ආලෝකයක් පහළ වන සැටි ද ප්‍රසිද්ධය.
විරිය ඉද්ධිපාද, චිත්ත ඉද්ධිපාද, වීමංසා ඉද්ධිපාද යන මේ ඉද්ධිපාද තුන පිළිබඳවද සියලු විස්තර හා පැහැදිලි කිරීම් ද මෙහි දක්වන ලද ක්‍රමයන් අනුව සලකා තේරුම් ගත යුතුය. විදර්ශනා යෝගාවචරයනටද ඉද්ධිපාදයන් ආවශ්‍යක බව මුලදී පැහැදිලි කරන ලදී. එහෙයින් තමාගෙන්මැ තමා ලබාගතයුතු වන උපකාරය නම් මේ අයුරෙන් මේ ඉද්ධිපාදයන් තම සන්තානයෙහි දියුණුවට පත්කරගැනීම බව විශේෂයෙන් සලකා බලා ඒ ශ්‍රේෂ්ඨ සෘද්ධිපාදයන් ක්‍රමයෙන් තමා තුළ දියුණු කර ගැනීමට යෝගාවචර පිංවතුන් උත්සාහ ගතයුතුය. යෝගාවචරයාට තමාගෙන් ලැබෙන උපකාරය මෙයයි.