භාවනා භේදය හා නිමිති

පරිකර්ම භාවනා, උපචාර භාවනා, අර්පණා භාවනා යයි භාවනාව තුන් ආකාර වෙයි. භාවනාවේ උසස් ප්‍රතිඵලය නම් ධ්‍යාන සමාධියක් හෝ මාර්ග සමාධියක් ලැබෙන සැටියට සිත දියුණු බවට පත්කර ගැනීමය. මෙය අර්පණා අවස්ථාවයයි කියනු ලැබේ. මේ අර්පණාවට පූර්වභාගයෙහි පැවැති සියලුම භාවනා කාමාවචරය[1]. ඒ සියලු භාවනාවට මැ පරිකර්මනාමය පොදුවේ ලැබේ. එහෙත් එය අර්පණාවට දුරස්ථය - සමීපස්ථය යැයි භේද දෙකකින් යුතු වෙයි.

එහි යම් භාවනාවෙක් අර්පණාවට සමීපස්ථ නම් එය සමීපයෙහි පැවැති හෙයින් උපචාර භාවනාව යැයි කියනු ලැබේ. දුරස්ථ නම් එය පරිකර්ම භාවනා නම් වේ. මෙසේ එකම පරිකර්ම භාවනාව සමීප දුර භේදයෙන් නම් දෙකකින් සඳහන් කරන ලදදේ අටුවාවේ ය.

  1. පරිකම්ම නිමිත්ත
  2. උග්ගහ නිමිත්ත
  3. පටිභාග නිමිත්ත

මෙසේ නිමිති තුනෙකි.

පරිකර්ම භාවනාවට අරමුණු වූ කසිණ මණ්ඩලාදී නිමිත්ත පරිකර්ම නිමිත්තයි. එය පුහුණු වූ අවස්ථාවට උග්ගහ නිමිත්ත නාමය ලැබේ. එහි ද දියුණු අවස්ථාවට පටිභාග නිමිත්තයයි කියනු ලැබේ. මේ ප්‍රතිභාග නිමිත්ත මැනවින් සේවනය කරන යෝගාවචරයා සත්වැදෑරුම් අසප්පාය කරුණු වලින් ඉවත්විය යුතුය. එනම්, අසප්පාය වූ සේනාසනය, අසප්පාය ගොදුරු බිමය, අසප්පාය කථාය, අසප්පාය පුද්ගලයෝය, අසප්පාය භෝජනය, අසප්පාය සෘතුය, අසප්පාය ඉරියව් පැවත්වීමය, යනු යි. මේවා පිළිබඳ සප්පාය දේ තෝරා ගෙන ප්‍රතිභාග නිමිත්තෙහි සිත යොදන්නා හට අර්පණාව ලැබෙන්නේ ය.

  1. කාම ලෝකයට ඇතුළත්