5. නිග්ගහෙතබ්බ (නිගැනිය යුතු) චිත්තාවස්ථාව:

චිත්තය පිළිබඳ නිගැනියයුතු[1] අවස්ථාවේ චිත්තය නිගන්නේ කෙසේද? යම් කලෙක මොහුගේ සිත වීර්‍ය්‍යය ඉතා වැඩිවීම් ආදිය හේතුකොටගෙන උද්ධත (නොසන්සුන්) වේ ද, එකලැ ධම්මවිචය, විරිය, පීති යන සම්බොජ්ඣඞ්ගයන් වැඩීම සුදුසු නැත. එකල වැඩිය යුත්තේ පස්සද්ධි සමාධි උපෙක්ඛා යන සම්බොජ්ඣඞ්ග තුනය. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැයි.

“මහණෙනි, පුරුෂ තෙමේ යම්සේ මහගිනි රැසක් නිවනු කැමැතිවේ ද, හෙතෙම එහි වියලි තණ බහාලන්නේද, වියලි ගොම බහාලන්නේද, වියලි දර බහාලන්නේද, මුවෙන් සුළං ඕනේද, නොද පස් ඕනේද, මහණෙනි, ඒ පුරුෂතෙමේ ඒ මහත් ගිනි රැස නිවාලන්නට පෙහොසත් ද? වහන්ස, නොපොහොසතැයි පිළිවදන් දුන්හ. මහණෙනි, එපරිද්දෙන් මැ යම් සමයෙකැ සිත උද්ධත ද (නොසන්සුන් ද) එකලැ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය වැඩීමට නොකලැ, වීරිය සම්බොජ්ඣඞ්ගය වැඩීමට නොකලැ, පීති සම්බොජ්ඣඞ්ගය වැඩීමට නොකලැ, ඒ කවර හෙයින් ද? මහණෙනි, සිත උද්ධතය. එය මේ ධම්මවිචය, පීති විරිය සම්බොජ්ඣඞ්ග ධර්මයෙන් සංසිඳුවන්නට නොපිළිවන් වේ.

“මහණෙනි යම්, සමයෙක සිත උද්ධතවේද, එ සමයෙහි පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වැඩීමට කාලය වෙයි. සමාධි සම්බොජ්ඣඞ්ගය වැඩීමට කාලය වෙයි. උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වැඩීමට කාලය වෙයි. ඒ කවර හෙයින් ද? මහණෙනි, සිත උද්ධතය. එය ඒ ධර්මයෙන් සංසිඳුවීමට පිළිවන් වෙයි. මහණෙනි, පුරුෂතෙමේ යම්සේ මහත් වූ ගිනිකඳක් නිවනු කැමැතිවේ ද, හෙතෙමේ එහි අමු තණ බහාලන්නේද, අමු ගොම බහාලන්නේද, අමු දර බහාලන්නේද, දියමුසු වාතයන් දෙන්නේද, පස් ඕනේද, මහණෙනි, ඒ පුරුෂතෙමේ ඒ ගිනි කඳ නිවාලන්නට පොහොසත් දැයි පුළුවුත්හු. “වහන්ස, එසේයයි” පිළිවදන් දුන්හු. “මහණෙනි, එපරිද්දෙන් යම් සමයෙකැ සිත උද්ධත වේ ද, එසමයෙහි පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වැඩීමට කල වේ. සමාධි සම්බොජ්ඣඞ්ගය වැඩීමට කල වේ. උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වැඩීමට කල වේ.”

මෙහිදු තම තමන්ගේ ප්‍රත්‍ය වශයෙන් පස්සද්ධි-සමාධි-උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයන්ගේ වැඩීම දතයුතුය. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැයි. “අත්‍ථි භික්ඛවෙ කාය පස්සද්ධි[2] චිත්තපස්සද්ධි[3] තත්‍ථ යොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා පස්සදධි සම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය උප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භිය්‍යොභාවාය, වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති” යි. මහණෙනි, කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි (කියා) දෙකක් ඇත. එහි යෝනිසො මනසිකාරය හා බහුල වශයෙන් යෙදීමය යන මෙය නූපන්නා වූ පස්සද්ධි සම්බොජ්ඣඞ්ගයාගේ උත්පාදය පිණිස ද, උපන්නා වූ පස්සද්ධි සම්බොජ්ඣඞ්ගයාගේ බොහෝ බව පිණිස ද, විපුල බව පිණිසද, භාවනාවේ පිරීම පිණිස ද ප්‍රත්‍යය වේ. යනුවෙනි.

එසේම; “අත්‍ථි භික්ඛවෙ සමථ නිමත්තං අව්‍යග්ග නිමිත්තං[4]. තත්‍ථ යොනිසො මනසිකාර බහුලීකාරො, ආයමාහාරො අනුප්පන්නස්ස වා සමාධි සම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය උප්පන්නස්ස වා සමාධි සම්බොජ්ඣඞ්ගස්ස හිය්‍යොභාවය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති”යි. “මහණෙනි, සමථ නිමිත්ත වූ ඒකාලම්බන[5] නිමිත්තෙක් ඇත. එහි යොනිසො මනසිකාර ය ද එහි බහුල වශයෙන් කිරීමද යන මෙය නූපන් සමාධි සම්බොජ්ඣඞ්ගය ඉපදීමටත්, උපන් සමාධි සම්බොජ්ඣඞ්ගය වැඩීමටත්, භාවනාවේ පිරීමටත් ප්‍රත්‍යවේ” යි ද,

එසේම; “අත්‍ථි භික්ඛවෙ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගට්ඨානියා ධම්මා, තත්‍ථ යොනිසො මනසිකාර බහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පනස්ස වා උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගස්ස හීය්‍යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති”යි.[6] “මහණෙනි, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයට හිත වූ ධර්මයෝ ඇත්තාහ. එහි යෝනිසෝ මනසිකාරය ද එහි බහුල වශයෙන් කිරීම ද යන මෙය -පෙ- භාවානාවේ පිරීමට ද ප්‍රත්‍ය වේ” යනු යි. මෙහි සඳහන් සමාධි නිමිත්ත නම් සමාධිය මැයි. එය මතුයෙහි සමාධියට කාරණාවන බැවිනි. අව්‍යග්ග නිමිත්ත යනු ද සමාධියමැයි. අවික්‍ෂේපයට කාරණා වන හෙයිනි.

මෙහි කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි දෙක ද, උපකේඛාවද, මෙනෙහි කරන ආකාරය නම් යෝගාවචරයා තුළ පළමු ඒ ගුණ උපන් හැටි හා දියුණු වූ හැටිද, එකලැ පැවැති සිතේ තතුද මැනවින් සලකා බලා ඒ සන්සිඳුනු ආකාරය ද, උපේක්ෂාකාරයද, සමාහිතාකාරයද සලකා ඒවා යළිත් තමා තුළ පහළ කර ගැන්ම මෙහි ඒ ධර්ම පිළිබඳ යෝනිසො මනසිකාරය බව දතයුතුය.

පස්සද්ධි සම්බොජ්ඣඞ්ගයාගේ උත්පාදයට කරුණු 7 කි.

  1. පණීත භොජන සෙවනතා - ප්‍රණීත බොජුන් සෙවුනා බවය.
  2. උතු සුඛ සෙවනතා - සැප සෘතු සෙවුනා බවය.
  3. ඉරියාපථ සුඛ සෙවනතා - සුව ඉරියව් සෙවුනා බවය.
  4. මජ්ඣත්ත පයොගතා - සමවූ කාය වාක් මනඃ ප්‍රයෝග ඇති බවය.
  5. සාරද්ධ පුග්ගල පරිවජ්ජනතා - ක්ලේශ පරිදාහ[7] ඇති නොසන්සුන් පුඟුලන් දුරු කරන බවය.
  6. පස්සද්ධ කාය පුග්ගල සෙවනතා - කෙලෙස් පරිදාහ නැති බැවින් සංසුන්කාය ඇති පුඟුලන් සෙවුනා බවය.
  7. තදධිමුත්තතා - පස්සද්ධි සම්බොජ්ඣඞ්ගයෙහි නිම්න ප්‍රවණ බවය යනුයි.

සමාධි සම්බොජ්ඣඞ්ගය උපදවීමට කරුණු 11 කි.

  1. වත්ථු විසදතා - අධ්‍යාත්මික බාහ්‍ය වස්තූන්ගේ විසද බව,
  2. නිමිත්ත කුසලතා - පඨවි කසිණාදී චිත්තේකග්ගතා නිමිත්තෙහි දක්ෂතාව.
  3. ඉන්‍ද්‍රිය සමත්ත පටිපාදනතා - ඉඳුරන්ගේ සම බව කිරීමය.
  4. සමයෙ චිත්තස්ස නිග්ගණ්හනතා - සුදුසු සමයෙහි සිත් නිගන්නා බවය.
  5. සමයෙ චිත්තස්ස පග්ගණ්හනතා -සුදුසු සමයෙහි සිත් හුවන බව[8]ය.
  6. නිරස්සාදස්ස චිත්තස්ස සද්ධා සංවෙගවසෙන සම්පහංසනතා - භාවනා ආස්වාද රහිත සිත්හුගේ ශ්‍රද්ධා වශයෙන් - සංවේග වශයෙන් සංවේග පූර්ව වූ ප්‍රසාදෝත්පාදනයෙන් සිත් සතුටු කිරීමය.
  7. සම්මා පකතත්තස්ස අජ්ඣුපෙක්ඛණතා - ලීන උද්ධච්ච දෙකින් තොරවැ පැවැත්මෙන් සමවූද, සමථ වීථියට පිළිපැදීමෙන් විශේෂ තත්ත්වයකට පත්වීමෙන් ද සමවැ, සුවිශේෂවැ, පැවැතීමෙන් මනාකොටමැ පැවැති භාවනාසිත පග්ගහනිග්ගහ සම්පහංසනයෙහි ව්‍යාපාරයක් නැතිව උපේක්ෂා කරන බවය.
  8. අසමාහිත පුග්ගල පරිවජ්ජනතා - වික්ෂිප්ත හෘදය ඇති පුඟුලන් දුරු කරන බවය.
  9. සමාහිත පුග්ගල සෙවනතා - සමාධි සිතැති පුඟුලන් සේවනය කරන බවය.
  10. ඣාන විමොක්ඛ පච්චවෙක්ඛණතා - ප්‍රථමාදී ධ්‍යානයන්ද, ප්‍රතිපක්‍ෂ ධර්මයන් කෙරෙන් මනාකොටමැ පහ වූ බැවින් විමෝක්ෂ නම්වූ තුන් ධ්‍යානයන් ද, “මෙසේ වැඩිය යුතු ය, මෙසේ සමවැද්ද යුතුය.” යනාදීන් නිරතුරු නුවණින් සලකන බවය.
  11. තදධිමුත්තතා - සමාධි සම්බොජ්ඣඞ්ගයෙහි අතිශයින් නැමී පැවැති සිත් ඇති බවය, යනුයි.

උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය උපදවීමට කරුණු 05 කි.

  1. සත්තමජ්ඣත්තතා: ප්‍රිය සත්ත්වයන් කෙරහි දු මැදහත් බව ය.
  2. සංඛාර මජ්ඣත්තතා: චක්‍ෂුරාදියෙහිදූ පාසිවුරු ආදියෙහිදු මැදහත් බවය.
  3. සත්ත සංඛාර කෙලායන පුග්ගල පරිවජ්ජනතා: සත්ත්ව සංස්කාරයන් කෙරෙහි මමත්වය (කෑදර) කරන පුඟුලන් දුරුකරන බවය.
  4. සත්ත සංඛාර මජ්ඣත්ත පුග්ගල සෙවනතා: සත්ත්ව සංස්කාරයන් කෙරෙහි මැදහත්වැ පවත්නා පුඟුලන් සේවනය කරන බවය.
  5. තදධිමුත්තතා: ඒ උපේක්‍ෂා සම්බොජ්ඣඞ්ගයෙහි නිම්න ප්‍රවණ බවය, යනුය.

මෙසේ මේ ආකාරයෙන් (කාය චිත්තයන්ගේ පස්සද්ධාකාර[9] සැලකීම් ආකාරයෙන්ද සප්පායකාර[10] සෙවීම් ආදී ආකාරයෙන්ද) මේ පස්සද්ධි ආදී ධර්මයන් උපදවන්නා පස්සද්ධි සම්බොජ්ඣඞ්ගාදිය වඩන්නා නම් වෙයි. නිගැනිය යුතු චිත්තාවස්ථාව සලකා ඒ සිත නිගන්නා හැටි මෙසේයි.

  1. නිග්‍රහ කළයුතු

  2. කයෙහි සන්සුන් බව

  3. සිතෙහි සන්සුන් බව

  4. එක්තැන්වූ නිමිත්ත

  5. එකම සමාන අරමුණක යෙදුනු

  6. සං.නි. මහාවග්ග පිට 144 බු.ජ.

  7. කෙලෙස් දැවිලි

  8. සිත් ඔසවා තබන බව

  9. සන්සුන්වන ආකාර

  10. හිතකර ආකාර