යෝගාවචරයාට අවශ්‍යතාවෝ

යෝගාවචරයාට ලැබෙන්නට ඉඩ ඇති විවිධ බාධක අවස්ථාවන්ගෙන් ඔහු නිදහස් කර ගැනීම ධර්මතාවටම හැකිවන සැටි ධර්මතත්ත්වය සලකන විට තේරුම් ගතහැකිය. ජීවිත පරිත්‍යාගයේ නියම තේරුමද එය වියයුතුය. ඇතැම්විට එම ජීවිත පරිත්‍යාගක්‍රියාව නියම අන්දමින් සිදුනොවී නම් එහි නියම අන්දමින් නොපිහිටියේ නම් හෝ, ඔහුගේ වැඩ පිළිවෙළ දෙදරා යාමට ඉඩ තිබේ. ධර්මබලය ඉදිරිපත් කරගත් යෝගාවචරයා ස්ථිරව ධර්මයේ පිහිටා සිටී නම් ඉබේටම මේ නිදහස සලසාගත හැකිවනු ඇත.

බොහෝ සෙයින් මෙබඳු අවස්ථාවකට පත්වෙන විට යෝගාවචරයා එයට ඇවැසි[1] වන තරමේ ශක්තියෙන් පිරිහී ගොස් සිටින්නටද ඉඩ තිබේ. එසේ නම් එහිදී ඔහුට අනුන්ගෙන් ලැබගතයුතු උපකාරය අවැසිවනු ඇත. මෙහිදී යෝගාවචරයාහට උපකාරය ඇවැසිබවත්, කෙබඳු උපකාරයක් ඇවැසිද යනුත් තේරුම් බේරුම් කරගැනීමට සමත් උපදේශකයන් හා උපස්ථායකයන්ද කරුණාවෙන් හා නුවණින් ද ඉදිරිපත් වියයුතු බව විශේෂයෙන් කිවයුතුව ඇත. භාවනා තත්ත්වය, පුද්ගල තත්ත්වය හා උපස්ථාන විධි නොදන්නවුන්ගෙන් යෝගාවචරයාට සිදුවනුයේ උපකාරයෙක් නොවේ. අනුපකාරයෙකි. පරිහානි මග හෙළි කරලීමෙකි. මෙසේ හෙයින් යෝගාවචරයාගේ භාවනා වේ. ඉදිරිගමනට නුවණැති, උපායෙහි දක්ෂ වූ ආචාර්‍යවරුනුත්, කරුණික කරුණු දත්, ස්ථානෝචිත බුද්ධිය ඇති උපස්ථායකයනුත් ඉතාමත් ප්‍රයෝජන වන බව විශේෂයෙන් සැලකිය යුතුය.

ශමථ - විදර්ශනා භාවනාවන්හි යෙදෙන පින්වතුන් හට ඇතැම්විට කිසිදු බාධාවක් නොමැතිව අභිමත කාර්‍ය්‍යයේ ජයග්‍රහණය සලසාගත හැකිවන අතර ඇතැම්විට පුදුම අන්දමේ බාධාවන්ද ලැබෙන සේ පෙනේ.

ඒවා නම් :-

  1. කලදී තමා තුළ නොතුබූ රෝගාබාධයෝ.
  2. පීඩාකර අමනාප සතුන්ගේ හා පුද්ගලයන්ගේ ළංවීම.
  3. අමනාප ශබ්දයෝ.
  4. කරුණු පැහැදිලි නැති සිතේ නොසන්සුන්කම්.
  5. නොයෙක් ආකාර ඇති ප්‍රශ්න ඉදිරිපත් වීම.
  6. අසමාහිත උද්ධච්ච පුද්ගලයන්ගේ කථා ආදිය.
  7. සහනය කළ නොහැකි කාලගුණය.
  8. නොයෙක් විදියේ දර්ශනයන් අනුව ඇලීම්, ගැටීම් සිදුවීම.
  9. හිතවතුන්ගේ නොගැලපෙන ක්‍රියාවෝ.
  10. අහිතවතුන්ගේ විෂම ක්‍රියවෝ.

මෙබඳු සංකට අවස්ථාවන්හි නියම තතු තේරුම් කරගැනීමට නොහැකිවීමෙන් ඔවුන් විපතට වැටෙනු බලා දොස් නගා තව තවත් පෙළන්නට නොයායුතුය. ඔවුන් හට අවටින් ලැබෙන පිටුවහල විශාල ප්‍රයෝජන සැලසෙන බව සැලකිය යුතුය.

  1. අවශ්‍ය