2. ධුතාඞ්ග නිර්දේශය

star_outline

නමො භගවතො සම්බුද්ධස්ස

“අප්පිච්ඡතා සන්තුඨිතාදි ගුණයෙනේ ශීලය පිරිසිදු වන්නේය”යි යට ශීලනිර්‍දෙශයෙහි දක්වන ලද්දේ ය. ශීල සමාදන් වැ ගත් යෝගීහු විසින් අප්පිච්ඡතා දි ගුණයන් මැනෙවින් සම්පාදනය කරන්නට නම් ධුතාද්‍ධග සමාදන් විය යුතුය. ධුතාද්‍ධග සමාදන් වූ කල ම ඔහුගේ ශීලය අප්පිච්ඡතා, සන්තුඨිතා, සල්ලෙඛ-පිවෙක-අපචය-විරියාරම්භ-සුභරතාදි ගුණ නමැති ජලයෙන් මල සේදී ගොස් පිරිසිදු වන්නේ ය. ව්‍ර‍ත සම්පාදනය වන්නේත් ඔහුට ම ය. එසේ ශීලයෙන් හා ව්‍ර‍තයෙන් පිරිසිදු හැසිරීම් ඇත්තේ ම පුරාණ ආර්‍ය්‍යවංශ තුනෙහි පිහිටා භාවනා රාමතා සංඛ්‍යාත සතරවන ආර්‍ය්‍යවංශයට පැමිණීමට සුදුස්සෙක් වන්නේ ය. එ බැවින් දැන් ධුතාඞ්ග කථාව දක්වම්හ.

භගවත් බුදුන් වහන්සේ විසින් ලෝකාමිෂය හැරැ පියා කාය ජීවිත දෙක්හිා නිරපෙක්‍ෂ වැ අනුලෝම ප්‍ර‍තිපදාව ලබා ගන්නට කැමැති කුලදරුවන් උදෙසා ධුතාඞ්ග තෙළෙසක් අනුදන්නා ලද්දේ ය. ඒ

තෙළෙස් ධුතාඞ්ග නම්

1. පංසුකුලිකඞ්ගය 2. තෙවීචරිකඞ්ගය

3. පිණ්ඩපාතිකඞ්ගය 4. සපදානවාරිකඞ්ගය

5. එකාසනිකඞ්ගය 6. පත්තපිණ්ඩිකඞ්ගය

7. ඛලුපච්ඡාභත්තිකඞ්ගය 8. ආරඤ්ඤිකඞ්ගය

9. රුක්ඛමූලිකඞ්ගය 10. අබෙහාකාසිකඞ්ගය

11. සොසානිකඞ්ගය 12. යථාසන්‍ථතිකඞ්ගය

13. නෛසජ්ජිකඞ්ගය යන මොහු යි.

මේ ධුතාඞ්ග වනාහි අර්‍ථ වශයෙන් ද, ලක්‍ෂණ -රස-පච්චුපට්ඨාන - පදට්ඨාන වශයෙන් ද, සමාදාන වශයෙන් ද, විධාන වශයෙන් ද, ප්‍රභේද වශයෙන් ද, භේද වශයෙන් ද, ආනිසංස වශයෙන් ද, මතු විනිශ්චය කරනු ලැබේ. එසේ ම කුශලත්‍රික වශයෙන් ද, ධුතාදි විභාග වශයෙන් ද, සමාස ව්‍යාස වශයෙන් ද, විනිශ්චය කරනු ලැබේ.

අනු මාතෘකා
keyboard_arrow_rightධුතඞ්ග සමාදානයstar_outline
keyboard_arrow_rightඒකාසනිකඞ්ග සමාදානයstar_outline
keyboard_arrow_rightආරඤ්ඤකඞ්ග සමාදානය.star_outline
keyboard_arrow_rightසොසානිකඞ්ග සමාදානයstar_outline
keyboard_arrow_rightනෙසජ්ජිකඞ්ග සමාදානයstar_outline
keyboard_arrow_rightකුශලත්‍රික වශයෙන්star_outline