පත්තපිණ්ඩිකඞ්ග සමාදානය

පත්තපිණ්ඩිකඞ්ගය සමාදාන් වන්නහු විසින් “දුතියක භාජනං පටික්ඛිපාමි. පත්තපිණ්ඩිකඞ්ගං සමාදියාමි” යන වාක්‍ය දෙකින් අභිමත වාක්‍ය්‍යක් කියා සමාදන් විය යුතු. “දෙවන භාජන හැරැ පියමි. පත්තපිණ්ඩිකඞ්ගය සමාදන් වෙමි” යනු එහි අර්‍ථයි.

පත්තපිණ්ඩිකඞ්ග විධානය

පත්තපිණ්ඩිකඞ්ගය සමාදන් වූවහු විසින් කැඳ වළඳන විට භාජනයෙක තබා යම් කිසි ව්‍යඤ්ජනයෙක් ලබන ලද්දේ නම් එය හෝ කැඳ හෝ පළමු කොට වැළඳිය යුතුයි. මේ කියන ලද්දේ කැඳෙහි ලූ කල පිළිකුල් ඉපදෙන මස් ආදිය සඳහා ය. කැඳෙහි ලූ කල පිළිකුල් නොවන මී සකුරු ආදියෙක් නම් කැඳෙහි බහා ලා ම වැළඳිය යුතු. එබන්දක් පිළිගන්නා කල්හි ද ප්‍ර‍මාණයෙන් ම පිළිගත යුතු. (එක භාජනයෙහි ම ගනිමි යි බොහෝ කොට නො ගත යුතුයි.) මිරිස් ආදි අමු දෙයක් නම් අතින් ගෙන වැළඳුවත් නො වටනේ නොවේ. එතෙකුදු වුවත් එය ද පාත්‍රයෙහි බහාගත යුතු. දෙවන භාජන ප්‍ර‍තික්‍ෂේප කළ බැවින් පත්කොළ ද නුසුදුසු බව දත යුතුයි.

පත්තපිණ්ඩිකඞ්ග ප්‍රභේද

පත්තපිණ්ඩිකඞ්ග ද වනාහි උත්කෘෂ්ටය, මද්‍ධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ටහට උක්සප විනා අන්කිසි රොඩුවකු දු බැහැර ලන්නට නො වටනේ ය. බත්පිඬු, මත්ස්‍ය, මාංස හා කැවුම් පවා කඩා කන්නට නොවටනේය. (පළමු කොට ඒ සියල්ල වළඳන පමණට පිළියෙල කර ගත යුතු.) මද්‍ධ්‍යමහට එක අතකින් කඩා කන්නට වටනේ ය. එහෙයින් ඔහුට හස්තයෝගී යයි කියනු ලැබේ. මෘදුකහට පාත්‍රයෙහි බහා ගත හැකි කවර දෙයක් වුව ද අතින් හෝ දතින් කඩා කන්නට වටනේ ය. එහෙයින් ඔහුට පාත්‍රයෝගී යයි කියනු ලැබේ.

පත්තපිණ්ඩිකඞ්ග භේද

දෙවන භාජනයක් ඉවසූ ඇසිල්ලෙහි මේ තුන් නමගේ ම ධුතඞ්ගය බිඳෙන්නේයි.

පත්තපිණ්ඩිකඞ්ගානිසංස

නානා රස වැළඳීමෙහි තෘෂ්ණා දුරු කරන බවය, අත්‍රිච්ඡතා දුරු කරන බවය, ආහාර වැළඳීමෙන් දිවි රැක ගන්නා ප්‍රයෝජනය පමණක් සලකන බවය. ථාලකාදී (පිඟන්) පරිහරණයෙන් කරදර නැති බවය, නානා භාජන ගත වූ ව්‍යඤ්ජනයෙහි එක භාජන ගත සංඥා ඇති බැවින් අවික්‍ෂිප්ත වූ භෝජන ඇති බවය, අල්පේච්ඡතාදි ගුණයන්ට අනුලොම් වන බවය, යනු මේ ධුතාඞ්ග ධාරණයෙහි ආනිසංස යි.

“නානා භාජනවික්ඛෙපං - හිත්‍වා ඔක්ඛිත්තලොචනො

ඛණන්තො විය මූලානි - රසතණ්හාය සුබ්බතො,

සරූප විය සන්තුට්ඨිං - ධාරයන්තො සුමානසො

පරිභුඤ්ජෙය්‍ය ආහාරං - කො අඤ්ඤො පත්තපිණ්ඩිකා”

“නොයෙක් භාජන ගත වූ වික්‍ෂේපය හැරැ පියා පත්තසඤ්ඤායෙන් යට හෙළා ලූ ඇස් ඇති, රස තෘෂ්ණායෙහි මුල් සාරන්නක්හු මෙන් යහපත් ව්‍ර‍ත ඇති, මූර්‍තතිමත් සන්තෝෂය ධරන්නකු බඳු යහපත් සිත් ඇති, පත්තපිණ්ඩිකයා මිස අන් කවරෙක් අහර වළඳන්නට සමර්‍ථ වන්නේ ද?”

පත්තපිණ්ඩිකාඞ්ගය පිළිබඳ සමාදාන- විධාන- ප්‍රභේද

භෙදානිසංස වර්ණනා යි.