ධුතඞ්ග සමාදානය

සියලු ම ධුතාඞ්ග බුදුරජාණන් වහන්සේ ජීවමාන කල්හි උන්වහන්සේ වෙතින් ම සමාදන් විය යුතු. උන්වහන්සේ පිරිනිවි කල්හි මහාශ්‍රාවකයන් වෙතින් සමාදන් විය යුතු. මහා ශ්‍රාවකයන් පිරිනිවි කල රහතුන්ගෙන් ද, රහතුන් පිරිනිව කල්හි අනාගාමීන්ගෙන් ද, අනාගාමීන් නැති කල්හි සකෘදාගාමීන්ගෙන් ද, සකෘදාගාමීන් නැති කල්හි සෝවාන් වෙතින් ද, සෝවාන්හු නැති කල්හි ත්‍රිපිටකධරයන් වෙතින් ද, ත්‍රිපිටකධරයන් නැති කල්හි ද්විපිටකධරයන් වෙතින් ද, ද්විපිටකධරයන් නැති කල්හි ඒක පිටකධරයන් වෙතින් ද, ඒක පිටකධරයන් නැති කල්හි අර්‍ථකථාචාර්‍ය්‍යයන් වෙතින් ද, අර්‍ථකථාචාර්‍ය්‍යයන් නැති කල්හි ධුතඞ්ගධරයන් වෙතින් ද සමාදන් විය යුතු. ධුතාඞ්ගධරයකු දු නැති කල්හි චෛත්‍ය මලුව හැමදැ උක්කුටිකයෙන් හිඳැ බුදුරජාණන් වහන්සේ ළඟ කියන්නාක් මෙන් කියමින් සමාදන් විය යුතුයි.

ධුතාඞ්ග වනාහි ඉබේ ම සමාදන් වුව ද වරද නැත. මිහින්තලේ සහෝදර ස්ථවිරයන් දෙනම අතුරෙන් වැඩි මහලු තෙරුන්ගේ ධුතඞ්ගප්පිච්ඡතා කථායෙන් එය පැහැදිලි වේ.

දෙ බෑ තෙරුන්ගේ කථාව

(මිහින්තලේ විහාරයෙහි සහෝදර ස්ථවිර දෙනමක් මධ්‍යම රාත්‍රියෙහි ස්වකීය ආසනයන්හි කථා කරමින් හුන්හ. එයින් වැඩිමහලු තෙරුන්නාන්සේ නෙසජ්ජිකඞ්ගය සමාදන් වූ කෙනෙක. එබැවින් උන්වහන්සේ සිය අසුනෙහි පළඟ බැඳගෙන උන්හ. හදිසියෙන් ගැසූ විදුලි එළියෙන් බාල තෙරුන්නාන්සේ එය දැක, “කිම? ස්වාමීනි! නෙසජ්ජීකදැ”යි විචාළෝ ය. වැඩිමහලු තෙරුන්නාන්සේ ස්වකීය ධුත ගුණය අඟවන්නට අකැමැති සේක් වහා සැතපී ගත්හ. පසු වැ එහි දී ම එය යළිත් සමාදන් වූහ. මෙයින් ධුතාඞ්ගයන් ඉබේ සමාදන් වුව ද නිවරද බව ප්‍ර‍කාශ වේ.)

ධුතාඞ්ග පිළිබඳ සාධාරණ විනිශ්චය යි.

මෙ තැන් පටන් එක එක ධුතාඞ්ගය පිළිබඳ වෙන් වෙන් වශයෙන් සමාදානය, විධානය, ප්‍රභේදය, භේදය, ආනිසංසය යන මොවුන් වර්‍ණනා කරම්හ.