පංසුකූලිකඞ්ගය සමාදන් වන්නහු විසින් “ගහපතිදාන චීවරං පටික්ඛිපාමි. පංසුකූලිකඞ්ගං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. “ගෘහපතීන් විසින් දෙන සිව්රු හැරැපියමි පංසුකූලිකඞ්ගය සමාදන් වෙමි” යනු එහි අර්‍ථ යි.
පංසුකූලිකඞ්ග විධානය :-
පංසුකූලිකඞ්ගය සමාදන්වූවහු විසින් සෝසානිකය, පාපණිකය, රථියචොලය, සඞ්කාරචෝලය, සොත්‍ථිය, නහානචෝලය, තිත්‍ථචෝලය, ගතපච්චාගතය, අග්ගිදඩඨය, ගෝඛායිතය, උපචිකාඛායිතය, උන්‍දුරඛායිතය, අන්තචජින්නය, දසාච්ඡිනනය, ධජාහටය, ථූපචීවරය, සමණචීවරය, ආභිසෙකිකය, ඉද්ධිමයය, පන්ථිකය, වාතාහටය, දෙවදත්තිය, සාමුද්දිය යන මේ තෙවිසි වැදෑරුම් වස්ත්‍ර අතුරෙන් යම්කිසි වස්ත්‍රයක් ලබාගෙන කැබැලි කොට ඉරා අබල තැන් හැරැ සබල වූ කැබලි සෝදා සිවුර සාදා ගෙනැ පරණ ගෘහපති චීවරය හැරැ දමා පරිභෝග කළ යුතු යි.
තෙවිසි (23) වැදෑරුම් වස්ත්‍රයන්ගේ ආකාර මෙසේ ය.
1. සෝසානිකය - කිසිවක්හු විසින් සොහොන්හි දැමූ වස්ත්‍රය.
2. පාපණිකය - කඩ සාප්පු ඉදිරියෙහි දැමූ හෝ වැටුණු වස්ත්‍රය.
3. රථියචෝලය - පින් කැමැත්තවුන් විසින් කවුළුදොරින් වීථියෙහි ලූ වස්ත්‍රය.
4. සඞ්කාරචෝලය - කසළගොඩ දැමූ වස්ත්‍රය
5. සොත්‍ථිය - ස්ත්‍රීන්ගේ ගැබ් - මල පිසදමා ඉවත ලූ වස්ත්‍රය. (ඇතැම් පින් කැමැති ස්ත්‍රීහු ධුතඞ්ගධරයන් උදෙසා ම එසේ එබඳු වස්ත්‍ර ඉවත දමත්.) තිස්ස නම් ඇමතියාගේ මව සියයක් අගනා වස්ත්‍රයකින් ගැබ් - මල පිසදමා පංසුකූලිකයෝ ගනිත්වා යි තාළවේලි නම් වීථියෙහි ලාලූය. භික්‍ෂූන් එය ගත්තේ දිරාගිය තන්හි අණ්ඩා දැමීමට පමණ ය.
6. නහානචෝලය - යකැදුරන් විසින් හිස පටන් නහවන ලද්දවුන් විසින් කාලකණ්ණිකඩය යි හැරැ දැමූ වස්ත්‍රය
7. තිත්‍ථචෝලය - නහන තොට හැරැ දමා ලූ වස්ත්‍රය.
8. ගතපච්චාගතය - සොහොනට ගිය මිනිසුන් විසින් ජල ස්නානය කොටැ දැමූ වස්ත්‍රය.
9. අග්ගිදඩ්ඨය - ගින්නෙන් පිලිස්සීම නිසා හැරැ දැමූ වස්ත්‍රය. (එබඳු වස්ත්‍ර මිනිස්සු නො හඳිත්.)
10. ගෝඛායිතය - හරකුන් කෑ වස්ත්‍රය.
11. උපචිකාඛායිතය - වේයන් කෑ වස්ත්‍රය.
12. උන්දූරඛායිතය - මීයන් කෑ වස්ත්‍රය (මේ වස්ත්‍ර ද මිනිස්සු නො හඳිත්)
13. අන්නචඡිනනය - අග කඩාගිය වස්ත්‍රය.
14. දසාච්ඡිනනය - දාවලු කඩාගිය වස්ත්‍රය.
15. ධජහටය - නැව් නගින්නවුන් විසින් බඳනා ලද ධ්වජ වස්ත්‍රය (ඔවුන් නො පෙණී ගිය කල්හි ඒ වස්ත්‍රය ගනුත් වටී. යුද්‍ධ භූමියෙහි බඳින ලද ධ්වජ වස්ත්‍රය ද දෙසෙනඟ නිකුත් වැ ගිය කල ගනුත් වටී.)
16. ථූපචීවරය - තුඹස්වල බලි කර්‍ම පිණිස බැඳි වස්ත්‍රය.
17. සමණචීවරය - භික්‍ෂූන් සතු වස්ත්‍රය.
18. ආභිසෙකිකය - රජුන් අභිෂේක කළ තන්හි දමා ගිය වස්ත්‍රය.
19. ඉද්ධිමය - ඒහි භික්‍ෂු චීවරය.
20. පන්ථිකය - අතර මඟ වැටුණු වස්ත්‍රය (ස්වාමීන් අතින් සිහිමුළාවෙන් වැටුණු වස්ත්‍රය ද මඳක් බලාගත යුතුයි.)
21. වාතාහටය - සුළඟින් ගෙන ගිය වස්ත්‍රය (හිමියන් නොදක්නා කල්හි ගනුත් වටී.)
22. දේවදතතිය - අනුරුද්ධි තෙරුන්ට මෙන් දෙවියන් දුන් වස්ත්‍රය.
23. සාමුද්දිය - මුහුදු රළින් ගොඩ දැමූ වස්ත්‍රය.
(මේ තෙවිසි වස්ත්‍ර අතුරෙන් යම් වස්ත්‍රයකින් සිවුරු කොට පෙරවන්නට ධුතඞ්ගධරයන්ට වටනේ ය.
පංසුකූලිකයන්ට නුසුදුසු වස්ත්‍ර
“සඞ්ඝයාට දෙම්හ” යි දෙන ලද වස්ත්‍ර ද, චෝලකභික්‍ෂාවෙන් හෙවත් රෙදි පිණ්ඩපාතයේ යෑමෙන් ලබන ලද වස්ත්‍ර ද, පංසුකූලිකයන්ට නුසුදුසු ය. හෙවත් එබඳු වස්ත්‍ර පංසුකූල නොවේ.
සමණ චීවර හෙවත් භික්‍ෂූන් සතු චීවර පංසුකූලිකයන්ට වටනේ යයි යට කියන ලදී. එහි දු වස්සග්ගයෙන් ගෙන දුන් සිවුර ඔවුනට නොවටනේ ය. වස්සගගයෙන් ගෙන දුන් සිවුර නම් සංඝයාට හෝ ගණයාට හෝ දෙන්නවුන් විසින් වස් පිළිවෙළින් දෙන ලද්ද යි.
සේනාසන චීවරය ද පංසුකූලිකයන්ට නො වටනේ ය. සේනාසන චීවර නම් සෙනසුන් කරවූවන් විසින් සෙනස්නෙහි වසනුවන් ම පරිභෝග කළ යුතු යයි දෙන ලද චීවරය යි. සඟින් නො පමුණුවා දෙන ලද්ද ම පංසුකූල වන බැව් දත යුතු යි. එහි දු මේ පහත දැක්වෙන විශේෂය සලකනු.
යම් වස්ත්‍රයෙක් දායකයන් විසින් යම් භික්‍ෂුවකගේ පාද මූලයෙහි තබන ලද්දේ ද, ඒ වස්ත්‍රය ඒ භික්‍ෂුව විසින් පංසුකූලික භික්‍ෂුවක ගේ අතෙහි තබා දෙන ලද්දේ නම් ඒ වස්ත්‍රය “එකතො සුද්ධික වස්ත්‍රය” වේ. (මෙහි එකතො සුද්ධිය නම් දායකයන්විසින් පාදමූලයෙහි තබා දීමෙන් ලද්ද යි. භික්‍ෂුව පංසුකූලිකයාගේ අතෙහි තිබීමෙන් දෙවන පක්‍ෂයෙන් සුද්ධිය නැති විය.)
යම් වස්ත්‍රයෙක් දායකයන් විසින් යම් භික්‍ෂුවක ගේ අතෙහි තබා දෙන ලද්දේ ද, ඒ භික්‍ෂුව විසින් ඒ වස්ත්‍රය ඉදින් පංසුකූලික භික්‍ෂුවක ගේ පාදමූලයෙහි තබා දෙන ලද්දේ ද එවිට ද එකතො සුද්ධිය වේ. (මෙහි එකතො සුද්ධිය නම් භික්‍ෂුව විසින් පංසුකූලිකයාගේ පාදමූලයෙහි තබා දීමෙන් ලද්ද යි. දායකයා භික්‍ෂුව ගේ අතෙහි තබා දීමෙන් මූල පක්‍ෂයෙන් සුද්ධිය නැති විය.)
දායකයන් විසින් භික්‍ෂුවකගේ පාදමූලයෙහි තබා දෙන ලද වස්ත්‍රය ඉදින් ඒ භික්‍ෂුව විසිනුදු පංසුකූලිකයා ගේ පාදමූලයෙහි තබා දෙන ලද්දේ නම් එවිට එය උභතො සුද්ධික වේ.
දායකයන් විසිනු දු භික්‍ෂුව ගේ අතෙහි තබා දෙන ලද්ද ඒ භික්‍ෂුව විසින් පංසුකූලිකයාගේ ද අතෙහි තබා දෙන ලද්දේ නම් එවිට එය උභතො සුද්ධියෙන් ම බැහැර වූයේ වෙයි. එබඳු වස්ත්‍රය උත්කෘෂ්ට නො වූ වස්ත්‍රය යි දත යුතුයි.
මෙසේ පංසුකූල භේද දැනැ ම පංසුකූලිකයා විසින් චීවර පරිභෝග කළ යුතු යි.
පංසුකූල පිළිබඳ විධානය යි.
පංසුකූලික ප්‍රභේද
පංසුකූලිකයෝ වනාහි උත්කෘෂ්ටය, මද්‍ධ්‍යමය, මෘදුකය යි තුන්වැදෑරුම් වෙත්. සොහොනෙහි ලු වස්ත්‍ර ම ගෙන සිව්රු කොටැ ධරන්නේ උත්කෘෂ්ටය. ‘පැවිද්දෝ ගනිත්වා’යි යම් කිසිවකු විසින් තබන ලද්ද ගෙන ධරන්නේ මධ්‍යමය. පාමුල තබා දෙන ලද්ද ගෙන ධරන්නේ මෘදුකයි.
පංසුකූලික භේද
මේ ත්‍රිවිධ පංසුකූලිකයන් අතුරෙන් යම්කිසි පංසුකූලිකයෙක් ගිහින් විසින් දෙන ලද වස්ත්‍රය තමහට ඉවසුයේ නම් එකෙණෙහි ම ඔහුගේ පංසුකූලිකඞ්ගය බිඳෙන්නේ ය.
පංසුකූලිකානිසංස
“පංසුකුල චීවරං නිස්සාය පබ්බජ්ජා”[1] යනු වදාළ හෙයින් උපසම්පදා මාලකයෙහි දී තමා ප්‍රතිඥා කළ නිස්සය ධර්‍මයට අනු වැ පිළිපදින බවය, පළමුවන ආර්‍ය්‍යවංශයෙහි පිහිටන බවය, චීවරය රැක ගැන්මෙන් වන දුකක් නැති බවය, අනුන් අයත් පැවැතුම් නැති බවය, සොර බියෙන් බිය නැති බවය, පරිභෝගයෙහි තෘෂ්ණා නැති බවය, ශ්‍රමණ සාරුප්‍ය පිරිකර ඇති බවය, “අප්පග්ඝානිචෙව සුලභානි ච තානි ච අනවජ්ජානි”[2] පංසුකුල නො අගනේ ය. ඇමතන්හි ම ලද හැකි බැවින් සුලභය. හෙද නිරවද්‍යය’යි බුදුරජාණන් වහන්සේ පැසසූ ප්‍රත්‍යය ඇති බවය, ඇසූ දුටුවන් පහදින බවය, අල්පේච්ඡතාදි ගුණයන්ගේ ඵල නිපදන බවය, යහපත් ප්‍රතිපත්තියක් වඩන බවය, පශ්චිම ජනතා සංඛ්‍යාත ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව දෘෂ්ටානු ගතියට පමුණුවන බවය යන මේ පංසුකුලිකඞ්ග ධැරීමෙහි ආනිසංස වේ.
“මාරසෙන විඝාතාය - පංසුකුල ධරො යති
සන්නද්ධ කුවචො යුදෙධ - ඛත්තියො විය සොහති”
“කෙලෙස් මරසෙන් වනසනු පිණිස පංශුකූල චීවරධාරී භික්‍ෂු තෙම යුද්ධයෙහි සන්නාහ සන්නද්ධ ක්‍ෂත්‍රිය කුමාරයකු මෙන් බබළන්නේ ය.”
“පහාය කාසිකාදීනි - වරවත්‍ථානි ධාරිතං
යං ලොකගරුනා කො තං - පංසුකූලංන ධාරයෙ”
“කසී සළු ආදි අගනා පිළි හැරපියා ත්‍රෛලොක්‍යාචාර්‍ය්‍යයන් වහන්සේ විසින් යම් පවුල් සිවුරක් පොරෝනා ලද්දේ ද, ඒ පවුල් සිවුර කවරෙක් නම් නො ධරන්නේ ද” (පවුල් නම් පංසුකූලයි.)
“තස්මා හි අත්තනො භික්ඛු - පටිඤ්ඤං සමනුස්සරං
යොගචාරානුකූලම්හි - පංසුකුලෙ රතො සියා”
“එහෙයින් ම උපසම්පදා මාලකයෙහි දී තමන් දුන් ප්‍රතිඥාව සිහිකරන භික්‍ෂු තෙමේ යොගාචාරානුරූප වූ පංසුකූලයෙහි ඇලෙන්නේ ය.”
පංසුකූලිඞ්ගය පිළිබඳ සමාදාන-විධාන-ප්‍රභේද
භේදානිසංස වර්‍ණනා යි.