යථාසන්‍ථතිකඞ්ගය සමාදන් වන්නහු විසින් “සෙනාසන ලොලුප්පං පටික්ඛිමිපාමි. යථාසන්‍ථතිකඞ්ගං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘සෙනාසන ලොලභාවය හැරැපියමි යථාසන්‍ථතිකඞ්ගය සමාදන් වෙමි’ යනු එහි අර්‍ථ යි.
යථාසන්‍ථතිකඞ්ග විධානය
යථාසන්‍ථතිකඞ්ගය සමාදන් වූවහු විසින් “මෙය නුඹ වහන්සේටය” යි කියා යම් සෙනස්නක් තමාට දෙන ලද්දේ නම් එයින් සතුටු විය යුතු. අන්‍යයෙක් ඔහු උන් සෙනස්නෙන් නො නැඟිටවිය යුතු.
යථාසන්‍ථතිකඞ්ග ප්‍රභේද
මේ ද උත්කෘෂ්ටය, මද්‍ධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ටහට වනාහි තමන්ට පැමිණි සෙනස්න දුර ද ළඟ ද යකුන් නයි පොළඟුන් විසින් උපද්‍රැත ද උෂ්ණ ද සීතල දැ යි විචාරන්නට නො වටනේ ය. මද්‍ධ්‍යමහට එසේ විචාරීමෙන් දෝෂ නැත. ගොස් බලන්නට නො වටනේ ය. මෘදුකහට ගොසින් බලා ඉදින් අරුචි නම් අන් සෙනස්නක් ගන්නට වටනේයි.
යථාසන්‍ථතිකඞ්ග භේද
තමහට පැමිණි සෙනස්න නො ගෙන “අසවලාගේ සෙන්සන මට දෙව” යි විඥප්තියට පමුණුවා සෙනසුන් ලොල් බව උපන් ඇසිල්ලෙහි මේ තුන්දෙනාගේම ධුතාඞ්ගය බිඳෙන්නේ ය.
යථාසන්‍ථතිකඞ්ගානිසංස
“යං ලද්‍ධං තෙන තුට්ඨබ්බා” ‘ලද දෙයින් සතුටු විය යුතුය’ යි වදාළ අවවාදයට නැමුණු බව ය, කිසිවකු උන් සෙනස්නෙන් නො නැඟිටුවන බැවින් සබ්රම්සරුන්ට හිතෙසි වන බවය, (මෙයින් කරුණා විහරණය දැක්වේ) හීනය ප්‍රණීතය යන අදහස් දුරුවන බවය. මෙයින් තාදිගුණය දැක්වේ) ඇලුම්කම් හා විරුද්‍ධකම් දුරුවන බවය, අත්‍රිච්ඡතායෙහි දොර පියාලන බවය, අල්පේච්ඡතාදීන්ට අනුලොම් වන බවය යනාදිය මේ අංගසමාදානයේ ආනිසංස යි.
“යං ලද්‍ධං තෙන සන්තුඨො - යථාසන්‍ථතිකො යති
නිබබිකප්පො සුඛං සෙති - තිණසන්‍ථරකෙසුපි
න සො රජ්ජති සෙට්ඨම්හී - හිනං ලද්‍ධා න කුප්පති
සබ්‍රහ්මචාරී නවකෙ - හිතෙන අනුකම්පති
තස්මා අරියසතාකිණ්ණං - මුනිපුඞ්ගව වණ්ණිතං
අනුයුඤෙජථ මෙධාවි - යථාසන්‍ථතරාමතං”
“ලද දෙයින් සතුටු වන යථාසන්‍ථතික මහණ තණ ඇතිරියෙහි පවා නිර්විකල්ප වැ සයනය කරන්නේ ය. හෙතෙම උතුම් සෙනස්නෙහි නො ඇලෙන්නේ ය. පහත් සෙනසුන් ලැබැ කෝප නො වන්නේ ය. නවක සබ්රම්සරුන් කෙරෙහි හිතානුකම්පා කරන්නේ ය. එබැවින් නුවණැත්තේ ආර්‍ය්‍ය ශතයන් විසින් පුරුදු කළ මුනි උතුමා විසින් පසස්නා ලද යථාසත්‍ථතිකඞ්ගයෙහි යෙදෙන්නේ යි.”
යථාසන්‍ථතිකඞ්ගය පිළිබඳ සමාදාන-විධාන-ප්‍රභේද
භේදානිසංස වර්ණනා යි.