අබ්භොකාසිකඞ්ග සමාදානය

star_outline

අබේභාකාසිකඞ්ගය සමාදන් වන්නහු විසින් “ඡන්තං ච රුක්ඛමූලංච පටික්ඛිපාමි, අබ්භොකාසිකඞ්ගං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘සෙවෙණි කළ ගෙය ද, වෘක්‍ෂමූල ද හැරැපියමි. අබේභාකාසිකඞ්ගය සමාදන් වෙමි” යනු එහි අර්‍ථයි.

අබ්භොකාසිකඞ්ග විධානය

අබේභාකාසිකඞ්ග සමාදන් වූවහුට බණ අසනු පිණිස හා පොහෝ කරනු පිණිස උපෝසථාගාරයට ඇතුළුවන්නට වටනේ ය. ඇතුළු වූ කල වැසි වස්නේ නම් වැසි පෑවූ කල්හි නික්ම යා යුතු. වස්නා කල්හි මැ නො යා යුතු. තව ද භෝජන ශාලාවට හා ගිනිහල් ගෙට පැමිණ වත්පිළිවෙත් කරන්නට ද, භෝජන ශාලායෙහි ස්ථවිර භික්‍ෂූන් බතින් විචාරන්නට ද, ඉගෙනීම හෝ උගැන්වීම සඳහා ගෙවලට ඇතුළු වන්නට ද, පිටත දමා තිබෙන ඇඳ පුටු ආදිය ගෙ තුල ලා ලන්නට ද වටනේ ය. මඟ යන කල අන් මහණුන්ගේ පිරිකර අතේ ඇත් නම් වැස්සෙන් නො තෙමීම සඳහා මාර්‍ග මධ්‍යයෙහි පිහිටි ශාලාවකට ඇතුළු වන්නට ද වටනේ ය. අතේ කිසි පිරිකරක් නැත් නම් සාලාවට යාම සඳහා වේගයෙන් යන්නට නො වටියි. පියවි ගමනින් ගොස් ගෙට වැදැ වැසි නවතින තාක් සිටැ යා යුතුයි. මේ නියමය වෘක්‍ෂමූලිකයාට ද මෙසේම බැව් දත යුතු යි. (‘මං මැද සිටි හල් නම් හෙළදිව මෙන් මඟින් පහ නොවැ ඉදිවම වැද්ද යුතු හලයි’ යනු පැරකුම්බා සන්නයි).

අබ්භොකාසිකඞ්ග ප්‍රභේද

මෙ ද වනාහි උත්කෘෂ්ටය, මද්‍ධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ටයාහට වෘක්‍ෂයක් හෝ පර්‍වතයක් හෝ ගෙයක් හෝ ඇසුරු කොට වසන්නට නො වටනේ ය. ඔහු විසින් අභ්‍යවකාශයෙහි චීවර කුටියක් කොටගෙන එහි විසිය යුතු. මද්‍ධ්‍යමයාහට වාක්‍ෂ පර්‍වත ගෘහ ඇසුරු කොට එහි ඇතුළට නො වැද වසන්නට වටනේ ය. මෘදුකහට කටාරම් නො කෙටූ ලෙන් ද, තුනී කොට සෙවූ කොළ මඩු ද, ඉටිරෙදි ගෙවල් ද, කුඹුරු රක්නවුන් විසින් හැරැ දැමූ කුටි ද වටනේ යි.

අබ්භොකාසිකඞ්ග භේද

වාසය පිණිස සෙවෙණි කළ ගෙයකට හෝ රුක් මුලකට හෝ පැමිණි ඇසිල්ලෙහි මේ තුන් දෙනගේ ම ධුතඞ්ගය බිඳෙන්නේ ය. අඞ්ගුත්තරභාණකයන් ගේ මතය නම් දැනැගෙනැ එහි අරුණු නැංවූ කල ධුතඞ්ග බිඳෙන බවයි.

අබේභාකාසිකඞ්ගානිසංස

ආවාස පලිබෝධ නැති වන බව ය, ථීන-මිද්‍ධ දුරුවන බව ය, “මගකා විය අසඞ්ගචාරිනො - අනිකෙතා විහරන්ති භික්ඛවො”[1] ගෙවල් නැති භික්‍ෂූහු මුවන් මෙන් නිස්සඞ්ග වැ (කිසි තැනෙක ඇල්මෙක් නැති වැ) වසති’යි වදාළ ප්‍ර‍ශංසාවට සුදුසු වන බව ය, කිසි තැනෙක ඇලුම් නැති බවය, සිව් දිගින් රුචි දිගකට යත හැකි බව ය, අල්පේච්ඡතාදි ගුණයන්ට අනුලොම් වන බව ය යනු මේ ධුතාඞ්ගයා ගේ ආනිසංස යි.

“අනාගාරිය භාවස්ස - අනුරූපෙ අදුල්ලභෙ

තාරාමණී විතානම්හි - වන්‍දදීපප්පභාසිතෙ

අබ්භොකාසෙ වසං භික්ඛු - මිගභුතෙන චෙතසා

ථීනමිද්ධං විනොදෙත්වා - භාවනාරාමතං සිතො

පවිවෙක රසස්සාදං - න චිරස්සෙව වින්‍දති

යස්මා තස්මාහිසප්පඤ්ඤො - අබ්භොකාසෙ රතොසියා”

“ශ්‍ර‍මණ ධර්‍මයට සුදුසු දුර්‍ලභ නො වන තරු නමැති බුබුළු ඇති, අහස් නමැති වියන් ඇති, සඳපහනින් ආලෝක වූ අභ්‍යවකාශයෙහි (ඇලුම් නැති බැවින්) මුවන් ගේ සිත් බඳු සිතින් වසන භික්‍ෂු ථීන - මිද්ධය දුරුකොට භාවනායෙහි ඇලුණේ නිර්‍වාණ රසාස්වාදය යම් හෙයකින් නො බෝ කලෙකින් ලබන්නේ ද, එහෙයින් නුවණැත්තෝ අභ්‍යවකාශයෙහි ඇලෙන්නේ ය.

අබ්භොකාසිකඞ්ග සමාදාන - විධාන - ප්‍රභේද - භේද

ආනිසංස වර්ණනාව යි.

  1. සං:නි: වනසංයුත්ත 124