රුක්ඛමූලිකඞ්ග සමාදානය

රුක්ඛමූලිකඞ්ගය සමාදන් වන්නහු විසින් “ජන්තං පටික්ඛිපාමි. රුක්ඛමූලිකඞ්ගං සමාදියාමි.” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘සෙවෙණි කළ (පියසි ඇති) ගේ හැරැපියමි. වෘක්‍ෂමූලිකාඞ්ගය සමාදන් වෙමි’ යනු එහි අර්‍ථ යි.

රුක්ඛමූලිකඞ්ග විධාන

රුක්ඛමූලිකඞ්ගය සමාදන් වූවහු විසින් රාජ්‍ය සීමායෙහි පිහිටි රුක් ද, ‘දෙවියන් වෙසෙති යි’ මිනිසුන් විසින් පුද පවත්වන රුක් ද, ලාටු ගන්නා රුක් ද, පල ගන්නා රුක්ද, වවුලන් වසන රුක් ද, සිදුරු ඇති රුක් ද, විහාර මැද පිහිටි රුක් ද හැරැ විහාර කෙළවර පිහිටි රුකක් විසුම් පිණිස ගත යුතු.

රුක්ඛමූලිකඞ්ග ප්‍රභේද

මෙ ද වනාහි උත්කෘෂ්ටය, මද්‍ධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ටයාහට අභිමත රුකක් ගෙන වැටුණු පරණල පයින් ඉවත් කොට වසත හැකි ය. සකස් කර වන්නට නො හැකිය. මද්‍ධ්‍යමයාහට ඒ රුක ළඟට පැමිණි කෙනෙකුන් ලවා සකස් කරව ගන්නට හැකි ය. මෘදුකයාහට වනාහි ආරාමිකයන් හා සාමණෙරයන් කැඳවා ඔවුන් ලවා ශුද්ධ කරවා සම කරවා වැලි ඉස්සවා ප්‍රාකාරයෙන් වට කරවා දොරවල් යොදවා ගෙන වසත හැකිය. පූජා දවස්හි එහි නො සිට අන්‍ය ප්‍ර‍තිච්ඡන්න තැනෙක විසිය යුතු.

රුක්ඛමූලිකඞ්ග භේද

සෙවෙණි කළ ගෙයක වාසය කළ ඇසිල්ලෙහි මේ තුන් දෙනාගේ ම අඞ්ගය බිඳෙන්නේ ය. අඞ්ගුත්තරභාණකයන් ගේ මතය නම් දැනැ ගෙන සෙවෙණියෙහි අරුණු නැංවූ කල අඞ්ගය බිඳෙන බව යි.

රුක්ඛමූලිකකඞ්ගානිසංස

“රුක්ඛමූලසෙනාසනං නිස්සාය පබ්බජ්ජා”[1] යනු වදාළ හෙයින් නිස්සයානුරූප ප්‍ර‍තිපත්ති ඇති බව ය, “අප්පානිවෙච සුලභානි ච තානි ච අනවජ්ජානි”[2] රුක් මුල් සෙනසුන් ස්වල්පය, එහෙත් සුලභය, නිරවද්‍යය යි බුදුන් වහන්සේ විසින් වර්‍ණනා කළ ප්‍ර‍ත්‍යයක් වන බව ය, නිතර පත්‍ර‍ විකාර දැක්මෙන් අනිත්‍ය සංඥා පහළ වන බව ය, ආවාස මච්ඡරිය හා නවකර්‍මයෙහි යෙදුම් නැති බව ය, දෙවියන් හා එක් වැ වසන බව ය, අල්පේච්ඡතාදි ගුණයන්ට අනුලොම් පැවතුම් ඇති බවය යන මේ රුක්ඛ මූලිකඞ්ගානිසංසයි.

“වණර්‍ණතො බුද්‍ධසෙට්ඨෙන - නිස්සයොති ච භාසිතො

නිවාසො පවිචිත්තස්ස - රුක්ඛමූලසමො කුතො

ආවාසමච්ඡෙරහරෙ - දෙවතා පරිපාලිතෙ

පවිවිත්තෙ වසන්තො හි - රුක්ඛමූලම්හි සුබ්බතො

අභිරත්තානි නීලානි - පණ්ඩූනි පතිතානි ච

පස්සන්තො තරුපණ්ණානි - නිච්චසඤ්ඤං පනූදති

තස්මා හි බුද්‍ධදායජ්ජං - භාවනාභිරතාලයං

විවිත්තං නාතිමඤ්ඤෙය්‍ය - රුක්ඛමූලං විචක්ඛණො”

“උතුම් බුදුරජාණන් වහන්සේ විසින් “අප්පානිචචෙ සුලභානි ච” යනාදීන් පසස්නා ලද්දාවූ ද, “රුක්ඛමූල සෙනාසනං නිස්සාය පබ්බජ්ජා”[3] යනුවෙන් වදාරන ලද්දා වූ ද, වෘක්‍ෂමූලය බඳු වූ නිවාසයෙක් විවේකකාමීන්ට වෙන කොයි ද? ආවාස මාත්සර්‍ය්‍යය දුරු කරන්නා වූ දේවපාතික විවේක රුක්මුලැ වසන ව්‍ර‍ත සම්පන්න භික්‍ෂු ඉතා රතුවූ ද, මඳ නිල් වූ ද, පඬුවන් වූ ද, බිම වගුල තුරු පත් දැක්මෙන් නිත්‍ය සංඥාව දුරු කරන්නේ ය. එ හෙයින් බුදුන්වහන්සේ ගේ දෑවැද්ද වූ, භාවනාභිරතයන්ට වාසස්ථානය වූ විවේක රුක් මුල නුවණ ඇත්තේ ඉක්මැ නො සිතන්නේ ය.

රුක්ඛමූලිකඞ්ගය පිළිබඳ සමාදාන-විධාන-ප්‍රභේද-

භේදානිසංස වර්ණනා යි.

  1. ම:ව: මහාක්ඛන්‍ධක 104

  2. අ:නි: චතුක්කනිපාත 203

  3. ම:න: මහාක්ඛන්‍ධක 104