ආරඤ්ඤකඞ්ග සමාදානය.

ආරඤ්ඤකඞ්ගය සමාදන් වන්නහු විසින් “ගාමන්ත සෙනාසනං පටික්ඛිපාමි. ආරඤ්ඤකඞ්ගං සමාදියාමි.” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. “ග්‍රාමාන්ත සෙනාසනය හැරැ පියමි. ආරඤ්ඤකඞ්ගය සමාදන් වෙමි” යනු එහි අර්‍ථයි.

ආරඤ්ඤකඞ්ග විධානය.

ආරඤ්ඤකඞ්ගය සමාදන් වූවහු විසින් ග්‍රාමාන්ත සේනාසනය හැරැපියා අරණ්‍යයෙහි ඇරුණු නැංවිය යුතු. ග්‍රාමාන්ත සේනාසනය නම් උපචාරයත් සමඟ ගමයි. ගම නම් එක කුටියක් හෝ කුටි බොහෝ ගණනක් ඇති වැ පවුරු ආදයෙන් පරික්‍ෂෙප කරන ද හෝ නො කරන ලද මිනිසුන් ඇති හෝ නැති ප්‍රදේශයයි. යටත් පිරිසෙයින් සාත්තුවාහකයන් සාරමසක් විසූ තැන පවා ග්‍රාම සඞ්ඛ්‍යාවට ඇතුළත් වන බව දතයුතු. ග්‍රාමොපචාරය නම් වැට පවුරු ආදියෙන් පරික්‍ෂේප කළ ගමෙහි අනුරාධපුරයෙහි මෙන් ඉන්ද්‍ර‍ඛීල දෙකක් ඇත්නම් එයින් අභ්‍යන්තර ඉන්‍ද්‍ර‍ඛීලයෙහි සිට මධ්‍යම බලැති පුරුෂයකු විසින් ගැසූ කැටක් වැටෙන තරම් ප්‍රදේශය යි. මෙයට ලෙඩ්ඩුපාතය යි කියනු ලැබේ. ලෙඩ්ඩුපාතය විනයධරයෝ එක් විධියකට ද, සූත්‍ර‍ධරයෝ අන්‍ය විධියකට ද තෝරති. තරුණ මිනිස්සු ස්වකීය වෙර දක්වා අත දිගු කොට ගල්කැට වීසි කරත් එබඳු කැට වැටෙන තරම් අතර ප්‍රදේශය ලෙඩ්ඩුපාතය යනු විනයධරයන් ගේ මත ය. කවුඩන් එලවන නියායෙන් ගැසූ කැට වැටෙන තරම් අතර ප්‍රදේශය ලෙඩ්ඩුපාතය යනු සූත්‍ර‍ධරයන් ගේ මත යි. (මේ කීයේ පරික්‍ෂේප කළ ගමට උපචාරය ලැබෙන සැටියි.)

ඉදින් ගම වැට පවුරු ආදියෙන් පරික්‍ෂේප නො කරන ලද නම් එහි උපචාරය ලැබෙන සැටි මෙසේ ය. එබඳු ගමෙහි අරණ්‍යයට ආසන්න අන්තිම ගෘහයෙහි සිටි ස්ත්‍රියක් භාජන සෝදා වතුරු විසි කරයි නම් ඒ වතුර වැටෙන තරම් ප්‍රදේශය ගෘභොපචාරයි. ඒ වතුර වැටුණු තැන සිට යට කීසේ ගැසූ ලෙඩ්ඩුපාතය ගම යි. ඒ ලෙඩ්ඩුපාතයේ සිට ගැසූ දෙ වන ලෙඩ්ඩුපාතය ග්‍රාමොපචාරය යි.

අරණ්‍යය ද විනය විධිය, අභිධර්‍ම විධිය, සූත්‍ර‍ විධිය යි ත්‍රිවිධ වේ. යට දැක්වූ ග්‍රාමය හා ග්‍රාමොපචාරය හැරැ එයින් ඔබ සියලු වනය විනය විධියෙන් අරණ්‍යයි යි “ඨපෙත්‍වා ගාමංච ගාමූපචාරංච සබ්බමෙතං අරඤ්ඤං”[1] යනු එහෙයින් කියන ලදි.

බාහිර ඉන්‍ද්‍ර‍ඛීලය හැරැ එතැන් පටන් ඔබ සියලු විනය අභිධර්‍ම විධියෙන් අරන්‍ය යි. “නික්ඛමිත්‍වා බහි ඉන්‍ද්‍ර‍ඛීලා සබ්බමෙතං අරඤ්ඤං”[2] යනු එහෙයින් කියන ලදී. සූත්‍ර‍ විධියෙන් අරණ්‍යය නම් දුනු පන්සියයෙකි. “අරඤ්ඤකං පන සෙනාසනං පඤ්ඤධනුසතිකං” යනු එහෙයින් කියන ලදී. දුන්න නව වියතෙකි. ආරඤ්ඤකඞ්ගය පිළිබඳ වැ ගතයුත්තේ මේ සූත්‍රාන්තික ආරණ්‍යය යි එය මැණිය යුත්තේ වැට පවුරු ආදියෙන් පරික්‍ෂේප කල ගමේ ඉන්‍ද්‍ර‍ඛීලයෙහි හා එසේ පරික්‍ෂේප නො කළ ගමේ යට දැක්වුණු පරිදි ලෙඩ්ඩුපාතයෙහි පටන් අරණ්‍ය විහාරයේ පරික්‍ෂේපය දක්වා ය. ඉදින් ආරණ්‍යය විහාරය පරික්‍ෂේප නො කරන ලද්දක් නම් එහි සියල්ලට ඉදිරියෙහි තිබෙන සේනාසනය හෝ භත්ත ශාලාව හෝ සංඝයා නිතර රැස්වෙන තැන හෝ බෝධිය හෝ චෛත්‍යය හෝ දක්වා මැණිය යුතු. ඒ ස්ථාන ආරණ්‍ය සේනාසනයෙන් දුර වුව ද එම ගත යුතු. මේ දැක්වුණේ විනය අටුවාවේ මතය යි. මැදුම්සඟි අටුවායෙහි වනාහි ගමට මෙන් අරණ්‍ය විහාරයට ද, උපචාර හැරැ ලෙඩ්ඩුපාත දෙක අතර මැණිය යුතුය යි දක්වන ලදී. සූත්‍රාන්තික ක්‍ර‍මය හෙයින් එය ම මෙහි ප්‍ර‍මාණ වේ.

තව ද කියයුත්තෙක් ඇති. අරණ්‍යයට ආසන්න නමුදු අරණ්‍ය විහාරයෙහි සිටියවුන්ට ගමේ මිනිසුන් ගේ කථා ඇසේ නමුදු පර්‍වත ගංගා ආදිය අතර බැවින් සෘජු වැ යන්නට නො හැකි වැ ප්‍ර‍කෘති මාර්‍ගය ඔරු පාරුවලින් යා යුතු නම් ඒ මාර්‍ගයෙන් දුනු පන්සියය මැණිය යුතු. ආසන්න වූ ගමට අඞ්ග සම්පූර්‍ණ කර ගැන්ම පිණිස යමෙක් ප්‍ර‍කෘති මාර්‍ගය වසමින් මිණි ද ඔහු ධුතාඞ්ග චෞරයකු වන බව දත යුතුයි.

තව ද අරඤ්ඤකඞ්ගය සමාදන් වැ ගත් භික්‍ෂුවක ගේ ආචාර්‍ය්‍යයන් වහන්සේ හෝ උපාධ්‍යායයන් වහන්සේ හෝ ගිලන් සේක් නම් අරණ්‍යය සජායා නොවේ නම් ග්‍රාමාන්ත සේනාසනයට පමුණුවා උපස්ථාන කළ යුතු. කල් ඇති වැ ගමින් නික් මැ ගොස් අරණ්‍යයෙහි අරුණු නැංවිය යුතු. අරුණු නැඟෙන වේලෙහි රෝගය උත්සන්න වේ නම් ධුතඞ්ගය හැරැපියා උපස්ථාන කළ යුතුයි. ධුතාඞ්ග ශුද්‍ධික නො විය යුතුයි.

ආරණ්‍යකඞ්ග ප්‍රභේද

මේ ද උත්කෘෂ්ටය, මද්ධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ටයා විසින් සියලු කල්හි අරණ්‍යයෙහි අරණු නැංවිය යුතු. මද්ධ්‍යම හට වැසි සාරමස ග්‍රාමාන්ත සේනාසනයෙහි විසිය හැකි. මෘදුකහට වස්සික හෙමන්ත යන අට මස ම ග්‍රාමාන්තයෙහි විසිය හැකි යි.

ආරණ්‍යකාඞ්ග භෙද

මේ තුන් දෙන ම ඒ ඒ කාල තුල ආරණ්‍යයෙන් නික්ම අවුත් ග්‍රාමාන්ත සේනාසනයෙහි බණ අසන කල්හි අරුණු නැංගත් බණ අසා යන විට අතරමඟ දී අරුණු නැංගත් ධුතාඞ්ගය නො බිඳෙන්නේ ය. ඉදින් ධර්‍මකථිකයා බණ කියා ආසනයෙන් නැගී ගිය කල්හි “මොහොතක් නිදා යමි” යි නිදන කල අරුනු නැංගේ නම් එසේ ම සිය කැමැත්තෙන් ග්‍රාමාන්ත සේනාසනයෙහි අරුණු නැංවී නම් ධුතාඞ්ගය බිඳෙන්නේ ය.

ආරඤ්ඤකඞ්ගානිසංස

ආරණ්‍යක භික්‍ෂු අරණ්‍ය සංඥාව මෙනෙහි කරන්නේ නො ලත් සමාධි ලැබැ ගන්නට ද, ලත් සමාධි රැක ගන්නට ද සමර්‍ථ ය. “තෙනාහං නාගිත-තස්ස භික්ඛුනො අත්තමනො හොමි අරඤ්ඤ විහාරෙන”[3] නාගිතය ඒ අරණ්‍ය විහරණයෙන් මම ඒ භික්‍ෂුහට සතුටු ඇත්තෙමි” යනු (අංගුත්තර සඟියෙහි) වදාළ බැවින්න අරණ්‍යවාසී භික්‍ෂූහට ශාස්තෘන් වහන්සේ සතුටු වන සේක. අසප්පාය රූපාදීහු වනවාසී භික්‍ෂුහුගේ සිත වික්‍ෂිප්ත කළ නො හෙති. විවේකයෙහි පුරුදු බැවින් හෙතෙමේ නිර්‍භය ය. ජීවිත තෘෂ්ණාව දුරු කරයි. විවේක සුඛයෙහි රස වළඳයි. පංසුකූලාදි භාවයට සුදුසු වේ.

“පවිවිත්තො අසංසට්ඨො - පන්තසෙනාසනෙ රතො

ආරාධයන්තො නාථස්ස - වනවාසෙන මානසං

එකො අරඤ්ඤෙ නිවසං - යං සුඛං ලභතෙ යති

අරඤ්ඤසඞ්ගාමගතො - අවසෙසධුතායුධො

සමත්‍ථො න චිරස්සෙව - ජෙතුං මාරං සවාහිනිං

තස්මා අරඤ්ඤවාසම්බි - රතිං කයිරාථ පණ්ඩිතො”

“කාය විවේක ඇති වැ කිසිවකු හා සංසර්‍ග නැති වැ ප්‍රාන්ත සෙනස්නෙහි ඇලෙමින් ඒ වනවාසයෙන් තථාගතයන් වහන්සේ ගේ චිත්තාරාධනය කරමින්; හුදෙකලා වැ අරණ්‍යයෙහි වසන භික්‍ෂු යම් සුවයක් වළඳන්නේ නම් ශක්‍ර‍යා සහිත දෙවියෝ පවා ඒ සුවයෙහි රසය නො වළඳති. පංසුකූලය කවචයක් සේ ධරමින් සෙසු ධුතාඞ්ග නමැති ආයුධ ඇති වැ අරණ්‍යයෙහි කෙලෙස් යුද්ධයකට ගිය මේ මහණ සේනා සහිත මාරයා දිනන්නට නොබෝ කලකින් සමර්‍ථ වන්නේ ය. එ හෙයින් නුවණැත්තේ අරණ්‍ය වාසයෙහි ආලය කරන්නේ යි.”

ආරඤ්ඤිකඞ්ගය පිළිබඳ සමාදාන- විධාන- ප්‍රභේද - භේද

ආනිසංස වර්ණනායි.

  1. පා:පා: දුතියපාරාජිකා 49-2

  2. වි:ප:ඣාන වි: 190

  3. අ:නි: ඡක්කනිපාත 548