පිණ්ඩපාතිකඞ්ගය සමාදන් වන්නහු විසින් “අතිරෙක ලාභං පටික්ඛපාමි. පිණ්ඩපාතිකඞ්ගං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතුයි. ‘අතිරෙක ලාභ හැරපියමි. පිණ්ඩපාතිකඞ්ගය සමාදන් වෙමි.’ යනු එහි අර්‍ථයි.
පිණ්ඩපාතිකඞ්ග විධානය
පිණ්ඩපාතිකඞ්ගය සමාදන් වූවහු විසින් සංඝභත්තය, උදේදස භත්තය, නිමන්තනය, සලාක භත්තය, පක්ඛිකය, උපොසථිකය, පාටිපදිකය, අගන්තුක භත්තය, ගමික භත්තය, ගිලාන භත්තය, ගිලානුපට්ඨාන භත්තය, විහාර භත්තය, ධුර භත්තය, වාර භත්තය යන තුදුස් බත් නො ඉවසිය යුතු.
තුදුස් බත්
1. සංඝභත්තය - සංඝයාට දෙනු ලබන බත.
2. උද්දසභත්තය - භික්‍ෂූන් කීප දෙනෙකු උදෙසා දෙනු ලබන බත.
3. නිමන්තනය - සංඝයාට හෝ පුද්ගලයාට හෝ නිමන්ත්‍රණය කොට දෙනු ලබන බත.
4. සලාකභත්තය - සලාකාලීමෙන් දෙනු ලබන බත.
5. පක්ඛිකභත්තය - සැදැහැවතුන් විසින් පක්‍ෂයකට වරක් දෙනු ලබන බත.
6. උපොසථිකය - පොහොය පොහොය දෙනු ලබන බත.
7. පාටිපදිකය - පෑලවියෙහි දෙනු ලබන බත.
8. ආගන්තුකභත්තය - ආගන්තුක භික්‍ෂූන්ට දෙනු ලබන බත.
9. ගමිකභත්තය - ගමන් යන්නට සූදානම් භික්‍ෂූන්ට දිය යුතු බත.
10. ගිලානභත්තය - ගිලනුන්ට දිය යුතු බත.
11. ගිලානුපට්ඨානභත්තය - ගිලනුන්ට උපස්ථාන කරනුවන්ට දිය යුතු බත.
12. විහාරභත්තය - සැදැහැතියන් විසින් ඔවුන් කළ වෙහෙර වසනුවන්ට දෙනු ලබන බත.
13. ධුරභත්තය - සංඝයාට හෝ පුද්ගලයන්ට හෝ ‘ධුර බත් දෙමි’යි නිතර දෙන බත.
14. වාරභත්තය - ගම්වැසි ආදීන් වාරයෙන් වාරය දෙන බත.
“සඟ බත ගත මැනව” යනාදි වශයෙන් නො කියා “අපේ ගෙයි සංඝයා දන් වළඳති. ඔබ වහන්සේ ද භික්‍ෂාව ගත මැන වැ”යි කියන ලද නම් ඉවසීම වටනේ ය. සංඝයා කෙරෙන් ලැබෙන නිරාමිස සලාකා ද විහාරයෙහි පිසන බත ද ගන්නට වටනේම ය. නිරාමිස සලාකා නම් යාවකාලිකය හැරැ සෙසු තුන් කාලික පිළිබඳ සලාකායි.
පිණ්ඩපාතිකඞ්ග ප්‍රභේද
පිණ්ඩපාතික ද උත්කෘෂ්ටය, මධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ට පිණ්ඩපාතික වනාහි ඉදිරියෙන් ද, පස්සෙන් ද ගෙනෙන පිණ්ඩපාතය ගන්නේ ය. සම්මුඛ වූ ගෘහද්වාරයෙහි සිට ඉල්ලා ගන්නවුන්ට පාත්‍රය ද දෙන්නේ ය. පාත්‍රය බොජුන්හලට ගෙන ගොස් දෙන පිණ්ඩපාතය ද ගන්නේ ය. “ස්වාමීනි! අද පිණ්ඩපාතයේ නො වැඩිය මැනව. වෙහෙරට ම භික්‍ෂාව ගෙනෙම්හ”යි කියන උපාසකයන්ගේ බස් ඉවසා එ දවසේ හිඳ ආහාර නො ගන්නේ යි.
මධ්‍යම වනාහි එසේ එ දවසට දෙන පිණ්ඩපාතය විහාරයෙහි හිඳ ද ගන්නේ ය. සෙට දවසට එබන්ද නො ඉවසන්නේ ය.
මෘදුක වනාහි සෙට දවසට ද, මතු දවසට ද එබන්ද ඉවසන්නේ ය. මෙයින් මධ්‍යම - මෘදුක දෙදෙන රිසි සේ විහරණ සුවය නො ලබන බව ද, උත්කෘෂ්ටයා ම එය ලබන බව ද දත යුතු යි.
(ඒ සඳහා කථාවක් මෙසේ ය.)
එක් ගමෙක මහා ආර්‍ය්‍යවංශ සූත්‍රයෙන් ධර්‍මදේශනාවෙකි. “අපි දු බණ අසන්නට යම්හ”යි උත්කෘෂ්ට පිණ්ඩපාතික භික්‍ෂූන් වහන්සේ සෙසු දෙනමට ඇමතූ සේක. “ස්වාමීනි! අද භික්‍ෂාව පිණිස එක මිනිසකු විසින් මම හිඳුවන ලදිමි”යි එක නමෙක් කීය. අනෙක් නම ද “ස්වාමීනි! හෙටට පිළිගත් භික්‍ෂාවක් ඇතැ”යි කීයේ ය. මෙයින් ඒ දෙනම ම ධර්‍මරසයෙන් පිරිහුණේ ය. උත්කෘෂ්ට වනාහි උදෑසනක් සේම පිඬු පිණිස හැසිරැ ගොස් ධර්‍මරසය වින්දේ යි.
පිණ්ඩපාතිකඞ්ග භේද.
සංඝභත්තාදි අතිරේක ලාභ ඉවසූ කෙණෙහි මේ තුන් නමගේ ම පිණ්ඩපාතිකඞ්ගය බිඳෙන්නේ ය.
පිණ්ඩපාතිකඞ්ගානිසංස
“පිණ්ඩියාලොපභොජනං නිස්සාය පබ්බජ්ජා”[1] යනු වදාළ හෙයින් උපසම්පදා මාලකයෙහි දී ප්‍රතිඥා කළ නිඃශ්‍රයානුකූල වූ ප්‍රතිපත්ති ඇති බවය, දෙවන ආර්‍ය්‍යවංශයෙහි පිහිටන බවය, අනුන් අයත් පැවතුම් නැති බව, “අප්පග්ඝානි චෙව සුලභානි ච තානි ච අනවජ්ජානි”[2] යි බුදුන් වහන්සේ පසස්නා ලද ප්‍රත්‍යය ඇති බවය, කුසීත බව මැඩපියන බවය. පිරිසිදු දිවිපෙවෙත් ඇති බවය, සේඛියාහි වදාළ පිළිවෙත් පිරෙන බවය, අනුන් විසින් පෝෂණය නො කරනු ලබන බවය, අනුනට අනුග්‍රහ කරන බවය, “අන්තමිදං භික්ඛවෙ ජීවිකානං යදිදං පිණ්ඩොල්‍යං”[3] යනු වදාළ හෙයින් අන්තිම ජීවිකායෙහි පිහිටි බැවින් මානය දුරුවන බවය, මිශ්‍රාහාරයෙන් යැපෙන බැවින් රසතෘෂ්ණාව වැළකෙන බවය, ගණභොජන[4] පරම්පරභොජන[5] චාරිත්ත[6] යන ශික්‍ෂාපදයන්ගෙන් ඇවැත් නොවන බවය, (මේ ශික්‍ෂාපදයන්ගේ භාවය ප්‍රාතිමෝක්‍ෂයෙන් දැනගත යුතු.) අල්පේච්ඡතාදි ගුණයන්ට අනුලොම් වැ පවතින බවය, යහපත් පිළිවෙත් වැඩෙන බවය, පශ්චිම ජනතාවට අනුකම්පා කරන බවය යනු පිණ්ඩපාතිකයාගේ ආනිසංස යි.
“පිණ්ඩියාලොප සන්තුට්ඨො - අපරායත්ත ජීවිකො
පහීණාහාරලොලුප්පො - හොති චාතුද්දිසො යති,
විනොදයති කොසජ්ජං - ආජීවස්ස විසුජ්ඣති
තස්මාහි නාතිමඤ්ඤෙය්‍ය - භික්ඛාචරියං සුමෙධසො”
“පිණ්ඩපාත භෝජනයෙන් සතුටු වූ අනුන් අයත් ජීවිකා නැත්තා වූ ප්‍රහීණ කළ ආහාර තෘෂ්ණා ඇත්තා වූ භික්‍ෂු තෙම සිව් දිසාවට ම සුදුස්සෙක් වන්නේ ය. හෙතෙම කුසීත බව දුරු කරයි උහුගේ ආජීවය පිරිසිදු යි. එහෙත් ප්‍රාඥ භික්‍ෂු පිණ්ඩපාතචර්‍ය්‍යාව නො ඉක්මවන්නේ යි”
“මේ පිණ්ඩපාතික මහණ වනාහි ඉදින් ලාභ කීර්‍තතිකාමී නො වේ නම් තමා ම පෝෂණය කරන්නා වූ අන්‍යයන් පෝෂණය නො කරන්නා වූ තාදී ගුණ ඇති ඒ භික්‍ෂු හට දෙවියෝ ද සතුටු වෙත්” වදාළේ මැයි. උදානයෙහි:-
පිණ්ඩපාතිකඞ්ගය පිළිබඳ සමාදාන, විධාන, ප්‍රභේද
භේදානිසංස වර්ණනා යි.