නෙසජ්ජිකඞ්ග සමාදානය

star_outline

නේසජ්ජිකඞ්ගය සමාදන් වන්නහු විසින් “සෙය්‍යං පටික්ඛිපාමි. නෙසජ්ජිකඞ්ගං සමාදියාමි” යන වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘සයනය කරන ඉරියව්ව හැරැ පියමි. නෙසජ්ජිකඞ්ගය සමාදන් වෙමි’ යනු එහි අර්‍ථ යි.

නෙසජ්ජිකඞ්ග විධානය

නෙසජ්ජිකඞ්ගය සමාදන් වූවහු විසින් හිඳැගෙනැ මැ නො හිඳැ - රෑ තුන්යම අතුරෙන් එක් යාමයක නැගිට සක්මන් කළ යුතු. ඔහුට නුසුදුසු වන්නේ සයනය ඉරියව්ව පමණෙකි. යාම්-සිටීම්-ඉඳීම් යන සෙසු තුන් ඉරියව්ව නො වටනේ නො වේ.

නෙසජ්ජිකඞ්ග ප්‍රභේද

මෙ ද උත්කෘෂ්ටය, මද්‍ධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ටහට පිටාටුව ද, සිව්රු අකවටු ද, අයෝගපට්ට ද නො වටනේ ය. මද්‍ධ්‍යමහට මේ තුනින් එකක් වටනේ ය. මෘදුකහට ඒ තුන හා බිමේබාහනය ද, පඤ්චාඞ්ගය ද, සප්තාඞ්ගය ද වටනේ ය. බිම්බෝහන නම් කොට්ටය, පඤ්චඞ්ගය නම් පිටිපසට පමණක් ඇඳි ඇති පුටුව. සප්තාඞ්ගය නම් පිටිපසට හා දෑලයට ඇඳි ඇති පුටුව, (පා සතරක් සමඟ වූ විට මෙය පඤ්චාඞ්ග හා සප්තාඞ්ග වේ. මේ සප්තාඞ්ගයක් පීළාභය තෙරණුවන්ට කර දුන් බවද, එහි හිඳ උන්වහන්සේ අනාගාමි වූ බවද දක්වා තිබේ. (සයන විශේෂයක් නො වන බැවින් නේසජ්ජිකහට අයෝග්‍ය නොවන බව එයින් කී සේයි.)

නේසජ්ජිකඞ්ග භේද

සයනය කළ ඇසිල්ලෙහි මේ තුන්දෙනාගේ ම ධුතාඞ්ගය බිඳෙන්නේ ය.

නෙසජ්ජිකඞ්ගානිසංස

“සෙය්‍යසුඛං පස්සසුඛං මිද්‍ධංසුඛං අනුයුත්තො විහරති”[1] සයනයෙන් ලැබෙන සුවයෙහි ද, ඇලයෙන් ඇලයට පෙරළි පෙරළී නිදන්නහුට වන පාර්ශ්ව සුවයෙහි ද, නිද්‍රා සුවයෙහි ද, යෙදී වාසය කරන්නෝය’යි චෙතෝඛිල සූත්‍රයෙහි වදාළ චෙතෝවිනිබන්‍ධ සිඳලන බවය, සියලු කර්‍මස්ථානයන්හි ම යෙදීමට සප්පාය වන බවය, දුටුවන් පහදනා ඉරියව් ඇති වන බවය, වීර්‍ය්‍යාරම්භයට සුදුසු වන බවය, යහපත් ප්‍ර‍තිපත්ති වඩන බවය යනු මේ ධුතාඞ්ගයාගේ ආනිසංස යි.

“ආභුජිත්‍වාන පල්ලඞ්කං - පණිධාය උජුං තනුං

නිසීදන්තො විකම්පෙති - මාරස්ස හදයං යති.

සෙය්‍යසුඛං මිද්ධසුඛං - හිත්‍වා ආරද්ධ විරියො

නිසජ්ජාභිරතො භික්ඛු - සොහයන්තො තපොවනං

නිරාමිසං පීතිසුඛං - යස්මා සමධිගච්ඡති

තස්මා සමනුයුඤ්ජෙය්‍ය - ධීරො නෙසජ්ජකං වතං.”

“පලඟ බැඳගෙන ශරීරය සෘජු වැ පිහිටුවා ගෙන ඉන්නා මහණ මාරයාගේ හෘදය කම්පා කරන්නේ ය. හිඳීමෙහි ඇලුණු භික්‍ෂු සෙය්‍යසුඛ පස්සසුඛ හැරැ දමා ආරබ්ධ වීර්‍ය්‍යයෙන් තපෝවනය හොබවමින් නිරාමිස ප්‍රීති සුඛය විඳින හෙයින් ඥානවත් තෙමේ ඒ නෙසජ්ජිකඞ්ගයෙහි යෙදෙන්නේ ය.”

නේසජ්ජිකඞ්ගය පිළිබඳ සමාදාන-විධාන-ප්‍රභේද-භේද

ආනිසංස වර්ණනා යි.

මෙසේ මේ තෙලෙස් ධුතාඞ්ග සම්බන්‍ධ අර්‍ථ, ලක්ඛණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන, සමාදාන, විධාන, ප්‍රභේද, භේද ආනිසංස යන මොවුන්ගේ වශයෙන් විනිශ්චය දක්වා දැන් ඔවුන් පිළිබඳ වූ ම කුසලත්‍රිකය, ධුතාදි විභාගය, සමාසය, ව්‍යාසය යන මොවුන්ගේ වශයෙන් විනිශ්චය දක්වනු ලැබේ.

  1. ම:නි: පඨමපණ්ණාසක 113