ඒකාසනිකඞ්ගය සමාදන් වන්නහු විසින් “නානාසන භොජනං පටික්ඛිපාමි. එකාසනිකඞ්ගං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍ය්‍යක් කියා සමාදන් විය යුතු. “නොයෙක් අසුන්හි හිඳැ වැළඳීම හැරැ පියමි ඒකාසනිකඞ්ගය සමාදන් වෙමි” යනු එහි අර්‍ථයි.
ඒකාසනිකඞ්ග විධානය
ඒකාසනිකඞ්ගය සමාදන් වූවහු විසින් වළඳනු සඳහා ආසන සාලයෙහි හිඳ ගන්නේ නම් ථේරාසනයෙහි නොහිඳ තමහට සුදුසු ආසනයක් ගෙන හිඳ ගත යුතුයි. ඉඳින් වළඳන අතර ආචාර්‍ය්‍ය උපාධ්‍යායන් වහන්සේ අවු නම් නැඟිටැ වත් පිළිවෙත් කළ යුතු. ත්‍රිපිටක චූලාභය ස්ථවිරයෝ ද මේ මෙසේ ම ස්ථිර කරත්.
ඒකාසනිකඞ්ග ප්‍රභේද
ඒකාසනිකඞ්ග ද උත්කෘෂ්ටය, මධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ට වනාහි ස්වල්ප වේවා බොහෝ වේවා යම් භෝජනයකට අත ගැසුයේ නම්, එයින් අන්‍යයක් නො වළඳන්නේ ය. “ස්වාමීන් වහන්සේ කිසිවක් නො වැළඳුවෝ’ යයි මිනිස්සු ගිතෙල් ආදීහු දුන්නු නම් බෙහෙත් පිණිස විනා අහර පිණිස ඒ නො ගන්නේ ය.
මධ්‍යම වනාහි පාත්‍රයෙහි භෝජන නිම නොවන තෙක් ලැබෙන දේ ගන්නේ ය, එහෙයින් හෙතෙමේ භෝජන පරියත්තිකය යි කියනු ලැබේ. (වළඳා අවසන් වනතාක් ලැබෙන බොජුන් වළඳන බැවිනි.)
මෘදුක වනාහි ආසනයෙහි හිඳින තාක් ලැබෙන භෝජන වළඳන්නේ ය. ඔහුට උදකපරියන්තිකය යි කියනු ලැබේ. පාත්‍රය සෝදන ජලය නො ගන්නා තාක් වළඳන බැවිනි. තව ද ඔහුට ම ආසනපරියන්තිකය යි ද කියනු ලැබේ. ආසනයෙන් නො නැගිටින තාක් වළඳන බැවිනි.
අන් ආසනයෙක හිඳැ වැළඳු ඇසිල්ලෙහි මේ තුන් නමගේ ම ධුතඞ්ගය බිඳෙන්නේ ය.
ඒකාසනිකඞ්ගානිසංස
නීරෝග බවය, ශරීර දුක් නැති බවය, සැහැල්ලු පැවතුම් ඇති බවය, කාය බලය ඇති බවය, සුවසේ වසන බවය, අතිරිත්ත විනය කර්‍මය නො කළ භෝජන වැළඳීමෙන් වන ඇවැත් සිදු නො වන බවය, රස ගේධ දුරු කරන බවය, අල්පේච්ඡතාදි ගුණයන්ට අනුලොම් වන බවය යන මේ ආනිසංස ධුතඞ්ගධරයාට ලැබෙන්නේ ය.
“එකාසනභොජනෙ රතං - න යතිං භෝජන පච්චයා රුජා
විසහන්ති රසෙ අලොලුපො-පරිහාපෙති න කම්මමත්තනො
ඉති ඵාසු විහාර කාරණෙ - සුචිසල්ලෙඛ රතුපසෙවිතෙ
ජනයෙථ විසුද්‍ධමානසො-රති මෙකාසන භොජනෙ සදා.”
“භෝජන හේතුවෙන් වන රෝග ඒකාසනිකඞ්ගයෙහි නියැලුණු මහණනු නො පෙළන්නේ ය. රසගෙධ රහිත වූ හෙතෙම ස්වකීය කර්‍ම ද නො පිරිහෙළා ගන්නේ ය.
එ බැවින් සැප විහරණයට හේතු වූ පිරිසිදු සැහැල්ලු ගුණෙහි ඇලුණුවන් විසින් සෙව්නා ලද්දා වූ ඒකාසන භෝජනයෙහි පිරිසිදු සිත් ඇති මහණ ඇමකල්හි ඇලුම් කරන්නේ යි”
ඒකාසනිකඞ්ගය පිළිබඳ සමාදාන- විධාන- ප්‍රභේද
භෙදානිසංස වර්ණනා යි.