සපදානචාරිකඞ්ග සමාදානය.

star_outline

සපදානචාරිකඞ්ග සමාදන් වන්නාහු විසින් “ලොලුප්ප චාරං පටික්ඛිපාමි. සපදානචාරිකඞ්ගං සමාදියාමි.” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘තෘෂ්ණාදියෙන් ගෙපිළිවෙළ ඉක් මැ පිද්‍ධු සිඟීම හැරැ පියමි. සපදානචාරිකඞ්ගය සමාදන් වෙමි’ යනු එහි අර්‍ථ යි.

සපදානචාරිකඞ්ග විධානය

සපදානචාරිකඞ්ගය සමාදන් වූවහු විසින් පිණ්ඩපාතයේ යාම සඳහා ගම්දොරට පැමිණ එහි සිට උපද්‍ර‍ව නැති බව සැලකිය යුතු. යම් ගමෙක හෝ වීථියෙක උපද්‍ර‍ව ඇත්නම් ඒ ගම හෝ වීථිය හැර අන් තැනෙක යා යුතු. යම් ගෙයක හෝ වීථියෙක හෝ ගමෙක හෝ කිසිවක් නො ලැබේ නම් එය ගෙය නොවේ ය යි සලකා යා යුතු. යම් තැනෙක ලැබේ නම් එය හැරැ නො යා යුතු. මෙසේ හෙයින් කල් ඇති වැ පිඬු පිණිස යා යුතු බව සැලකිය යුතුයි. කල් ඇති වැ ගිය කල්හි අපහසු තැන් හැරැපියා යා හැකි බැවිනි. ඉදින් විහාරයෙහි දන් දෙන්නේ හෝ අතරමඟ මනුෂ්‍යයෝ හෝ පාත්‍ර‍ය ගෙන පිණ්ඩපාතය දෙත් නම් එය ගත යුතුයි. කියයුත්තෙක් ඇති. මඟ යන සපදාන චාරික භික්‍ෂුව භික්‍ෂාචාර වේලාව පැමිණ කල් හි ඒ පැමිණි ගම නො යික් මැ පිඬු පිණිස හැසිරිය යුතු. ඒ ගමෙහි කිසිවක් නො ලද්දේ නම් ලද දේ යැපීමට මඳ නම් ගම් පිළිවෙළින් යා යුතුයි.

සපදානචාරිකඞ්ග ප්‍රභේද

සපදානචාරික වනාහි උත්කෘෂ්ටය, මද්ධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ට වනාහි පෙරටුවෙන් හා පස්සෙන් ගෙනෙන ලද්දා වූ ද භෝජනශාලාවට ගෙනවුත් දෙනු ලබන්නා වූ ද භික්‍ෂාව නො ගන්නේ ය. යම් ගෙදොරතට පැමිණියේ නම් ඒ ගෙදර දී ඉල්ලාගන්නවුන්ට පාත්‍ර‍ය දෙන්නේ ය. මේ ධුතාඞ්ග පූරණයෙහි මහා කාශ්‍යප ස්වාමි සමානයෙක් නැත. උන්වහන්සේ පේසකාර විථියෙහි දී දුප්පත් වෙසින් සිටි සක්දෙව්රද හට පාත්‍ර‍ය දුන් සේක.

මද්ධ්‍යම වනාහි පෙරටුයෙන් හා පස්සෙන් ගෙනෙන ලද භික්‍ෂාව ද, භෝජන ශාලාවට ගෙනවුත් දෙනු ලබන භික්‍ෂාව ද පිළිගන්නේ ය. පැමිණි ගෙදොර දී ඉල්ලන්නවුන්ට පාත්‍ර‍ය ද දෙන්නේ ය. එතකුදු වුවත් භික්‍ෂාව බලාපොරොත්තු වෙමින් නො හිඳින්නේ ය. මෙයින් මේ මධ්‍යමයා ද උත්කෘෂ්ටයාට අනුලොම් වන බව දත යුතුයි.

මෘදුක වනාහි එ දවස වැඩ හිඳ භික්‍ෂාව බලාපොරොත්තු වන්නේ ය.

සපදානචාරිකඞ්ග භේද

මේ තුන් නමගේ ම ලොලුප්පචාරය ඉපිදැ ගෙපිළිවෙළ හැරපී ඇසිල්ලේ අඞ්ගය බිඳෙන්නේ ය.

සපදානචාරිකඞ්ගානිසංස

කිසි කුලයකටත් නිතර නො එළඹෙන බැවින් ඇමකල ම කුලයන්හි අලුත් බව ය, කිසි තැනෙකත් ලග්න නොවන බැවින් හා සෞම්‍ය බැවින් සඳ බඳු බවය. කුල මච්ඡරිය නැති බවය. සම අනුකම්පා ඇති බවය. කුලයක් කරා නො එළඹෙන බැවින් කුලුපක ආදීනව නැති බවය. ආරාධනා ලැබීමෙන් සතුටු නො වන බව ය. භික්‍ෂාව ගෙනත් දීමෙන් ප්‍රයෝජන නැති බවය. අල්පේච්ඡතාදි ගුණයන්ට අනුලොම් වන බවය යන මේ ආනිසංස සපදානචාරිකයාට වන්නේ යි.

“චන්‍දුපමො නිච්චනවො කුලෙසු-අමච්ඡරී සබ්බසමානුකම්පො

කුලුපකාදීනව විප්පමුත්තො-හොතීධ භික්‍ඛු සපදානචාරී

ලොලුප්පචාරංව පහාය තස්මා-ඔක්ඛිත්තචක්ඛු යුගමත්තදස්සී

ආකංඛමානො භුවි සෙරි චාරිං-චරෙය්‍ය ධීරො සපදානචාරී.”

“මේ සාසනයෙහි සපදානචාරී භික්‍ෂු තෙම චන්‍ද්‍ර‍යා බඳු වූයේ කුලයෙහි ඇම කල්හි ම අලුත් ය. නො මසුරු ය. සියල්ලන් කෙරෙහි සම අනුකම්පා ඇත්තෙ ය. කුලුපක ආදීනවයෙන් මිදුණේ ය.

එහෙයින් ලොල් බැවින් ගෙ පිළිවෙළ ඉක් මැ සිඟීම හැරපියා යට හෙළා ලූ ඇස් ඇති වැ - වියදඬු පමණ බලමින් ලෝකයෙහි රිසි සේ විහරණ කැමැති ප්‍රාඥ තෙමේ සපදානචාරිකඞ්ගය පුරන්නේ යි.”

සපදානචාරිකඞ්ගය පිළිබඳ සමාදාන-විධාන-ප්‍රභේද-භේදානිසංස වර්ණනා යි.