ප්‍ර‍තිලෝම ප්‍ර‍තීත්‍යසමුත්පාදය හෙවත් සංසාර චක්‍ර‍යාගේ නිරෝධය

star_outline

අවිජ්ජායත්වේව අසේසවිරාග නිරෝධා සංඛාර නිරෝධෝ

සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ,

විඤ්ඤාණ නිරෝධා නාමරූප නිරෝධෝ,

නාමරූප නිරෝධා සළායතන නිරෝධෝ,

සළායතන නිරෝධා ඵස්ස නිරෝධෝ,

ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ,

වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ,

තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ,

උපාදාන නිරෝධා භව නිරෝධෝ,

භව නිරෝධා ජාති නිරෝධෝ,

ජාති නිරෝධා - ජරාමරණං සෝකපරිදේවදුක්ඛ දෝමනස්සුපායාසා නිරුජ්ඣන්ති.

ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝති.

මේ ප්‍ර‍තිලෝම ප්‍ර‍තීත්‍යසමුත්පාද දේශනා පාළිය ය.

තේරුම:-

ලෝකෝත්තර මාර්‍ගඥාන සංඛ්‍යාත විද්‍යාව කරණ කොට ගෙන අවිද්‍යාවගේ නිරවශේෂ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ.

සංස්කාර නිරෝධයෙන් ප්‍ර‍තිසන්ධි විඥානයේ නිරෝධය වේ.

ප්‍ර‍තිසන්ධි විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ.

නාමරූප නිරෝධයෙන් චක්ඛායතනාදි ආයතන සයේ නිරෝධය වේ.

ආයතන සයේ නිරෝධයෙන් චක්ඛුසම්ඵස්සාදි ඵස්ස සයේ නිරෝධය වේ.

ඵස්ස නිරෝධයෙන් චක්ඛුසම්ඵස්සජ වේදනාදි වේදනා සයේ නිරෝධය වේ.

වේදනා සයේ නිරෝධයෙන් රූප තණ්හා සයේ නිරෝධය වේ.

තණ්හා සයේ නිරෝධයෙන් උපාදානයන් ගේ නිරෝධය වේ.

උපාදාන නිරෝධයෙන් කර්‍මභවය උපපත්තිභවය යන භවයන්ගේ නිරෝධය වේ.

භවයන්ගේ නිරෝධයෙන් ජාති නිරෝධය හෙවත් නැවත ඉපදීමේ නිරෝධය වේ.

ජාති නිරෝධයෙන් ජරාමරණශෝකපරිදේව දුඃඛදෞර්මනස්‍යඋපායාසයෝ නො වෙත්.

මෙසේ මේ සකල දුඃඛස්කන්ධයා ගේ නිරෝධය වේ.

“අවිජ්ජාපච්චයා සංඛාරා” යනාදි දේශනය අනුලෝම පටිච්චසමුප්පාද නම් වේ. “අවිජ්ජායත්වේව අසේසවිරාග නිරෝධා සංඛාරනිරෝධෝ” යනාදි දේශනය පටිලෝම පටිච්චසමුප්පාද නම් වේ. අනුලෝම පටිච්චසමුප්පාද දේශනයෙන් දැක්වෙන්නේ සංසාරචක්‍ර‍ය ය. ඒ සංසාර චක්‍ර‍යට ද පටිච්චසමුප්පාද යන නම කියනු ලැබේ. ප්‍ර‍තිලෝම ප්‍ර‍තීත්‍ය සමුත්පාද දේශනයෙන් දැක්වෙන්නේ සංසාරචක්‍ර‍යාගේ නිරෝධය වූ නිර්වාණය ය.

නිරෝධය යන වචනය ඇසෙන කල්හි සාමාන්‍ය ජනයාගේ සිතට දැනෙන නිරෝධය අනෙකකි, ප්‍ර‍තිලෝම ප්‍ර‍තීත්‍යසමුත්පාද දේශනයෙන් දැක්වෙන නිරෝධය ඉතා ගැඹුරු කරුණෙකි. එය තේරුම් ගත හැකිවීම පිණිස නිරෝධය යන වචනයෙන් කියැවෙන අර්ථ දෙක හෙවත් නිරෝධ දෙක පළමුවෙන් දත යුතුය.

අනු මාතෘකා
keyboard_arrow_rightද්විවිධ නිරෝධය.star_outline
keyboard_arrow_rightද්විවිධ සුඛයstar_outline
keyboard_arrow_rightනිවන හා සත්ත්වයාstar_outline
keyboard_arrow_rightනිවනේ ප්‍රයෝජනයstar_outline
keyboard_arrow_rightනිවන පිහිටි තැනstar_outline
keyboard_arrow_rightසංසාරයේ මුලstar_outline