දුඃඛස්කන්ධයෙන් මිදීමේ ප්‍ර‍තිපත්ති ක්‍ර‍මය

star_outline

“අවිජ්ජායත්වේව අසේසවිරාගනිරෝධා සංඛාර නිරොධෝ” යනාදි ප්‍ර‍තිලෝම ප්‍ර‍තීත්‍ය සමුත්පාද දේශනාවෙහි දැක්වෙන නිරෝධයන් අතුරෙන් අවිද්‍යා නිරෝධය ම ප්‍ර‍ධාන බව, සංස්කාර විඥානාදි අන්‍ය ප්‍ර‍තීත්‍යසමුත්පාදාංගයන්ගේ නිරෝධය අවිද්‍යා නිරෝධය අනුව සිදුවන බව ඉහත දක්වා ඇත. අවිද්‍යා නිරෝධයෙන් ම සංස්කාරාදීන්ගේ නිරෝධය සිද්ධවන බැවින් ඒවායේ නිරෝධය සඳහා අමුතුවෙන් කළ යුත්තක් නැත. දුඃඛස්කන්ධයෙන් මිදෙනු කැමැතියකු විසින් ඒ සඳහා කළ යුතු එකම දෙය අවිද්‍යාව නැතිකර ගැනීමම ය. අවිද්‍යාව නැති කිරීම සඳහා කළයුතු යමක් වේ නම් ඒ දෙය කිරීම ය.

යම් කිසිවක් නැති කළ හැක්කේ ඒ දෙය නසන ඒ දෙයට විරුද්ධ දෙය ඇති කිරීමෙනි. අඳුරට විරුද්ධ අඳුර නැති කරන එකම දෙය ආලෝකය ය. ආලෝකය නැති කිරීමෙන් මිස අන් කිසිම ක්‍ර‍මයකින් අඳුර නැති කළ නො හැකි ය. එමෙන් අවිද්‍යාවට විරුද්ධ අවිද්‍යාව නැති කරන එකම දෙය විද්‍යාව ය. විද්‍යාව තමාගේ සන්තානයෙහි ඇති කිරීමෙන් මිස අන් කිසිම ක්‍ර‍මයකින් අවිද්‍යාව නැති නො කළ හැකි ය. දන් දීමෙන් හෝ සිල් රැකීමෙන් හෝ විද්‍යාව උපදවන භාවනා හැර, අනික් භාවනාවලින් හෝ අවිද්‍යාව නැති කළ නො හැකි ය.

විද්‍යාව යනු ඥානය ය. දුඃඛ සත්‍ය ප්‍ර‍තිච්ඡාදක අවිද්‍යාවය, සමුදය සත්‍ය ප්‍ර‍තිච්ඡාදක අවිද්‍යාවය, නිරෝධ සත්‍ය ප්‍ර‍තිච්ඡාදක අවිද්‍යාවය, මාර්ග සත්‍ය ප්‍ර‍තිච්ඡාදක අවිද්‍යාවය කියා අවිද්‍යා සතරක් ඇති බව ඉහත අනුලෝම ප්‍ර‍තීත්‍යසමුත්පාද විස්තරයේ දක්වා ඇත. “දුක්ඛෙ ඤාණං, දුක්ඛ සමුදයෙ ඤාණං, දුක්ඛ නිරොධෙ ඤාණං, දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඤාණං, අයං වුච්චති භික්ඛවේ! විජ්ජා” යන දේශනාවෙන් දැක්වෙන පරිදි දුඃඛ සත්‍යය දක්නා විද්‍යාවය, සමුදය සත්‍යය දක්නා විද්‍යාවය, නිරෝධ සත්‍යය දක්නා විද්‍යාවය, මාර්ග සත්‍යය දක්නා විද්‍යාවය යි විද්‍යා සතරක් ද ඇත්තේ ය.

දුඃඛ සත්‍ය ප්‍ර‍තිච්ඡාදක අවිද්‍යාව නසන එකම දෙය දුඃඛ සත්‍යය දක්නා විද්‍යාවම ය. සමුදය සත්‍ය ප්‍ර‍තිච්ඡාදක අවිද්‍යාව නසන එකම දෙය සමුදය සත්‍යය දක්නා විද්‍යාව ය, නිරෝධ සත්‍ය ප්‍ර‍තිච්ඡාදක අවිද්‍යාව නසන එකම දෙය නිරෝධ සත්‍යය දක්නා විද්‍යාව ය. මාර්ග සත්‍ය ප්‍ර‍තිච්ඡාදක අවිද්‍යාව නසන එකම දෙය මාර්ග සත්‍යය දක්නා විද්‍යාව ය.

සංසාර දුඃඛය නිවාගනු කැමති සංසාර දුඃඛයෙන් එතරවනු කැමති තැනැත්තා විසින් ඒ සඳහා කළයුතු දෙය ම් සතර වැදෑරුම් වූ විද්‍යාව සම්පාදන කිරීම ය. විද්‍යා සතරෙන් ද ප්‍ර‍ධාන, දුඃඛ සත්‍යය දක්නා විද්‍යාව ය. එය සම්පාදනය කර ගත හොත් ඉතිරි ආර්‍ය්‍යසත්‍ය තුන පිළිබඳ විද්‍යා තුන ඉබේම වාගේ ලෙහෙසියෙන් ම ඇති වන්නේ ය.

ආර්‍ය්‍යසත්‍යඥාන සංඛ්‍යාත ආර්‍ය්‍ය විද්‍යාව ඇති කර ගත හැක්කේ දහම් ඇසීමෙන් හා දහම් පොත් කියැවීමෙන් ද ගුරුන් වෙතින් බුදුදහම උගෙනීමෙන් ද ආර්‍ය්‍ය සත්‍යයන් පිළිබඳ සාමාන්‍ය ඥානය ඇති කර ගෙන පසුව ව විදර්ශනා භාවනාවෙහි යෙදීම් වශයෙන් ඒ ඥානය දියුණු කිරීමෙනි. ආර්‍ය්‍ය විද්‍යාව පිළිබඳ අවබෝධයක් ඇති කර ගනු කැමතියන් ගේ ප්‍රයෝජනය පිණිස මෙහි චතුරාර්‍ය්‍ය සත්‍යය විස්තර කළ යුතු ය. එහෙත් ඒ ආර්‍ය්‍ය සත්‍ය විස්තරය අප විසින් කලින් සම්පාදනය කර ඇති “චතුරාර්‍ය්‍ය සත්‍යය” නමැති පොතෙහි ඇති බැවින් මෙහිදී ආර්‍ය්‍ය සත්‍යයන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පමණක් කරනු ලැබේ.

සැබෑ දුකය, දුක් ඇතිවීමේ සැබෑ හේතුව ය, සැබෑ සැපය ය, සැපයට පැමිණීමේ සැබෑ මාර්ගය ය යන මේ කරුණු සතර බුදු සමයේ උගන්වන චතුරාර්‍ය්‍ය සත්‍යය ය.

චතුරාර්‍ය්‍ය සත්‍යය ගැන සොයන තැනැත්තකු විසින් පළමු කොට සැපදුක් දෙක ගැන කල්පනා කළ යුතු ය. එය සත්‍ය සතර පහසුවෙන් කොටින් තේරුම් ගැනීමේ ක්‍ර‍ම ය. සැප වශයෙන් සලකන යමක් කිසි කලෙක වෙනසකට නො පැමිණ, සෑම කල්හි ම සැපයක් වශයෙන් ම පවතී නම්, සැබෑ සැපය සැටියට සැලකිය යුත්තේ ඒ සැපය ය. යම් කිසිවක් මඳ කලක් පැවතී නැවතී යේ නම් එය සැපවත් වූවත් සැබෑ සැපයක් සැටියට නො සැලකිය හැකිය. එබඳු සැප අනුන්ගේ තාවකාලික වශයෙන් ගත් දෙයක් වැනි ය. මායාවක් බඳු ය.

තාවකාලික වශයෙන් අනුන්ගෙන් ගත් දෙයින් කෙනෙක් ධනවතකු සැටියට නො කියනු ලැබේ. මක්නිසා ද? අනුන්ගෙන් ගත් දෙය අයිතිකරුට ආපසු දෙන්නට සිදු වී, නැවත නිර්ධනයකු වන බැවිනි. එමෙන් මඳ කලක් පවත්නා සැපයක් ලැබීමෙන් කෙනෙක් සැපවතෙක් නො වේ. මක්නිසා ද? එය මඳ කලකින් ඔහුට අහිමි වන බැවිනි. එබැවින් මඳ කලක් පැවතී නැති වන, පුද්ගලයා සැබෑ සැපවතකු නො කරන, පුද්ගලයා සැපවතෙක් වී යයි කීමට තරම් නො වන සැප එකක්වත්, සැබෑ සැප නො වන බව දත යුතු ය.

කවර සැපයක් වුවත් නැති වේ නම් සැපයේ ඒ නැතිවීම දුකෙකි. සැපයම දුකට පෙරළීමකි. තාවකාලික වූ සෑම සැපයක් ම නැතිවීම් වශයෙන් දුකට පෙරළෙන බැවින් ඒ තාවකාලික සැප එකකුදු සැබෑ සැප නො වේ. සැප ය යි සලකන දෙයක මුල මැද අග යන තුනෙන් කොතැනකට වුව ද දුක මිශ්‍ර‍ වී ඇති නම් ඒ දෙය ද සැබෑ සැපයක් නො වේ. මුල මැද අග යන තුන් තැන ම දුක මිශ්‍ර‍ වී ඇති සැපය ගැන කියනුම කිම?

මේ මිනිස් ලොව මිනිසකු වී ජීවත්වීම සැපයක් වශයෙන් සලකන දෙයකි. සිටුවරයකුව - රජකුව ජීවත් වීම මහ සැපයක් හැටියට සලකනු ලැබේ. මහ සැපයක් කොට සලකන සිටු සැපත - රජ සැපත සැබෑ සැපයක් දැ යි සිතා බලන්න. එය සැබෑ සැපයක් වන්නට නම්, සැම කල්හි ම එසේ ම තිබිය යුතු ය. එය සැම කල්හි ම පවත්නක් නො වේ. මඳ කලකින් මරණයට පැමිණීමේන සිටු කමත් රජ කමත් කෙළවර වන්නේ ය. මරණින් පසු සිටුකමත් රජකමත් ඔහුට නැත. එසේ නැතිවන්නා වූ සැපය සිහිනයක් බඳුය. අනුන්ගෙන් මඳ වේලාවකට ඉල්ලා ගත් දෙයක් බඳුය. ණයට ගත් දෙයක් බඳුය. එබැවින් සිටුකම හෝ රජකම සැබෑ සැපයක් නොවේ.

මිනිස් සැපයට වඩා උසස් කොට සලකන දෙව් සැපයත් ඒ දෙකට ම වඩා උසස් කොට සලකන බඹ සැපයත් කියන ලද සිටු සැපය රජ සැපය සේ ම මරණින් කෙළවර වෙන ඒවා ය. එබැවින් දෙව් සැපයත් සැබෑ සැපයක් නොවේ. බඹ සැපයත් සැබෑ සැපයක් නො වේ. සිටුවරයාත් රජුත් දෙවියාත් බ්‍ර‍හ්මයාත් ඒ තත්ත්ව වලින් පහවීමෙන් පසු, බලු පැටවකුදු විය හැකි ය. බළල් පැටවකුදු විය හැකි ය. වසු පැටවකුදු විය හැකි ය. ඌරු පැටවකුදු විය හැකි ය. කුකුළු පැටවකුදු විය හැකි ය. මැඩි පැටවකුදු විය හැකි ය. මහා ප්‍රේතයකුදු විය හැකි ය. මහා නරකයක නිරිසතකුදු විය හැකි ය. සිටුවරයාත් රජුත් දෙවියාත් බ්‍ර‍හ්මයාත් බලු පැටවකු වූ කල්හි අනික් බලු පැටවුන් සේ ම එකෙකි. සිටුකමවත් රජකමවත් ඒ බලුපැටවාට ගෑවිලාවත් නැත. සිටුකම හෝ රජකම සත්ත්වයා සැබෑවට ම සැපවත් කරන්නක් නම් එය සෑම කල්හිම තිබිය යුතු ය. සෑම කල්හි සත්ත්වයා සැපවත් කරන්නක් නො වන බැවින් ඒ සිටුකමත් රජකමත් සැබෑ සැප නො වේ.

මේ මිනිස් ලොව මිනිසකු උපදින්නේ දුකිනි. උපන්දා පටන් මේ මිනිස් කය නිතරම මැරෙන්න හදන එකකි. මැරෙන්න යන එකකි. නොමැරී පැවැත්වීමට නම් ආහාර පාන වස්ත්‍රාදි ප්‍ර‍ත්‍යයෙන් එය නිතර ම ආරක්‍ෂා කළ යුතු ය. ආරක්‍ෂා නො කළ හැකි වූ දිනයේ දී එය මැරෙන්නේ ය. නිරන්තරයෙන් ආහාර පානාදි ප්‍ර‍ත්‍යය සපයමින් ආරක්‍ෂා කරන්නට වීමත් මහ දුකෙකි. ආරක්‍ෂා කරන්නට බැරිවී මරණයට පත්වීමත් දුකෙකි. එසේ බලන කල්හි මේ පඤ්චස්කන්ධය මුල මැද අග යන සැම තැනම දුකින් මිශ්‍ර‍ දෙයකි. එබැවින් සැබෑ සැපයක් නො වේ. මනුෂ්‍ය දේව බ්‍ර‍හ්ම යන කාහටත් අයත් වූ මේ පඤ්චස්කන්ධනය රාග ද්වේෂ මෝහ සංඛ්‍යාත කෙළෙස් ගිනිවලින් ද ජාති - ජරා - මරණ - ශෝක - පරිදේව - දුඃඛ - දෝමනස්‍ය - උපායාස සංඛ්‍යාත දුක් ගිනිවලින් ද දැවෙමින් ඇතියකි. ගිනි මැද ගිනිවලින් වෙළී පවත්නා බැවින් මේ පඤ්චස්කන්ධය සැබෑ ම දුකෙකි. සැබෑ දුක පඤ්චස්කන්ධය ම ය.

අවිද්‍යා සංස්කාරාදි දුඃඛස්කන්ධයා ගේ නිරෝධය වූ ශාන්ත ස්වභාවය කොතැනකවත් දුක් මිශ්‍ර‍ වී නැති බැවිනුත් කවර කලෙකවත් නැති නො වන බැවිනුත් එය පසක් කර ගත් තැනැත්තා නැවත කිසි කලෙක දුඃඛිතයකු නො වන බැවිනුත් සැබෑ සැපය ය.

දුක් ඇතිවීමේ සැබෑ හේතුව තණ්හාව ය. තණ්හාවය කියනුයේ ඕනෑ කම ය. මේ සත්ත්වයනට තම තමන්ගේ පඤ්චස්කන්ධය පවත්වා ගැනීමේ මහත් වූ ඕනෑ කමක් අත්තේ ය. ජීවත්වීමේ ආශාවය යි කියනුයේ ද ඒ ඕනෑ කමට හෙවත් තණ්හාවටම ය. සත්ත්වයනට ඇත්තා වූ තණ්හාවලින් සියල්ලට ම ප්‍ර‍ධාන වූ ද, සියල්ලට ම බලවත් වූ ද, කවදාවත් නො පිරෙන්නා වූ ද තණ්හාව එය ය. පඤ්චස්කන්ධය නැතිවන්නට යනවා නම් හෙවත් මැරෙන්නට යනවා නම් සත්ත්වයනට මහා භයක් ඇතිවන්නේ ඒ තණ්හාව නිසා ය. මැරෙන්න යනවාය කියා හෝ මරණවාය කියා හෝ කියනවා නම් එයින් ඇතිවන්නා වූ භය තරම් මහත් භයක් අන් කුමකින් වත් සත්ත්වයනට ඇති නො වේ. එය ඉතාම මහත් වන්නේ ජීවත්වීම පිළිබඳ වූ තණ්හාව ඉතා බලවත් නිසා ය.

සත්ත්වයා උපන්දා පටන් ම මැරෙන්න යන්නේ ය. එය පඤ්චස්කන්ධයේ ස්වභාවය ය. ජීවත්වීමේ ආශාව වූ මහා තණ්හාවත් ඒ පඤ්චස්කන්ධයට ම අයත් වූ පඤ්චස්කන්ධයේ ම එක් කොටසක් ව පඤ්චස්කන්ධය හා බැඳී පවත්නා බැවින් ඒ තණ්හාව මැරෙන්න යන පඤ්චස්කන්ධයට මැරෙන්න නො දෙයි. ආහාර පානාදි ප්‍ර‍ත්‍යයන් ළඟාකර දෙමින් පඤ්චස්කන්ධයට නැතිවන්නට මැරෙන්නට නො දී පඤ්චස්කන්ධය පවත්වයි. ජීවත්වීමට නිතරම උත්සාහ කරයි. එයින් අලුත් අලුත් වෙමින් පඤ්චස්කන්ධය නො සිඳී පවතී. මැරෙන්නේ ද ජීවත් වීමේ ඕනෑකම ජීවත් වීමේ උත්සාහය තිබියදී ය. එබැවින් සත්ත්වයා මළත් ඉවරයක් වන සැටියට නො මැරෙයි. මැරෙනු සමගම අලුත් පඤ්චස්කන්ධයක් ඇති වෙයි. අලුත් පඤ්චස්කන්ධයක් ඇතිවීමය කියන්නේ නැවත ඉපදීම ය.

කොතෙක් කල් ජීවත් වුවත් ජීවත්වීම ඇති වී ඒ තණ්හාව පිරෙන්නේ නො වේ. අද එක් එක් සත්ත්වයකුට ඒ ජීවත්වීමේ ආශාව යම් පමණකට ඇත්තේ ද කල්ප ලක්‍ෂයක් ඉදිරියට ගිය තැනදීත් ඔහුට ඒ ආශාව අද මෙන් ම ඇත්තේ ය. කල්ප කෝටියක් ගත වූ පසුත් අද මෙන් ම වෙනසක් නැතුව ඒ තණ්හාව ඇත්තේ ය. ජීවත්වීම ඇති වී තණ්හාව සම්පූර්ණවීමක් කවර කලෙක වත් නො වන්නේ ය. තණ්හාව ඇති තාක් පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුක්ඛය පවත්වා ගැනීමට උත්සාහ කරයි. ඒ නිසා ඒ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛය නො සිඳී නැවත නැවතත් ඇති වේ. පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛය ඉවර වන්නේ නැවත නැවත ඇති නො වන්නේ එය නැවත නැවත ඇති කරන පවත්වන තණ්හාව නැති වුවහොත් ය. තණ්හාව ඇති තාක් දුඃඛස්කන්ධය නැවත නැවත ඇතිවන බැවින් දුඃඛස්කන්ධය ඇති වීමේ සැබෑ හේතුව තණ්හාව බව බුදුන් වහන්සේ වදාළ සේක.

අතීතයෙහි බොහෝ බුදුවරයෝ ඇති වූහ. එබැවින් දැනට ඉන්නා එක් එක් සත්ත්වයකුට අතීතයේ බොහෝ බුදුවරයන් මුණ ගැසෙන්නට ඇතුවාට සැකයක් නැත. බොහෝ බුදුවරයන්ගෙන් බණ අසන්නට ලැබෙන්න ඇතුවාට සැකයක් නැත. බොහෝ බුද්ධ ශ්‍රාවකයන් මුණ ගැසෙන්නට ඇතුවාට සැකයක් නැත. බොහෝ බුද්ධ ශ්‍රාවකයන් ගෙන් බණ අසන්න ලැබෙන්නට ඇතුවාටත් සැකයක් නැත. සත්පුරුෂයන් සේවනය කරන්නට ලැබීමෙන් සද්ධර්මය අසන්නට ලැබීමෙන් දුකින් මිදීමේ කැමැත්ත ඇති වී ඒ සඳහා අතීතයේ නොයෙක් වාරවල ප්‍ර‍තිපත්ති පුරන්න පටන්ගන්න ඇතිවාට ද සැකයක් නැත. එහෙත් බොහෝ සත්ත්වයෝ තවත් තවමත් සසරම ය. කොතෙක් වර ආරම්භ කළත් සම්පූර්‍ණ වන තෙක් දුකින් මිදීමේ ප්‍ර‍තිපත්තිය පුරන්නට ඔවුනට ඉඩක් ලැබී නැත. ඉඩ ලැබී නැත්තේ තණ්හාව එයට බාධා කළ නිසා ය.

දුකින් මිදීමේ ප්‍ර‍තිපත්තිය පිරීමට සිත යොමු කළ ගිහියා “තවම ඕවා කරන්නට ඉඩක් නැත. කුමක් කරන්නටත් ජීවත් වන්නට ඕනෑය, ඒ නිසා රස්සාව නො කර බැරිය, ගේදොර රැකබලා ගන්නේ නැතිව බැරිය, දූ දරුවන් ගේ වැඩ ඉවර නැත, විකල් බොජුනෙන් වැළකී විසීමට තරම් සනීපයක් ශක්තියක් නැත, භාවනාවෙහි යෙදෙන්නට සනීපයක් නැත, ශක්තියක් නැත” යනාදිය සිතමින් කියමින් පසු බසී. ප්‍ර‍තිපත්තියට නො බසී. ප්‍ර‍තිපත්තියට බට තැනැත්තා ද “අසවල් වැඩේ කරන්නට තිබෙනනවාය අසවල් වැඩේ කරන්නට තිබෙනවාය මෙලොව ඉන්නාතාක් ඒ වැඩත් නො කර බැරිය” කියා දුකින් මිදීමේ ප්‍ර‍තිපත්තිය අත පසු කරයි. තණ්හාව විසින් යොදවන වැඩ කරයි.

පැවිද්දා ද “දායකයන් ගේ වැඩ තිබෙනවාය, ගෝලබාලයන් ගේ වැඩ තිබෙනවාය, ලෙඩට ප්‍ර‍තිකාර ගන්නට තිබෙනවාය, විහාර සාදා ගන්න චෛත්‍යය සාදා ගන්න ආවාසය සාදා ගන්න තිබෙනවාය” කියා දුකින් මිදීමේ ප්‍ර‍තිපත්තියට නො බසී. බටුයේ ද ඉහත කී කරුණු ඉදිරිපත් කරගෙන සම්පූර්‍ණ වන පරිදි ඒ ප්‍ර‍තිපත්තිය නුපුරයි. ඒ බාධා සියල්ලම කෙරෙන්නේ තණ්හාවෙනි. තණ්හාව ප්‍ර‍තිපත්තියට බැසගන්නට නො දී නවත්වයි. බට තැනැත්තා ප්‍ර‍තිපත්තියෙන් පහකර දමයි. දුකින් මිදීමේ ප්‍ර‍තිපත්තියට බැසීම වළක්වන නිසා ද, බැසගත් තැනැත්තා එයින් පහකර දමන නිසාද තණ්හාව ම දුක් ඇති කිරීමේ දුක පැවැත්වීමේ සැබෑ හේතුව බව දත යුතු ය.

සැබෑ සැපයට පැමිණීම, දුක් නැවත නැවත උපදවන තණ්හාව නැති වීමෙන් ම සිදු වන්නකි. එබැවින් යමක් කිරීමෙන් තණ්හාව නැති වේ නම් ඒ දෙය කිරීම සැපයට පැමිණීමේ සැබෑ මාර්ගය ය. සමහරු ‘දීම තණ්හාව නැති කිරීමේ උපාය’ සැටියට සලකති. එහි ද එක්තරා සත්‍යයක් තිබේ. දුන් වස්තුව පිළිබඳ වූ තණ්හාව එයින් නැති වේ. එහෙත් නැවත රැස් කිරීමේ තණ්හාව එයින් නැති නො වේ. සමහර විට වස්තු රැස් කිරීමේ තණ්හාව දෟීමෙන් තවත් වැඩි වේ. දෙන තැනැත්තේ තමා ගේ පරිභෝගයටත් දීමටත් දෙකටම වඩ වඩා වස්තු සොයන බව පෙනේ. එයින් කිය යුත්තේ දීමෙන් ඒ තැනැත්තාගේ තණ්හාව තවත් වැඩි වූ බව ය.

දීමෙන් තණ්හාව අඩු වුවත් ඒ වස්තු තණ්හාව අඩු වීමෙන් හෝ නැති වීමෙන් හෝ නිවනට පැමිණෙන්නේ නො වේ. නැවත නැවත පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛය ඇති කරන්නේ ආත්ම වශයෙන් සලකන පඤ්චස්කන්ධය පිළිබඳ වූ තණ්හාව ය, බාහිර වස්තු දන් දීමෙන් පඤ්චස්කන්ධය පිළිබඳ තණ්හාව නැති වන්නේ නො වේ. සැබෑ සැපය වූ නිවනට පැමිණීමේ මාර්ගය වන්නේ පඤ්චස්කන්ධය පිළිබඳ වූ තණ්හාව නැති කිරීමේ ප්‍ර‍තිපත්තිය ය.

ඇත්ත වශයෙන් කියත හොත් මේ පඤ්චස්කන්ධය ඇලුම් කළ යුත්තක් නොව බිය විය යුත්තකි. දුක්ය කියා යමක් ඇති නම් ඒ සියල්ල ම ඇති වන්නේ මේ පඤ්චස්කන්ධයෙහි ය. බියවිය යුතු පඤ්චස්කන්ධය ගැන තණ්හාවක් ඇති වන්නේ එහි සැබෑ තත්ත්වය නො වැටහීම නිසා ය, පඤ්චස්කන්ධයේ සැබෑ තත්ත්වය හරියට පෙනුන හොත් එය එකෙණෙහි ම එපා වේ. තණ්හාව නිරුද්ධ වේ. මතු ඇති නො වේ.

එක්තරා පුරුෂයකුට ලස්සන තරුණ බිරියක් සිටී. ඈ ප්‍රිය කථාවෙන් ද වැළඳ ගැනීම් ආදියෙන් ද නිතර ඒ පුරුෂයා සන්තෝෂ කරවන්නී ය. එහෙත් ඈ ඒ පුරුෂයා ගේ සැතිරියකි. ඈ අන් හිමියකු පතමින් ඉඩක් ලද විටෙක මේ පුරුෂයා මරා දමා ඔහුගේ ධනය හිමි කරගන්නා බලාපොරොත්තුවෙන් හිමියා සතුටු කරවන තැනැත්තියකි. ඒ බව නො දත් පුරුෂයා ඒ ස්ත්‍රියට තදින් ඇලුම් කරයි. ඇය කියන සෑම දෙයක් ම කෙසේ හෝ සපයා දෙයි. දාසයකු සේ ඇගේ මෙහෙවර කරයි. මහත් ආදරයෙන් පෝෂණය කරන ඒ ස්ත්‍රිය ගේ සැබෑ තත්ත්වය යම් කිසි දිනක ඒ පුරුෂයා තේරුම් ගත හොත් එදා ඒ ස්ත්‍රිය ගැන තුබූ ආදරය කෙළවර වෙයි. එතැන් පටන් පුරුෂයා සොයන්නේ ඒ ස්ත්‍රිය හැර දැමීමට ඒ ස්ත්‍රිය ගෙන් වෙන් වීමට මගකි.

තමා මරා දැමීමට අවස්ථාවක් සොයමින් උපායක් සොයමින් සිටින බිරියට ඇගේ සැබෑ තත්ත්වය නො දන්නා නිසා ඇලුම් කරන සැමියා මෙන්, මේ සත්ත්වයෝ සැබෑ තත්ත්වය නො දන්නා නිසා වධක පඤ්චස්කන්ධය උසස් කොට සලකා එයට ඇලුම් කරමින් එය පවත්වා ගැනීමට සැම උත්සාහයක් කරමින් හැසිරෙති. සතුරු බිරියගේ සැබෑ තත්ත්වය තේරුම් ගත් කල්හි ඒ ස්ත්‍රිය ගැන පුරුෂයා ගේ තුබූ මෝඩ ආලය සම්පූර්ණයෙන් ම නැති වන්නාක් මෙන් පඤ්චස්කන්ධයේ සැබෑ තත්ත්වය දුටු කල්හි එය කෙරෙහි පවත්නා තෘෂ්ණාව නිරුද්ධ වේ.

තණ්හාව නැති කිරීම හැර මේ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛයෙන් මිදී සැබෑ සැපයට පැමිණීමේ අන් ක්‍ර‍මයක් නැත්තේ ය. එබැවින් තණ්හාව නැති කිරීමේ ප්‍ර‍තිපත්තිය ම සැපයට පැමිණීමේ සැබෑ මාර්ගය ය යි කියනු ලැබේ. ප්‍ර‍තීත්‍යසමුත්පාද දේශනය අනුව කථාකරන කල්හි අවිද්‍යාව නැති කිරීම සඳහා පිරිය යුතු ප්‍ර‍තිපත්තිය සැපයට පැමිණීමේ සැබෑ මාර්ගය සැටියටත්, ආර්‍ය්‍යසත්‍ය දේශනය අනුව කථා කරන කල්හි තණ්හාව නැති කිරීම සඳහා පැවැත්විය යුතු ප්‍ර‍තිපත්තිය සැපයට පැමිණීමේ සත්‍ය මාර්ගය සැටියටත් කියනු ලැබේ.

එයින් සැපයට පැමිණීමේ සත්‍ය මාර්ග දෙකක් ඇතය යි වරදවා නො ගත යුතු ය. අවිද්‍යාව නැති කරන්නට පිරිය යුත්තේ ද, තණ්හාව නැති කරන්නට පිරිය යුත්තේ ද, එකම ප්‍ර‍තිපත්ති ක්‍ර‍මයකි. එබැවින් සැපයට පැමිණීමේ සත්‍ය මාර්ගය එකක් ම බව දත යුතු ය. ඒ ප්‍ර‍තිපත්තියෙන් අවිද්‍යා තෘෂ්ණා දෙක්හි ම නිරෝධය වේ. මේ සංක්ෂේපයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය තේරුම් ගත යුතු ආකාරය ය.

අවිද්‍යාව නසා සංසාර චක්‍රයෙන් මිදී නිවන් සුවය ලබනු කැමැති තැනැත්තා විසින් කියන ලද පරිදි චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ සාමාන්‍ය දැනුමක් හා පඤ්චස්කන්ධයට අයත් නාම රූපයන් පිළිබඳ සාමාන්‍ය දැනුමක් ද ඇති කරගෙන චතුස්සත්‍යයන් දැකිය හැකි වන විද්‍යා සතර උපදවා ගැනීමට භාවනා කළ යුතු ය. විද්‍යාව සම්පූර්ණ කර ගත හැක්කේ විදර්ශනා භාවනාවෙනි. විදර්ශනාව පැවැත්විය යුත්තේ දුඃඛ සත්‍යයට අයත් ධර්ම විෂයෙහි ය. එය කරන තැනැත්තා විසින් අනිත්‍ය විද්‍යාවය, දුඃඛ විද්‍යාවය, අනාත්ම විද්‍යාවය, ශ්‍රෝතාපත්ති මාර්ග විද්‍යාවය, සකෘදාගාමි මාර්ග විද්‍යාවය, අනාගාමි මාර්ග විද්‍යාවය, අර්හත් මාර්ග විද්‍යාවය යන මේවා පිළිවෙළින් සම්පාදනය කෙරෙමින් මතු කවර කලෙකවත් ඇති නො වන පරිදි අවිද්‍යාව දුරු කිරීමට සමත් ආර්‍ය්‍ය විද්‍යාව සම්පූර්ණ කර ගත යුතු ය.

විද්‍යාව ඇතිකර ගැනීමේ ප්‍ර‍තිපත්ති ක්‍ර‍මය අප විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍ර‍මය නමැති පොතෙහි හා සතිපට්ඨාන භාවනා ක්‍ර‍මය නමැති පොතෙහි විස්තර කර ඇත්තේ ය. ඒ පොත් දෙකෙහි ඇත්තේ එකිනෙකට වෙනස් භාවනා ක්‍ර‍ම දෙකකි. ඉක්මනින් විද්‍යාව ඇතිකර ගනු කැමති වීර්‍ය්‍යවත් පුද්ගලයන්ට සතිපට්ඨාන භාවනා ක්‍ර‍මය නමැති පොතෙහි දැක්වෙන භාවනා ක්‍ර‍මය හොඳ ය. මෙලොවදී ම විද්‍යාව පහළ වන සැටියට ඒ භාවනාව කරතහොත් කළ යුත්තේ සති ගණනක් හෝ මාස ගණනක් හෝ ඒ සඳහා වෙන් කරගෙන ඒ වෙන් කරගත් සම්පූර්ණ කාලයෙහි ම අනිකක් නො කොට භාවනාවෙහි යෙදීමෙනි.

අවකාශ ඇති ඇති සැටියට සෙමින් භාවනාවෙහි යෙදෙනු කැමතියන්ට විදර්ශනා භාවනා ක්‍ර‍මය නමැති පොතේ දැක්වෙන භාවනා ක්‍ර‍මය යෝග්‍ය ය. ඒ පොත් දෙක මෙහි සඳහන් කළ නුමුත් භාවනා ක්‍ර‍ම දක්වා ඇත්තේ ඒ පොත් දෙක්හි පමණක් නොවේ. තවත් නොයෙක් පොත්වල නොයෙක් ආචාර්‍ය්‍ය පරම්පරාවල බොහෝ භාවනා ක්‍ර‍ම ඇත්තේ ය. කැමති භාවනාවක් පුරුදු කළ යුතු ය.