අභිධර්ම පිටකයේ විභඞ්ගප්‍ර‍කරණයෙහි නිර්වාණය විස්තර කර ඇති ආකාරය

“තත්ථ කතමා අසංඛතා ධාතු? රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ, අයං වුච්චති අසංඛතා ධාතු”

තේරුම:-

“එහි අසංඛත ධාතුව කවරේද? රාගයා ගේ ක්ෂයය, ද්වේෂයා ගේ ක්ෂය ය, මෝහයා ගේ ක්ෂය ය යන මෙය අසංඛත ධාතුව” ය යි කියනු ලැබේ.

නිවනට බොහෝ නම් ඇත්තේ ය. මේ විභංග පාඨයෙහි දැක්වෙන්නේ බොහෝ නිර්වාණ නාමයන් අතුරෙන් අසංඛත ධාතු යන නාමය ය. ධාතු යන වචනයේ තේරුම සත්ත්ව නොවන පුද්ගල නො වන දෙය යනු යි. නිවනෙහි ද සත්ත්ව පුද්ගල ස්වභාවයක් නැති බැවින් එයට ද ධාතු යන නාමය යෙදේ. නිර්වාණ ධාතුවෙන් අන්‍ය වූ සකල ධාතූහු ම ප්‍ර‍ත්‍යයන් නිසා හට ගන්නාහු ය. එබැවින් ඒ ධාතූන්ට සංඛත ධාතු යන නම කියනු ලැබේ. නිර්වාණය නැමැති මේ එකම ධාතුව පමණක් ප්‍ර‍ත්‍යයෙන් හටගැනීමක් නැතිව ඇත්තා වූ ධාතුව ය. එබැවින් එයට අසංඛත ධාතුව ය යි කියනු ලැබේ.

කියන ලද විභංග පාඨයේ අර්ථය ගැඹුරින් නො බලා මතුපිටින් පමණක් බැලුවහොත් රාග ද්වේෂ මෝහයන් ගේ අභාවය වූ සිස් බවම නිවනය කියා වැරදි හැඟීමක් ඇති විය හැකි ය. එසේ වරදවා අර්ථය නො ගනු පිණිස,

“අසංඛථධාතූති: අසංඛතසභාවං නිබ්බානං, යස්මා පනේතං ආගම්ම රාගාදයෝ ඛියන්ති තස්මා රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝති වුත්තං” යි අර්ථකථාවෙහි කීහ.

“අසංඛත ධාතු යනු අසංස්කෘත ස්වභාවය ඇති නිර්වාණය ය. යම් හෙයකින් ඒ නිවන නිසා රාගාදීහු ක්ෂය වෙත් ද එබැවින් එයට අසංඛත ධාතුවය” යි කියනු ලැබේය යනු අටුවා පාඨයේ තේරුම ය.

විභංග පාඨයෙහි රාගක්ඛය - දෝසක්ඛය - මෝහයක්ඛය යන වචන තුනෙන් දක්වන්නේ රාගාදීන් ගේ අභාවය වූ සිස් බව නොව මෙහි ඉහත විස්තර කරන ලද දුඃඛස්කන්ධයා ගේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත ශාන්ත සුඛස්වභාවය ය. ඉහත කී පාඨයේ අර්ථය වරදවා තේරුම් ගෙන රාගාදීන් ගේ අභාවය වූ සිස් බව ම නිවනය යි ගත්තෝ පෙර ද වූහ. එබැවින් ඒ කාරණය පිළිබඳ සංවාදයක් විභංග අටුවාවේ දක්වා තිබේ. එද නිවන් තතු සොයන්නවුන්ට බොහෝ ප්‍රයෝජන බැවින් මේ ගතට ද ඇතුළත් කරනු ලැබේ.