නිවන් දැක්වෙන ගාථා දෙකක්

star_outline

(දීඝනිකායේ කේවට්ට සූත්‍රයෙන්)

“විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පභං

එත්ථ ආපො ච පඨවී තේජෝ වායෝ න ගාධතී

-

එත්ථ දීඝඤ්ච රස්සඤ්ච අනං ථූලං සුභාසුභං,

එත්ථ නාමඤ්ච රූපඤ්ච අසේසං උපරුජ්ඣති,

විඤ්ඤාණස්ස නිරෝධෙන එත්ථෙතං උපරුජ්ඣති.”

තේරුම:-

ලෝකෝත්තර මාර්ගඥාන සංඛ්‍යාත විශිෂ්ට ඥානයෙන් දතයුතු වූ ඇසින් දැකිය හැකි වර්‍ණයක් හෝ සමාන කොට දැක්විය හැකි දෙයක් හහාේ නැත්තා වූ පටන් ගැනීම් පැවතීම් නැතිවීම් වශයෙන් වෙන් කොට දැක්විය හැකි කොන් නැත්තා වූ, හැම පැත්තෙන් ම ඇතුළුවීමට තොටුපල ඇත්තා වූ හෝ සැම පැත්තෙන් ම බැලීම හෝ ඇත්ාත වූ නිර්වාණ ධාතුවක් ඇත්තේ ය. ඒ නිර්වාණ ධාතුවෙහි ආපෝධාතුව ද පඨවී ධාතුව ද තේජෝ ධාතුව ද, වායෝ ධාතුව ද පිහිටක් නො ලබයි. (ඒ නිර්වාණ ධාතුව නිසා ඒ සියල්ල නිරුද්ධ වේ.)

ඒ නිර්වාණ ධාතුවෙහි දික් බව ද, කෙටි බව ද, කුඩා බව ද, මහත් බව ද, ලස්සන බව ද, කැත බව ද යන සියලු රූ සටහන් නිරුද්ධ වේ. ඒ නිර්වාණ ධාතුවෙහි නාමය රූපය යන දෙක ම මතු කිසි කලෙක ඇති නො වන පරිදි ඉතිරියක් නැතුව නිරුද්ධ වේ. ඒ නිර්වාණ ධාතුවෙහි පරිනිර්වාණච්‍යුති චිත්තය ය, මතු උත්පත්තියට හේතුවන කර්මවිඥානය ය යන විඥාන දෙක්හි නිරෝධයෙන් කියන ලද ඒ උපාදින්නක නාමරූප සියල්ල ම මතු කවර කලෙකවත් මතු වී නො එන පරිදි නිරුද්ධ වේ.

ඉහත දැක් වූ ගාථාවන්හි එන “විඤ්ඤාණං අනිදස්සනං අනන්තං, සබ්බතෝපභං” යන වචන විශේෂයෙන් සැලකිය යුතු වචන සතරෙකි. විඤ්ඤාණං යන වචනය පිටකත්‍රයේ බොහෝ තැන්වල යෙදී තිබෙන්නේ සිතය යන අර්ථය දැක්වීමටය. මෙහි ඒ වචනය යොදා තිබෙන්නේ නිවනය යන අර්ථය සඳහා ය. ඤාණ යනු සාමාන්‍යයෙන් ප්‍ර‍ඥාවට නමෙකි. වි යන්න නොයෙක් අර්ථයන්හි යෙදෙන උපසර්ගයෙකි. මෙහි වි යන උපසර්ගය මුලය යොදා ඇති ඤාණ යන්නෙන් කියැවෙන්නේ, නිවන සාමාන්‍ය ඥානයෙන් නොව ලෝකෝත්තර මාර්ගඵල චිත්තයන්හි යෙදෙන විශිෂ්ටඥානයෙන් දත යුත්තක් වන බවය. නිවන පෘථග්ජනයන්ට ඇතිවන සාමාන්‍ය ඥානයට විෂය දෙයක් නො වන බව එයින් කියැ වේ.

දැනුම වනාහි ප්‍ර‍ත්‍යක්ෂඥානය ය, අනුමාන ඥානය ය කියා දෙවැදෑරුම් වේ. ප්‍ර‍ත්‍යක්ෂ ඥානය ය කියනුයේ ඇසින් දැකිය යුත්තක් ඇසින්ම දැක දැන ගැනීම බඳු දැනීම්වලට ය. අනුමාන ඥානය යි කියනුයේ යමක් ගැන අනුන් කියනු ඇසීමෙන් හෝ පොතපත කියවීමෙන් හෝ යම්කිසි ලකුණක් දැකීමෙන් හෝ ඇතිවන දැනුම්වලට ය. ඒ ඒ දෙය ප්‍ර‍ත්‍යක්ෂකර ගැනීමට වෙන වෙනම ඉන්ද්‍රිය ඇත්තේ ය, රූපය ප්‍ර‍ත්‍යක්ෂකර ගන්නා ඉන්ද්‍රිය ඇස ය. ඒ ඉන්ද්‍රියයෙන් රූපය මුත් අනිකක් දත නො හැකි ය. ශබ්දය ප්‍ර‍ත්‍යක්ෂ කරන ඉන්ද්‍රිය කන ය. ගන්ධය ප්‍ර‍ත්‍යක්ෂ කරන ඉන්ද්‍රිය නාසය ය. රසය ප්‍ර‍ත්‍යක්‍ෂ කරන ඉන්ද්‍රිය දිවය. ස්පර්ශය ප්‍ර‍ත්‍යක්‍ෂ කරන ඉන්ද්‍රිය කය ය.

ලෝකෝත්තර නිර්වාණ ධාතුව ප්‍ර‍ත්‍යක්‍ෂ කරන ඉන්ද්‍රියය ලෝකෝත්තර ප්‍රඥෙන්ද්‍රිය ය. එය ඉන්ද්‍රිය විභාගයේ දී අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය ය-අඤ්ඤින්ද්‍රිය ය-අඤ්ඤාතාවින්ද්‍රිය ය කියා ඉන්ද්‍රිය තුනක් වශයෙන් දක්වා තිබේ. ඒ සියල්ල ම ආර්‍ය්‍යපුද්ගලයන් තුළ පමණක් ඇති වන ඉන්ද්‍රියයෝ ය. ගාථාවෙහි විඤ්ඤාණං යන පදයෙන් දැක්වෙන්නේ නිර්වාණ ධාතුව ලෝකෝත්තර ඥානෙන්ත්‍රිය තුනෙන් දත යුත්තක් බව ය.

පෘථග්ජනයන්ට ශ්‍රැතමය ඥානයෙන් නිවන දැනෙන්නේ එංගලන්තයට නො ගිය කෙනකුට අනුන් කියනු ඇසීමෙන් එංගලන්තය දැනෙන්නාක් මෙනි. එංගලන්තය ගැන අසා ඇතියකුට එය පිළිබඳව ඇති දැනීම සම්පූර්ණයෙන් ම වැරදි දැනීමක් නො වතුදු හරියටම හරි දැනුමක් ද නො වේ. සම්පූර්ණ දැනීමක් ද නො වේ. අසම්පූර්ණ වූ ඒ දැනුම ද නිෂ්ඵල එකක් නො වේ. එමෙන් නිර්වාණය පිළිබඳ ශ්‍රැතමය ඥානය සම්පූර්ණ දැනීමක් නො වෙතත්, එය ඒ පුද්ගලයාට මතු නිවන ප්‍ර‍ත්‍යක්ෂ කර ගැනීමට උපකාර වේ.

පෘථග්ජනයන් විසින් නිවන පඤ්චස්කන්ධය අනුව සංසාරය අනුව සිතා ගත යුතු ය. පඤ්චස්කන්ධයේ ඇති දුක් නුවණැත්තා වූ පෘථග්ජනයන්ට වැඩි අපහසුවක් නැතිව තේරුම් ගත හැකි ය. සංසාර චක්‍රයේ නපුරත් තේරුම් ගත හැකි ය. පඤ්චස්කන්ධය පිළිබඳ වූ හැම දුකකම සන්සිඳීම නිවන ය. ඒ සන්සිඳෙන දුඃඛයන්ගේ වශයෙන් නිවන තේරුම් ගත යුතු ය.

සංසාර චක්‍රයේ පෙරළීමේ නපුර යම් පමණ වේ ද ඒ සියල්ලේ ම සන්සිඳීම නිවන ය. සංසාර චක්‍රයේ ඇති නපුරුකම් අනුව නිවනේ හොඳ බව සලකා ගත යුතු ය. නිවන පිළිබඳ හරි දැනීමක් නැති බව නිවන් ලැබීමට බාධාවක් නො වේ. බාධාව වන්නේ ප්‍ර‍තිපත්තියේ වරද ය. කොළඹ ගැන හරි දැනීමක් ඇතත් නැතත් කොළඹට යන හරි මඟ ගමන් කළහොත් කොළඹට පැමිණෙන්නේ ය. එමෙන් නිවන ගැන හරි දැනීමක් කලින් ඇතත් නැතත් නිවනට පැමිණෙන ප්‍ර‍තිපත්තිය හරියට පිරුව හොත් එයට නො වැරදීම පැමිණෙන්නේ ය.

අනිදස්සනං යන පදයෙන් නිවනෙහි ඇසින් දැකිය හැකි යම් කිසි රූ සටහනක් නැති බවත්, නිවන අසවල් වස්තුව වැනිය කියා උපමා කොට දැක්වීමට සුදුසු කිසිම දෙයක් ලෝකයෙහි නැති බවත් දක්වන ලදී. මේ කරුණ ගැන නාගසේන මහ රහතන් වහන්සේ ද:-

“අප්පටිභාගං මහාරාජ නිබ්බානං න සක්කා නිබ්බානස්ස රූපං වා සණ්ඨානං වා වයං වා පමාණං වා ඔපම්මේන වා කාරණේන වා හේතුනා වා නයේන වා උපදස්සයිතුං -”

යනු වදාළ සේක. “මහරජ! නිර්වාණය සමාන දෙයක් නැතියකි. නිවනේ රූපය හෝ සටහන හෝ වයස හෝ ප්‍ර‍මාණය හෝ උපමාවකින් හෝ කාරණයකින් හෝ හේතුවකින් හෝ නය ක්‍ර‍මයකින් හෝ නො දැක්විය හැකි ය” යනු එහි තේරුම ය.

අනන්තං යන පදයෙන් අසංස්කෘත ධාතු සඞ්ඛ්‍යාත නිර්වාණය වෙන් කර දත හැකි වීමට උපකාර වන පර්‍ය්‍යන්ත පරිච්ඡේද හෙවත් මායිම් ලකුණු නැතියක් බව දැක් වේ. ලෝකයට අයත් ඒ ඒ දෙවල් එකිනෙක වෙන් කර ගත හැකිවීමට මායිම් ඇත්තේ ය. ඇති වීම ය, නැති වීම ය, පැවැත්ම ය, පවත්නා ප්‍රදේශය ය, වට පිට ඇති වස්තූහු ය යන මේවා ඒ ඒ දේවල් වෙන් කර දැන ගැනීමට උපකාර වන ඒවා ය.

අසවල් දවසේ ඇති වූ දේය අසවල් කාලයේ අසවල් වේලාවේ ඇති වූ දේය කියා ඇතිවීමෙන් ඒ ඒ දේ වෙන් කර ගත හැකි ය. තිබී අසවල් කාලයේ නැති වූ දෙය ය කියා නැතිවීමෙන් ද ඒ ඒ දේවල් සලකාගත හැකි ය. පවත්නා කාලයෙන් ද ඒ ඒ දේ සලකා ගත හැකි ය. අසවල් තැන සිට අසවල් තැන දක්වා ඇති දෙය ය කියා පර්‍ය්‍යන්ත පරිච්ඡේදයෙන් ද ඒ ඒ දේවල් දත හැකි ය. අසවල් දෙයට උතුරෙන් ඇති දෙය ය, දකුණෙන් ඇති දෙය ය, උඩින් ඇති දෙය ය, අසවල් දේවල් අතර ඇති දෙය ය කියා වට පිටාවේ ලකුණුවලින් ද ඒ ඒ දෙය දත හැකි ය. නිවන පිළිබඳව ඒ කිසිම ලකුණක් ඇත්තේ නැත. ඒ නිවන පටන් ගැනීමක් නැති අවසානයක් නැති පිහිටි තැනක් නැති පරම සූක්ෂ්ම ස්වභාවයෙකි. පටන් ගැනීමක් හෙවත් ඇති වීමක් නැතිව නිවනක් තිබිය හැක්කේ කෙසේ ද? යන පැනයට පිළිතුරු මත් අන් තැනක දක්වන්නෙමු.

“සබ්බතෝ පභං” යන්නෙන් අර්ථ තුනක් දැක්වේ. “පභන්ති පන එතං කිර තිත්ථස්ස නාමං” යනුවෙන් කේවට්ට සූත්‍ර‍ අටුවාවෙහි දැක්වෙන පරිදි “පභ” යන මෙය තොටට නමෙකි. කමටහන් අටතිසෙන් කවර කමටහනකින් වුව ද මේ නිවනට ඇතුළු විය හැකි බැවින් ඒ නිවන සැම තැනින් ම තොට ඇතියක් ය යන අර්ථයෙන් සබ්බතො පභ නම් වේ. නිවනට පැමිණීමට උපකාර නො වන කමටහනක් නැත. කවර කර්මස්ථානයකින් වුව ද නිවනට පැමිණිය හැකි ය. එහෙත් විදර්ශනාවෙන් තොරව ද නිවනට නො පැමිණිය හැකි ය. කවර කමටහනක් වුව ද වඩන තැනැත්තා විසින් නිවනට පැමිණිය හැකිවීමට ඒ සමථ කර්මස්ථානයෙන් සිත එකඟ කරගෙන විදර්ශනා වැඩිය යුතු ය.

“පභා” යනු රශ්මියට ද නමෙකි. “සබ්බතො පභන්ති” සබ්බතො පභාසම්පන්නං, නිබ්බානතොහි අඤ්ඤධම්මෝ සප්පභතරෝ වා ජෝතිමත්තතරෝ වා පරිසුද්ධතරෝ වා, පණ්ඩරතරෝ වා නත්ථි” යනුවෙන් අටුවාවෙහි දැක්වෙන පරිදි “සබ්බතෝ පභං” යනුවෙන් නිර්වාණය සැම පැත්තෙන් ම දීප්තිමත් සැම පැත්තෙන් ම බැබලීම ඇති පරම පාරිශුද්ධ ධර්මයක් බව දැක්වෙන බව කිය යුතු ය. තථාගතයන් වහන්සේ නිර්වාණය පරම පරිශුද්ධ කාන්තිමත් ධර්මයකැයි වදාරන්නේ චන්ද්‍ර‍ සූර්‍ය්‍යාදීන් ගෙන් මෙන් නිවනෙන් රැස් විහිදීමක් ඇති නිසා නොව, කිලිටි කරන කිසිවක් ඒ නිර්වාණ ධාතුව හා මිශ්‍ර‍ නො වන බැවින් හා එහි නො තැවරෙන බැවින් ය.

වස්ත්‍රාදියෙහි මෙන් අහසෙහි කිසිම දෙයක් අල්ලාගන්නා ස්වභාවයක් නැත. එබැවින් දැලි ගා අහස කිලිටි නො කළ හැකි ය. ජල ආදිය හා නොයෙක් දේ මිශ්‍ර‍වන්නාක් මෙන් කිසි ම දෙයක් අහස හා මිශ්‍ර‍ නො වන්නේ ය. එබැවින් යම්කිසිවක් මිශ්‍ර‍ කොට ද අහස කිලිටි නො කළ හැකි ය. හැම කල්හි ම ආකාශ ධාතුව පිරිසිදුව පවත්නේ ය. එමෙන් ම නිර්‍වාණ ධාතුවත් අන් කිසි නාම ධර්මයක් සමග හෝ රූප ධර්මයක් සමග මිශ්‍ර‍වීමක් නැතිව ගෑවීමක් නැතිව ලෝකයෙන් සර්වප්‍ර‍කාරයෙන් වෙන්ව ලෝකෝත්තර ධර්මයක් වශයෙන් පවතී. එබැවින් එය සැමකල්හි ම ශුද්ධය. දීප්තියක් ඇත්තේ බැබලීමක් ඇත්තේ ශුද්ධ වස්තුවල ය. චන්ද්‍ර‍ සූර්‍ය්‍යාදීන් ගේ මෙන් දීප්තිමත් භාවයක් නිවනෙහි නැත ද එය පරිශුද්ධ ධර්මයක් බැවින් දීප්තිමත් ධර්මයක් ලෙස බුද්ධාදීහු වර්ණනා කෙරෙති.

“සබ්බතෝ පභං” යනුවෙන් දැක්වෙන තවත් අර්ථයක් නම් නිවන සැමතැන ම ඇතියක් ය යනු යි. “සබ්බතෝ වා පභූ තමේවා කත්ථචි න නත්ථිති සබ්බතෝ පභා” යනු අටුවා යි. නිවන සැම තැනම ඇතිය කැයි කියනුයේ කොතැනක වුව ද සිට එය ප්‍ර‍ත්‍යක්ෂ කළ හැකි බැවිනි. නිවන ලෝකයට අයත් නො වන බැවින් ද සංස්කාරයන් හා කිසිම සම්බන්ධයක් නැතිව පවත්නා බැවින් ද නිවන පිහිටි තැනක් නැතය යි ද කිය යුතු ය. ඇති තැනක් ද නැති, නැති තැනක් ද නැත මේ නිවන පරම සූක්ෂම ධාතුවෙකි.

නිවනෙහි කිසිවක් නැතය යි කීමට බිය වන ඇතැම්හු එහි සූක්ෂ්ම විඥානයක් ඇත ය යි ද, තවත් සමහරු එහි සූක්ෂ්ම රූපයක් ඇත ය යි ද කියති. සූක්ෂ්ම වූ හෝ ඖදාරික වූ හෝ කිසිම නාම ධර්මයක් හෝ රූප ධර්මයක් හෝ නිවනෙහි නැති බව “එත්ථ නාමඤ්ච රූපඤ්ච අසේසං උපරුජ්ඣති” යන බුදු වදනින් දැක් වේ. ඒ නිවනෙහි නාමයක් ඉතිරිව නැති පරිදි නිරුද්ධ වේය යනු එහි තේරුම යි. සූක්ෂ්ම විඥානයක් හෝ රූපයක් නිවනෙහි ඇතිනම් එහි ඉතිරියක් නැතිවන සැටියට නාමරූපයන් නිරුද්ධ වන බව නො වදාරන්නාහ.