නිවන පිහිටි තැන

නිවන පිහිටි තැන පිළිබඳ ප්‍ර‍ශ්නෝත්තර කථාවක් මිළින්දප්‍ර‍ශ්නයෙහි එන්නේ ය. ඒ මෙසේය :- ස්වාමීනි, නාගසේනයන් වහන්ස, නැගෙනහිර දිග හෝ දකුණු දිග හෝ බස්නාහිර දිග හෝ උතුරු දිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ නිර්වාණය පිහිටි ප්‍රදේශයක් ඇත්තේදැයි මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් විචාළේ ය.

එකල්හි නාගසේන තෙරුන් වහන්සේ: මහරජ! නැගෙනහිරදිග හෝ දකුණුදිග හෝ බස්නාහිරදිග හෝ උතුරුදිග හෝ උඩ යට හෝ සරස හෝ නිවන පිහිටා ඇති පෙදෙසෙක් නැත ය යි වදාළ සේක.

එකල්හි මිලිඳුරජ කියනුයේ, ස්වාමීනි, නාගසේනයන් වහන්ස! නිවන පිහිටි තැනක් නැතිනම් - නිවනකුත් නැත. යමකු විසින් නිවන සාක්ෂාත් කරන ලද නම් ඔවුන් ගේ ඒ සාක්ෂාත් කරණයද මිථ්‍යාවෙක: වැරදීමෙක. එහි කාරණය කියන්නෙමි. ස්වාමීනි: නාගසේනයන් වහන්ස! යම් සේ පොළොවෙහි ධාන්‍ය උපදනා කෙත් ඇත්තේ ද, සුවඳ ඇතිවන මල් ඇත්තේද, මල් හටගන්නා ගස් ඇත්තේද, ගෙඩි හටගන්නා ගස් ඇත්තේද, රත්න හට ගන්නා ආකර ඇත්තේද, එමෙන්ම නිර්වාණය පිහිටි තැනක්ද තිබිය යුතු ය. ස්වාමීනි: නාගසේනයන් වහන්ස! යම් හෙයකින් නිවන ඇතිවන තැනක් නැත්තේ ද එබැවින් නිවනකුත් නැත ය යි කියමි. යමකු විසින් නිවන සාක්ෂාත් කරන ලද නම් එයත් වැරදීමකැයි කියමියි කීය.

එකල්හි නාගසේන තෙරුන් වහන්සේ - “මහරජ! නිවන පිහිටි තැනක් නම් නැත. එහෙත් නිවන නම් ඇතමය. මනාකොට පිළිපන් තැනැත්තා යෝනිසෝමනස්කාරයෙන් නිර්වාණය සාක්ෂාත් කර ගන්නේ ය. මහරජ! ගින්න නම් ඇත්තේ ය. එහෙත් එය පිහිටි තැනක් නැත්තේ ය. ලී දෙකක් ඇතිල්ලීමෙන් එය ලැබෙන්නේ ය. මහරජ! එපරිද්දෙන් ම නිවන ඇත්තේ ය. එය පිහිටි තැනක් නැත්තේ ය. මනාකොට පිළිපන්නා වූ තැනැත්තේ යෝනිසෝමනස්කාරයෙන් නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය, මහරජ! චක්‍ර‍රත්නය - හස්තිරත්නය - අශ්වරත්නය - මාණික්‍යරත්නය - ස්ත්‍රීරත්නය - ගෘහපතිරත්නය - පරිනායක රත්නය යන සප්තරත්නයෝ ඇත්තාහ. එහෙත් ඒවා පිහිටි ඇති තැනක් නැත. මනාකොට පිළිපන්නා වූ ක්ෂත්‍රියයාහට ප්‍ර‍තිපත්ති බලයෙන් ඒ රත්නයෝ පහළ වන්නාහ. මහරජ! එපරිද්දෙන් නිර්වාණයක් ඇත්තේ ය. එය පිහිටි තැනක් නැත්තේ ය. මනාකොට පිළිපදිනා තැනැත්තේ යෝනිසෝමනස්කාරයෙන් නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය” යි වදාළ සේක.

“ස්වාමීනි: නාගසේනයන් වහන්ස! නිවන පිහිටි තැනක් නැති නම් එසේ වේවා! මනා කොට පිළිපදින්නා වූ යෝගාවචරයා නිර්වාණය සාක්ෂාත් කරන තැනක් හෝ ඇත්තේ ද?

මහරජ! එසේ ය. මනාකොට පිළිපදින යෝගාවචරයා නිවන සාක්ෂාත් කරන තැනක් නම් ඇත්තේ ය.

“ස්වාමීනි: නාගසේනයන් වහන්ස! ඒ කොතැනද?

මහරජ! ඒ තැන නම් ශීලය යි. මහරජ! ශීලයෙහි පිහිටා යෝනිසෝමනස්කාරයෙන් යුක්තවන තැනැත්තේ ස්වකීය යවන දේශයෙහි වුව ද, චීනවිලාත දේශයෙහි වුව ද, අලසන්දා දේශයෙහි වුව ද, නිකුබ්බ දේශයෙහි වුව ද, කාශි කෝශල දේශයන්හි වුව ද, කාශ්මීර දේශයෙහි වුව ද, ගන්ධාර දේශයෙහි වුව ද, මහමෙර මුදුනෙහි වුව ද, බ්‍ර‍හ්මලෝකයෙහි වුව ද කොතැනනක වුව ද නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය.

මහරජ! යම්කිසි ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය යවන දේශයෙහි වුව ද, චීනවිලාත දේශයෙහි වුව ද, අලසන්දා දේශයෙහි වුව ද, නිකුම්බ දේශයෙහි වුව ද, කාශිකෝශල දේශයන්හි වුව ද, කාශ්මීර ගන්ධාර දේශයන්හි වුව ද, මහමෙර මුදුනෙහි වුව ද, බ්‍ර‍හ්ම ලෝකයෙහි වුව ද, කොතැනකදී වුව ද, අහස දක්නේ ද, මහරජ! එපරිද්දෙන් ශීලයෙහි සිට යෝනිසෝමනස්කාරය පවත්වන තැනැත්තේ ස්වකීය යවන දේශයෙහි වුව ද, චීනවිලාත දේශයෙහි වුව ද, අලසන්දා දේශයෙහි වුව ද, නිකුම්බ දේශයෙහි වුව ද, කාශි කෝශල දේශයන්හි වුව ද, කාශ්මීර ගන්ධාර දේශයන්හි වුව ද, මහමෙර මුදුනෙහි වුව ද, බ්‍ර‍හ්ම ලෝකයෙහි වුව ද, කොතැනක වුව ද, නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය.

ආයුෂ්මත් නාගසේන ස්ථවිරයන් වහන්සේ ගේ පිළිතුර මිළිඳු මහරජතුමා ස්තුති පූර්වකව ගෞරවයෙන් පිළිගත්තේ ය.