ද්විවිධ නිරෝධය.

star_outline

යමකට ගැසූ කල්හි ඇතිවන හඬ සැණෙකින් ම නැති වන්නාක් මෙන්, අහසෙහි හටගන්නා විදුලිය සැණෙකින් නැතිවන්නාක් මෙන්, උපදින උපදින සංස්කාර සියල්ල කිසිවක් ඉතිරි නො වන පරිදි ඒ වේලාවේදී ම අභාවප්‍රාප්ත වේ. එය සකල සංස්කාරයන්ගේ ම ස්වභාවය ය. උපදින සංස්කාරයන් ගේ ඒ අභාවප්‍රාප්තියට හෙවත් නැති වී යාමට ද නිරෝධ ය යි කියනු ලැබේ. නිරෝධ යන වචනය ඇසෙන කල්හි සාමාන්‍ය ජනයාගේ සිතට එන්නේ ඒ ඇති වූ සංස්කාරයන් ගේ නැති වී යාම ය. ඇති වූ සංස්කාරයන්ගේ නැති වී යාම වූ නිරෝධය ඒ ඒ ධර්මය පිළිබඳ අභාව මාත්‍ර‍ය ය. එය සිස් බවකි. එහි කිසි වටිනාකමක් අති ගුණ විශේෂයක් නැත්තේ ය.

උපදින සෑම අවිද්‍යාවක් ම එකෙණෙහි ම නිරුද්ධ වන්නේ ය, සෑම සංස්කාරයක් ම - සෑම විඤ්ඤාණයක්ම - සෑම නාමයක් ම - සෑම රූපයක් ම ඒ මොහොතේදීම නිරුද්ධ වන්නේ ය. අවිද්‍යාදීන්ගේ ඒ නිරෝධය ස්වාභාවික නිරෝධය ය. එයට ක්ෂණික නිරෝධය යි ද කියනු ලැබේ. සංසාර චක්‍ර‍යට අයත් ධර්මයන් ක්ෂණික නිරෝධයෙන් කොතෙක් නිරුද්ධ වුවත් අලුත් අලුත් ධර්ම ඉදිරියට ඇතිවීම් වශයෙන් සංසාරචක්‍ර‍යාගේ කරකැවීම සිදු වෙනවා මිස නැවතීමක් නො වේ. සංසාරචක්‍ර‍යා ගේ නැවැත්ම වන්නේ ඉදිරියට ඇතිවය හැකි අවිද්‍යා සංස්කාරාදි හේතුඵල ධර්මයන් ගේ ඇති නොවීමෙනි.

ප්‍ර‍තිලෝම ප්‍ර‍තීත්‍යසමුත්පාද දේශනයෙහි නිරෝධ යනුවෙන් දැක්වෙන්නේ සත්ත්වයාගේ සන්තානයෙහි ඇති වූ අවිද්‍යාදීන්ගේ ක්ෂණික නිරෝධය නොව, එතෙක් ඇති නො වූ මතු ඇතිවිය හැකිව තිබෙන්නා වූ අවිද්‍යා සංස්කාරාදීන්ගේ මතු කවර කලෙකවත් නූපදනා ස්වභාවය ය. එයට අනුත්පාද නිරෝධය යි කියනු ලැබේ. ක්ෂණික නිරෝධ - අනුත්පාද නිරෝධ දෙක්හි වෙනස සිත්හි තබා ගෙන ම මේ ධර්මය ගැන කල්පනා කරත්වා.

සංසාර චක්‍ර‍ය සිඳ දුක්ඛස්කන්ධයෙන් මිදී නිවන් සුවය ලබනු කැමැතියන්හට ඒ සඳහා කරන්නට ඇත්තේ එකම දෙයකි. එනම් අවිද්‍යාව නැති කිරීමය. යම් ප්‍ර‍තිපත්තියකින් අවිද්‍යාව නැති වේ නම් ඒ ප්‍ර‍තිපත්තිය පිරීමය. අවිද්‍යා නිරෝධය වුවහොත් සංස්කාරාදි සකල ප්‍ර‍තීත්‍යසමුත්පාදාංගයන්ගේ ම නිරෝධය සිද්ධය. අවිද්‍යා සංස්කාරාදීන් පිළිබඳ වෙන් වෙන් වූ නිරෝධ, ව්‍යවහාරයෙහි ඇති මුත් ධර්ම වශයෙන් නොලැබේ.

සංසාර චක්‍රයෙහි අවිද්‍යාව නිසා එයට පසු ව සංස්කාරය ඇති වේ. සංස්කාරය නිසා එයට පසුව විඤ්ඤාණය ඇති වේ. විඤ්ඤාණය නිසා එයට පසුව නාමරූප ඇති වේ. පළමුවෙන් අවිද්‍යාව නිරුද්ධවීම නිසා ඊට පසු සංස්කාර නිරුද්ධ වීමය, සංස්කාර නිරුද්ධ වීම ඊට පසු විඤ්ඤාණ නිරුද්ධ වීමය කියා, නිරුද්ධවීමේ පටිපාටියක් නැත්තේ ය. නිරුද්ධ වීමේ පටිපාටිය ලැබෙන්නේ කීමට පමණය.

උපන් අවිද්‍යාදි ධර්මයන්හි එකිනෙකට වෙන් බවක් ඇත්තේ ය . වෙන් ව ලැබෙන්නා වූ ඒ ධර්මයන්ගේ උත්පාද - නිරෝධ ද වෙන් වෙන් වශයෙන් ලැබෙන්නේ ය. ප්‍ර‍තිලෝම ප්‍ර‍තීත්‍යසමුත්පාද දේශනයේ දැක්වෙන අවිද්‍යාදීන්ගේ අනුත්පාද නිරෝධය එතෙක් නූපන් ධර්මයන් පිළිබඳ වූ නිරෝධයෙකි. නූපන්නා වූ අවිද්‍යාදි ධර්ම එකිනෙක වෙන් ව ඇත්තාහු නො වෙති. ඒ අවිද්‍යාදිය පවා වෙන් වෙන් ව නො ලැබෙන කල්හි ඒවා පිළිබඳ එකිනෙකට වෙන් වූ නිරෝධ බොහෝ ගණනක් කෙසේ ලැබිය හැකි ද? නොලැබේම ය. අවිද්‍යා නිරෝධය වෙතොත් ඒ සමග එකට බැඳී සංස්කාරාදීන් ගේ නිරෝධය ද වේ. අවිද්‍යා නිරෝධය අනිකක් ය, සංස්කාර නිරෝධය අනිකක් ය, විඤ්ඤාණ නිරෝධය අනිකක් ය කියා වෙන් බවක් නො ලැබේ.

අඹ ඇටය නිසා අඹ ගස ඇති වේ. අඹ ගස නිසා අඹ මල ඇති වේ. අඹ මල නිසා අඹ ගෙඩිය ඇති වේ. අඹ ගෙඩිය නිසා නැවත අඹ ඇටය ඇති වේ. අඹ ඇටය නිසා නැවත අඹ ගසක් ඇති වේ. මෙසේ අඹ ගස් පරම්පරාව නො සිඳී පවතී. ගින්නෙන් දවා අඹ ඇටය අළුකර දැමුව හොත් අඹ ඇටය නැති වනු සමග ම ඒ අඹ ඇටයේ පරම්පරාවෙහි මතු ඇතිවිය හැකි අඹගස් අඹ මල් අඹ ගෙඩි අඹ ඇට හා පසුව ඇතිවිය හැකි අඹ ගස් පරම්පරාව ද නැති වන්නේ ය.

පළමු අඹ ඇටයේ පරම්පරාවෙහි අඹ ගස් - අඹ මල් - අඹ ගෙඩි - අඹ ඇට ආදියේ ඇතිවීම වෙන වෙනම සිදුවන්නාක් මෙන් අඹ ඇටය නැතිවූ කල්හි අඹගස් - අඹමල් ආදියේ නැතිවීම වෙන වෙන ම සිදුවන්නේ නො වේ. අඹ ඇටයේ නැතිවීමට ඇතුළත්ව, අඹ ඇටයේ නැතිවීම හා එකම නැතිවීමක් වශයෙන් ම අඹ පරම්පරාවේ නැතිවීම සිදු වේ. එමෙන්ම මේ සංස්කාර චක්‍රයේ සංසාර විඥානාදි සකල ප්‍ර‍තීත්‍යසමුත්පාදාංගයන් ගේ ම නිරෝධය, අවිද්‍යා නිරෝධයටම ඇතුළත් ව එකම නිරෝධයක් වශයෙන් ම වන බව දත යුතු ය.

මේ අනුත්පාද නිරෝධය වනාහි ඒ ඒ සංස්කාරයන්ගේ අභාවප්‍රාප්ති මාත්‍ර‍ය වූ සිස් බව නොව, ශාන්ත සුඛස්වභාවයෙන් විද්‍යමාන එක්තරා පරමාර්ථ ධර්මයකි. ජරා - මරණ - ශෝක - පරිදේවාදි දුඃඛස්කන්ධයෙන් මිදීමට ඇත්තා වූ එකම පිහිට මේ නිරෝධ ස්වභාවය ය. බුද්ධාදි මහෝත්තමයන් වර්ණනා කරන ලෝකෝත්තර නිර්වාණ ධාතුව ද මේ අනුත්පාද නිරෝධයම ය. එය සාමාන්‍ය ජනයාට ලෙහෙසියෙන් දත නො හෙන පරම සූක්ෂම පරම ගම්භීර ධර්මයකි. සාමාන්‍ය ජනයාට දැනෙන සාමාන්‍ය ජනයාගේ සිත්වලට ලෙහෙසියෙන් හසුවන, ලෝකයට අයත් සකල සංස්කාරයෝ ම ඒ ඒ දෙය ඇතිවීමට නිසි හේතූන් නිසා උපදින්නෝ ය. උපදින සියල්ලට ම දිරීම හා බිඳීමක් ඇත්තේ ය. මේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ධාතුව යම් කිසි හේතුවකින් ප්‍ර‍ත්‍යයකින් ඇතිවන්නක් නො වේ. එය හටගැනීමක් නැතිව ම ඇති ධර්මයකි. හට ගැනීමක් නැතිව ඇත්තා වූ ඒ නිරෝධ ස්වභාවයෙහි දිරීමක් බිඳීමක් ද නැත්තේ ය. එය වෙනසක් නො වී සෑම කල්හි එක ලෙසින් ම පවත්නා ධර්මයකි. මේ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් ඇතත් සිතට හසු කර ගත හැකි රූ සටහනක් එහි නැත්තේ ය.

මේසය - පුටුව - ගෙය යනාදි වචන ඇසෙන කල්හි අසන්නහුගේ සිතට මේස - පුටු ආදියේ රූ සටහන් හසුවන්නේ ය. එයින් ඒ වචනවලින් කියැවෙන අර්ථය අසන්නාට හොඳින් දැනෙන්නේ ය. නිරෝධය - නිවන යනාදි වචන ඇසෙන කල්හි අසන්නාගේ සිතට එන සටහනක් ඒ නිවනෙහි නැති බැවින්, ඒ වචන ඇසෙන කල්හි සාමාන්‍ය ජනයාගේ සිත්වලට හසුවන තරමේ ඖදාරික දෙයක් නිවනෙහි නැති බැවින්, ඔවුනට දැනෙන්නේ ඒ නිවන කිසි වටිනා කමක් නැති සිස් බවක් සේ ය. බිය විය යුත්තක් සේ ය. ඒ නිරෝධ ස්වභාවය වටිනාකම පමණ කළ නො හෙන මහා සුඛයක් බව තේරුම් ගත හැකි වීමට සුඛය පිළිබඳ දැනීමක් ඇතිකර ගත යුතු ය.