නිවනේ ප්‍රයෝජනය

star_outline

“නිවන සත්ත්වයන් යන එන සිටින තැනක් නො වේ නම්, එබඳු නිවනකින් ඇති ප්‍රයෝජනය කවරේද?” යන ප්‍ර‍ශ්නය මෙහිදී ඇති වේ. නිවනින් ලබන්නට ඇත්තා වූ ප්‍රයෝජනය නම් දුක්ගිනි නිවා ගැනීම ය. සත්ත්වයන් ගේ දුක් ගිනි නිවෙන්නේ ද නිවනට පැමිණ වාසය කිරීමෙන් නොව නිවන් දැකීමෙනි. අන් කවර ධර්මයකට වත් නැති දක්නවුන් ගේ දුක්ගිනි නිවාලන පුදුම ආනුභාවයක් නිවනට ඇත්තේ ය. හරියට ම නිවන දැකීමට සමත් වන ලෝකෝත්තර ඥාන චක්ෂුසින් නිවන දෙස බැලුවහොත් එයින් ඒ තැනැත්තා ගේ දුක්ගිනි මතු කවර කලෙකවත් නූපදනා පරිදි නිවී යන්නේය. නිවන දුටු ඒ පින්වතා ඒ නිවීම් සුවයට හිමියෙක් වන්නේ ය.

නිවන ඇත්තේ පැමිණ වාසය කිරීමට නොව දැකීමට ය. නිවන් දකිනවාය, නිවන් දුටුවාය යන වචන බෞද්ධයන් අතර ව්‍යවහාරයට පැමිණ තිබෙන්නේ එහෙයිනි. නිවනට පිවිසියේ ය, නිවන් ගියේ ය, නිවනට පැමිණියේ ය යන ව්‍යවහාර ඇතත් ඒවා පර්‍ය්‍යාය කථාය. නිවන් කථාවේදී ව්‍යවහාරයට ඉතා හොඳ වචන නිවන් දකිනවාය, නිවන් දුටුවා ය යන වචනයෝ ය.

කළ යුතු වැඩවලින් ඉතාම අමාරු දෙය නිවන් දැකීමය, එබැවින් තථාගතයන් වහන්සේ විසින් :-

“දුද්දසං අනතං නාම නාභි සච්චං සුදස්සනං

පටිවිද්ධා තණ්හා ජානතෝ පස්සතෝ නත්ථි කිඤ්චනං”

යනු වදාරන ලදි. එහි තේරුම :- “නිවන දැකීමට දුෂ්කර ය. නිවන පහසුවෙන් දැකිය හැකි නොවේ ය. නිරෝධ සත්‍යය ප්‍ර‍ත්‍යක්‍ෂ වශයෙන් දන්නා වූ - දක්නා වූ තැනැත්තා විසින් ප්‍ර‍හාණය කිරීම් වශයෙන් තෘෂ්ණාව දක්නා ලද්දේ ය. ඉන් පසු ඔහුට කිසි පළිබෝධයක් නැත්තේ ය” යනුයි. මේ ගාථාවෙහි “අනතං සච්චං” යන වචන දෙකෙන්ම කියැවෙන්නේ නිවන ය.