“අත්ථි භික්ඛවේ: අජාතං අභූතං අකතං අසංඛතං, නො චේතං භික්ඛවෙ! අභවිස්ස අජාතං අභූතං අකතං අසංඛතං න යිධ ජාතස්ස භූතස්ස කතස්ස සංඛතස්ස නිස්සරණං පඤ්ඤායේථ. යස්මා ච ඛෝ භික්ඛවෙ! අත්ථි අජාතං අභූතං අකතං අසංඛතං තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සංඛතස්ස නිස්සරණං පඤ්ඤායතීති.”
තේරුම:-
“මහණෙනි! වේදනාදිය මෙන් හේතූන් නිසා නූපන්නා වූ අහේතුකව හෝ පහළ නො වූ, යම්කිසි හේතුවකින් ඇති නො කළා වූ බොහෝ හේතු ප්‍රත්‍යයන් එකතුව හෝ ඇති නො කළා වූ නිර්වාණ ධාතුව පරමාර්ථ වශයෙන් ඇත්තේ ය. මහණෙනි! ඉදින් ඒ නූපන්නා වූ, නො පහළ වූ, හේතුවකින් ඇති නො කළා වූ, බොහෝ හේතූන් හෝ එක්වී ඇති නො කළා වූ නිර්වාණ ධාතුව නැත්තේ නම්: හේතූන් නිසා උපදාන ස්වභාවය ඇත්තා වූ පහළ වන ස්වභාවය ඇත්තා වූ, හේතුවකින් ඇති කරන ස්වභාවය ඇත්තා වූ, බොහෝ හේතූන් එක්වී ඇතිකරන ස්වභාවය ඇත්තා වූ, පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුක්ඛස්කන්ධයා ගේ නිවීමෙක් නො වන්නේ ය. මහණෙනි: යම්හෙයකින් නූපන් නො හටගත් ප්‍රත්‍යයෙන් ඇති නො කළ, බොහෝ හේතූන් එක්ව හෝ ඇති නො කළ, නිර්වාණ ධාතුව පරමාර්ථ වශයෙන් ඇත්තේ ද, ඒ නිසා ප්‍රත්‍යයන් නිසා උපදනා ස්වභාවය ඇති, පහළ වන ස්වභාවය ඇති, ප්‍රත්‍යයන් ඇති කරන ස්වභාවය ඇති, බොහෝ ප්‍රත්‍යයන් එක්ව ඇති කරන ස්වභාවය ඇති පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛයා ගේ නිවීමක් ඇත්තේ ය.”
එක් කලෙක තථාගතයන් වහන්සේ නොයෙක් අයුරින් සංසාරයේ ආදීනවයත් නිවනත් දක්වමින් දහම් දෙසූ සේක. දහම් ඇසූ ඇතැම් භික්‍ෂූන්ට “බුදුන් වහන්සේ විසින් අවිද්‍යාදි හේතූන් ගේ වශයෙන් සංසාරය සහේතුක කොට වදාරන ලද්දේ ය. සංසාර දුඃඛය සන්සිඳුවන නිර්වාණය පිළිබඳව කිසි හේතුවක් ප්‍රත්‍යයක් නො වදාරන ලද්දේ ය. නිර්වාණය පිළිබඳ කිසි හේතු ප්‍රත්‍යයක් නො වදාරන්නේ එය අහේතුක නිසා විය හැකි ය. අහේතුක වූ නිර්වාණය පරමාර්ථ වශයෙන් ඇති විය හැක්කේ කෙසේ ද? යන කල්පනාවක් ඇති විය.
බුදුන් වහන්සේට ඒ භික්‍ෂූන්ට ඇති වූ කල්පනාව පෙනී නිවන එක්තරා පරමාර්ථ ධර්මයක් වශයෙන් ඇතියක් බව දැක්වීම පිණිස “අත්ථි භික්ඛවෙ! අජාතං අභූතං” යනාදි උදාන පාඨය වදාළ සේක. මේ සූත්‍රයෙන් දක්වන කෙටි අදහස නම්, නිවන හටගැනීමක් ඇති වීමක් නැතිව ම පරමාර්ථ වශයෙන් ඇති ධර්මයක් බව ය.
නිර්වාණ ධාතුව හට ගැනීමක් නැතිව ඇතය යන මෙය ගැඹුරු කරුණෙකි. නිර්වාණය හරියට තේරුම් ගැනීමට අපහසු වීමට ඇති කරුණුවලින් මේ හටගැනීමක් නැතිව ඇති බවත් එක් කරුණෙකි. යමක් ඇති නම් එහි හට ගැනීමකුත් තිබිය යුතුයකි. නො හට ගත් දෙයක් සත්‍ය වශයෙන් නො තිබිය හැකිය යනු ද එක්තරා නීතියකි. ලොව ඇත බොහෝ දේවල්වලට ඒ නීතිය සාධාරණ වුව ද එය සර්ව සාධාරණ නීතියක් නො වේ. හටගැනීමකුත් නැතුව ඇති ධර්ම ද ඇත්තේ ය. පරමාර්ථ ධර්ම අනුව කථා කරත හොත් ප්‍රඥප්තීන් නැති දේවල් සැටියට කිය යුතු ඒවා ය. එහෙත් ප්‍රඥප්ති ද සර්වප්‍රකාරයෙන් නැති ඒවා නොව ප්‍රඥප්ති භාවයෙන් ඇති ඒවා ය.
මේසය එක්තරා ප්‍රඥප්තියකි. එය ද හටගැනීමක් නැතිව ඇතියකි. එයත් ගැඹුරු කරුණෙකි. මේසය කලින් නො තිබී වඩුවකු ගේ ව්‍යායාමයෙන් ඇති වූවක් ය යනු බොහෝ දෙනා ගේ පිළිගැනීම ය. එහෙත් එය එසේ නො වේ. මේසය කලින් නො තිබී පසුව ඇති වූවක් ලෙස පිළිගන්නේ මේසය හරියට නො හඳුනන නිසා ය. මේසය හැදීමක් හට ගැනීමක් නැතිව ඇති දෙයක් බව තේරුම් ගත හැකි වන්නේ මේසය කුමක් ද කියා හරියට තේරුම් ගත හොත් ය. මේසයේ හටගැනීමක් නැතිව ඇති බව තේරුම් ගැනීම නිවනෙහි හට ගැනීමක් නැතිව ඇති බව තේරුම් ගැනීමට උපකාර වන්නේ ය.
පා සතරකුත් ඒවා එකිනෙකට සම්බන්ධ කරන ලෑලි කැබලිසතරකුත් ඒවාට උඩින් ලෑලි තට්ටුවකුත් සාමාන්‍යයෙන් මේසයකට ඇත්තේ ය. මේසය ය යි කියනුයේ ඒ ද්‍රව්‍ය සමූහයට නො වේ. ඒ ද්‍රව්‍ය සමූහය ම මේසය ය කියතහොත් ඒ ලී කැබලි ටික එක මිටියකට බැඳ තැබුවාමත්, ඒ ලී මිටිය මේසය විය යුතුය. මේසයකට වුවමනා පරිදි ලී කොටය කැබලි කරන්නට කලින් ඒ ලී කොටයෙහි මේසයට ගත් ලී සියල්ලම ඇති නිසා ඒ නො ඉරූ ලී කොටයමත් මේසය විය යුතු ය. මේසයට ගත් ලී සියල්ල ගසේ තිබුණු බැවින් ගසක් මේසය විය යුතු ය. මේසයට ගන්නා ලී සියල්ල ඇති ගසත්, කොටයත්, එයින් මේසය සඳහා ඉරාගත් ලී කැබලි ටිකත්, ඒ සියල්ලම ඇති ලී මිටියත් මේසය නො වීමෙන් සාදා නිමකර ඇති මේසයේ ලී කැබෙලි ටිකත් මේසය නො වන බව තේරුම් ගත යුතු ය.
සැබෑ මේසය නම් පා සතරත් ඒවා එකිනෙකට සම්බන්ධ කරන ලෑලි සතරත් ඒවා මත පිහිටුවන ලෑලි තට්ටුවත් එක්තරා ආකාරයකට සම්බන්ධ කළ කල්හි ඒ ලී කැබලි ටිකේ පිහිටීම අනුව සිතට පමණක් දැනෙන හසුවන එක්තරා සූක්ෂ්ම ස්වභාවයකි. ඒ සූක්ෂ්ම ස්වභාවය වූ මේසය ඇසට පෙනෙන්නක් නො වේ. අතට හසුවන්නක් ද නො වේ. ඇසට පෙනෙන්නේත් අතට හසුවන්නේත් අර ලී කැබෙලි ටික ය. පරමාර්ථ සත්‍යය අනුව කථා කරතහොත් කියයුත්තේ ලී කැබෙලි ටික හැර මේසය කියා දෙයක් නැති බවය. එහෙත් ඒ ආකාරයෙන් පිහිටුවන ලද ලී කැබෙලිවල අනුසාරයෙන් සිතට ඇති සැටියට දැනෙන මේසය සම්පූර්ණයෙන් නැතියක් ම නො වේ. මේසයය කියා දෙයක් සිතට හසුවන්නේ - සිතට දැනෙන්නේ එබඳු දෙයකුත් එක්තරා ආකාරයකින් ඇති නිසා ය. පරමාර්ථ වශයෙන් නො ලැබෙන සිතට පමණක් අසුවන එබඳු දේවලට ප්‍රඥප්තිය යි කියනු ලැබේ.
මේසය වශයෙන් සලකන දාරුමය ද්‍රව්‍යය ගෙන ගිනි මැලයකට දැමුවහොත් දැවී හලු වී යන්නේ මේසය නොව ලී කැබලි ටික ය. ඇසට හෝ අතට හසු නො වන ප්‍රඥප්තියක් වූ මේසය ගින්නට හසුවන්නේ නො වේ. එබැවින් ගින්නෙහි ලෑමෙන් ලී කැබලි ටික මිස මේසය විනාශ නො වන බව තේරුම් ගත යුතු ය. අන් ක්‍රමයකින් වුවද ලී කැබෙලි ටික ම මිස මේසය විනාශ නො කළ හැකිය. මේසය කිසි කලෙක කවර හේතුවකින් වත් විනාශ වන්නක් නොවේ. උපක්‍රමයෙන් විනාශ කළ නො හෙන්නා වූ ද, ඉබේ වුවද විනාශ වීමක් සිදු නො වන්නා වූ ද, මේසය කිසිවකුට ඇති කළ හැක්කේ ද නො වේ. වඩුවා කරන්නේ ඔහු ගේ සිතට දැනෙන මේස සටහන ප්‍රකට වන පරිදි ලී කැබෙලි පිහිටු වීම ය. මේසයක් ඔහුට ඇති නො කළ හැකි ය.
වඩුවා පිළියෙල කළ කැබලි සංයෝගය දක්නවුන් ගේ සිතට ද එය අනුව මේස සටහන දැනෙන්නේ ය. මේ සටහන මේස ප්‍රඥප්තිය වඩුවා ගේ ව්‍යායාමය නිසා ඇති වූවක් නොව කලින් ම තුබූ දෙයකි. එය අසවල් කාලයේ ඇති වූවක් ය, ඉන් පෙර තුබුණේ නැත ය කියා දැක්වීමට කාලයක් නැත. එබැවින් මේසය නමැති ප්‍රඥප්තිය පළමුවෙන් ඇතිවීමක් හෙවත් පටන් ගැනීමක් නැතුව ඇතියක් බව දත යුතු ය. පටන් ගැනීමක් නැතිව ඇත්තා වූ එබඳු දේවල විනාශයක් නැති බව ද තේරුම් ගත යුතු ය.
(ප්‍රඥප්තිය හා පරමාර්ථය විස්තර කරන ඇතැම් අභිධර්ම පොත්වල ප්‍රඥප්තියේ වෙනස් වීමක් විනාශයක් ඇති බව පවසා මහ අවුලක් කර තිබේ. එය ඒ ගත් කරුවන්ට වැරදීමකි.)
මේසය පිළිබඳව කියන ලද කරුණත් ගැඹුරු කරුණෙකි. කියවන්නාට එය හොඳින් තේරුණා නම් ඇතිවීමක් නැතුව නිර්වාණ ධාතුවත් තිබිය හැකි බව තේරුම් ගත හැකි වනු ඇත.
මුලින් ඇතිවීමක් නැතුව ඇත්තා වූ මේසය ද්‍රව්‍යයක් නො වන නිසා එයට තිබෙන්නට තැනක් ද වුවමනා නැත. එබැවින් මේස නමැති ප්‍රඥප්තිය ඇති තැනක් ද නැති බව කිය යුත ුය. සැම තැනකදී ම එය සිතට හසුවන බැවින් එය සැමතැන ම ඇති දෙයකැ යි ද කිය යුතු ය. එමෙන් ම නිර්වාණ ධාතුවටත් පිහිටීමට තැනක් නුවුවමනා බැවින් එය ඇති තැනකුත් නැත ය යි ද, කොතැනකදී වුවත් ලැබිය හැකි බැවින් සැම තැන ම ඇතය යි ද කිය හැකි ය.
ආකාශය ද පටන් ගැනීමක් නැතුව ඇති එක් දෙයකි. ආකාශය කාහටත් ප්‍රත්‍යක්ෂ දෙයකි. ආකාශයක් ඇති බව කවුරුත් පිළිගනිති. මේ ආකාශය අසවල් කාලයෙන් ඔබ තිබුණේ නැත. ආකාශය ඇත්තේ අසවල් කාලයේ පටන් යයි කිය හැකි කාලයක් නැත. එය මුලු අතීත කාලයේ ම පැවැත්තේ ය. මෙය නුවණින් කල්පනා කරන කාහට වුවත් පිළිගත හැකි කරුණෙකි. පළමුවෙන් ඇතිවීමක් නැතුව ආකාශය සැම කල්හි ම පවත්නාක් මෙන් නිවනත් ඇති වීමක් නැතුව සැමකල්හි පවත්නක් බව තේරුම් ගත යුතු ය.
යම්කිසි හේතුවකින් හෝ ඉබේ ම හෝ හටගැනීමක් නැතිව ඇත්තා වූ නිවන ආකාශය සේ සිස් බවක් නො වේ. මේසය බඳු ප්‍රඥප්තියක් ද නො වේ. එය එක්තරා පරමාර්ථ ධර්මයකි. ඒ බව දත යුත්තේ එහි ඇති ආනුභාවයෙනි. සිස් බවෙහි කිසි ආනුභාවයක් නැත. සියලු කෙලෙස් නැති කිරීමේ, සියලු දුක් නැති කිරීමේ මහානුභාවයක් නිවනෙහි ඇත. නිවන් පසක් කිරීමෙන් හෙවත් නුවණැසින් නිවන දැකීමෙන් දුටු තැනැත්තා ගේ කෙලෙස් මතු නූපදනා පරිදි නැති වී යන්නේත් දුක් නැති වී යන්නේත් නිවනේ ආනුභාවයෙනි. එබඳු ආනුභාවයක් සිස්බවෙහි නැති බැවින් නිර්වාණධාතුව ආනුභාව සම්පන්න එක්තරා පරමාර්ථ ධර්මයකැ යි පිළිගත යුතු ය.