පටිච්චසමුප්පාදයේ නය සතර

star_outline

ඒකත්ත නයය, නානත්ත නයය, අව්‍යාපාර නයය, එවංධම්මතා නයයයි අර්ථ නයය සතරෙක් වේ. භව චක්‍ර‍ය පිළිබඳ මනා දැනුම ඇති වනුයේ ඒ නය සතර ද මැනවින් තේරුම් ගත් කල්හි ය.

ඒකත්ත නය.

සහලෙන් බත ඇති වේ. සහල කෑමට නුසුදුසු තද දෙයකි. බත කෑමට සුදුසු මෘදු දෙයකි. සහල හා බත ලක්‍ෂණ වශයෙන් එකිනෙකට ඉතා වෙනස් ය. එකිනෙකට වෙනස් වූ සහල හා බත දෙකක් ද? එකක් ද? යනු විසඳා ගත යුත්තකි. බතෙහි සහල් ලක්‍ෂණයත් සහල්වල බතේ ලක්‍ෂණයත් නැති බැවින් ඒ දෙක එකකැ යි නො කිය හැකි ය. ඉදින් ඒ දෙක දෙකක් ම ය යි ගත හොත් සහල් හිමියාට බත අහිමි වීමෙන් අවුලක් වේ. එබඳු අවුලක් නො වන්නට නම් සහල හා බත ඒකත්වයෙන් ද පිළිගත යුතු ය. ඒ ඒකත්වය නම් පරම්පරා සම්බන්ධය යි. එමෙන් අවිද්‍යාවෙන් හටගන්නා සංස්කාරය අවිද්‍යාවට ඉතා වෙනස් වූ අන්‍ය ධර්මයකි. සංස්කාරයෙන් හටගන්නා විඥානය අවිද්‍යා සංස්කාර දෙකටම ලක්ෂණ වශයෙන් වෙනස් වූ ධර්මයෙකි. එහෙත් එක ම පරම්පරාවකට අයත් වීම් වශයෙන් ඒවායේ ඒකත්වයක් ද ඇත්තේ ය.

පටිච්චසමුප්පාදයේ ඒකත්තනය ය යි කියනුයේ ඒ ඒකත්වයට ය. මේ එකත්තනය මැනවින් දත් කල්හි “මැරෙන්නේ අනෙකෙක, උපදින්නේ අනෙකෙක, පින් පව් කරන්නේ අනෙකෙක, සුවදුක් විඳින්නේ අනෙකෙකැ” යි ගන්නා වූ උච්ඡේද දෘෂ්ටිය දුරු වේ. ඒකත්තනය වරදවා තේරුම් ගත් කල්හි ලක්‍ෂණ වශයෙන් එකිනෙකට වෙනස් වූ අවිද්‍යාදි ධර්ම සමූහය එක් කොට එක් දෙයක් සැටියට හෙවත් එක් සත්ත්වයකු සැටියට ගෙන “සෝ කරෝති සෝ පටිසංවේදේති” යනාදීන් දැක්වෙන පින් පව් කරන තැනැත්තා ම සුව දුක් විඳින්නේ ය, මේ සත්ත්වයා ම පරලොව යන්නේ ය යි ශාශ්වත දෘෂ්ටිය ගනී.

නානත්ත නය

අවිද්‍යාදි ධර්ම සමූහය ඒකත්වයෙන් දත යුතුවාක් මෙන් ම නානත්වයෙන් ද දත යුතු ය. එක් දෙයක් එක් සත්ත්වයකු එක් පුද්ගලයකු වශයෙන් පෙනෙන සේ සන්තති ප්‍ර‍ඥප්තියෙන් වැසී තිබෙන මේ ධර්ම සමූහය හේතු ඵල වශයෙන් හා ඒ ඒ ධර්මයට අයත් ලක්‍ෂණයන්ගේ වශයෙන් ද කාල වශයෙන් ද වෙන් වෙන් වූ ධර්මයන් ගේ සමූහයකි. අවිද්‍යාදීන් ගේ ඒ නානත්වය හෙවත් ධර්ම බොහෝ ගණනක් බව පටිච්චසමුප්පාදයාගේ නානත්ත නයයි.

මෙය මනාකොට දක්නා තැනැත්තා හට පරණ පරණ වූ සංස්කාරයන් ගේ බිඳී යාම හා අලුත් අලුත් සංස්කාරයන් පහළ වන බවත් අවබෝධ වීමෙන් භවයෙන් භවයට යෙමින් සුව දුක් විඳින සත්ත්වයකු ඇතය යි ගන්නා ශාශ්වත දෘෂ්ටිය දුරු වේ. වරදවා ගත් තැනැත්තා එක සන්තානයකට අයත් ධර්මයන් වෙන් වෙන් වූ සන්තානයන්ට අයත් ධර්ම සේ පමණ ඉක්මවා නානත්වයෙන් ගෙන අනෙකෙක් මැරෙන්නේ ය, අනෙකෙක් උපදින්නේ ය. අනෙකෙක් කර්ම කරන්නේ ය, අනෙකෙක් සුව දුක් විඳින්නේ යයි උච්ඡේද දෘෂ්ටිය ගනී.

අව්‍යාපාර නය

සංස්කාරාදි ඵල ධර්මයන් ඇති වීමට අවිද්‍යාදි හේතු ධර්මයන් ප්‍ර‍ත්‍යය වෙතත්, සංස්කාරාදිය ඉපදීමේ උත්සාහයක් හෝ ඕනෑකමක් අවිද්‍යාදියට නැත. අවිද්‍යාදි හේතූන් ගේ ඵල ඇති කිරීමේ උත්සාහයක් නැති බව අව්‍යාපාර නය යි. මෙය මනා කොට දුටු කල්හි කර්ම කරන්නා වූ කෙනකු නැති බව හා ජාතියෙන් ජාතියට භවයෙන් භවයට යන්නකු නැති බව ද වේදනාව හැර සුව දුක් විඳින්නකු නැති බව ද අවබෝධ වී ආත්මය පින් පව් කරන්නේ ය, ආත්මය භවයෙන් භවයට යන්නේ ය, ආත්මය සුව දුක් විඳින්නේ ය යන ආත්ම දෘෂ්ටිය දුරුවේ.

අව්‍යාපාර නය වරදවා ගත් තැනැත්තේ කිසිවෙකු ගේ විධානයක් නැති ව, ගින්න උඩ බලා යන්නාක් මෙන් ද, සුළඟ සරසට යන්නාක් මෙන් ද, ගං - හෝ මුහුදු බලා ගලන්නාක් මෙන් ද සියල්ල ඉබේ ම සිදු වන්නේ ය. කෙනකු ගේ ක්‍රියාවකින් සිදුවන කිසිවක් නැත ය යි පවින් වැළකීමෙන් හා පින් කිරීමෙන් ද වන ඵලයක් නැතය යන අක්‍රිය දෘෂ්ටිය ගන්නේ ය.

එවං ධම්මතා නය

සංස්කාරාදි ඵල ඉපදවීමේ උත්සාහයක් අවිද්‍යාදි හේතු ධර්මයන් කෙරෙහි නැත ද, අඹගසින් කොස් ගෙඩි පොල් ගෙඩි නූපදවා අඹ ගෙඩි ම උපදවන්නාක් මෙන් ද, පොල්ගස අඹගෙඩි කොස්ගෙඩි නූපදවා පොල් ගෙඩි ම උපදවන්නාක් මෙන් ද, සහල වැලි හෝ සූකිරි හෝ නූපදවා බත ම උපදවන්නාක් මෙන් ද, අවිද්‍යාදි ධර්මයෝ නියමයක් නැති යම්කිසි ඵලයක් ඇති නො කොට ඒ ඒ හේතු ධර්මයට අනුකූල වූ පරිදි සංස්කාරාදි ඵලයන් ම උපදවති. අවිද්‍යාදීන් ගේ ඒ හේතුවට අනුකූල ඵලය ම උපදවන බව පටිච්චසමුප්පාදයේ එවංධම්මතා නය යි.

මේ නයය මනා කොට දක්නා තැනැත්තේ සියල්ලෙන් ම සියල්ල ම නො හට ගන්නේ වී නමුත් තලවලින් තෙල් ද සහලෙන් බත් ද දෙනගෙන් කිරි ද උක්දඬුයෙන් පැණි ද හටගන්නාක් මෙන් ප්‍ර‍ත්‍යයට අනුරූප ඵලය හටගන්නා බව අවබෝධ කර ගැනීමෙන් කිසිවකින් කිසිවක් නො හටගන්නේය යන අහේතුක දෘෂ්ටිය දුරලන්නේ ය. “ක්‍රියාවෙන් සිදුවන ඵලයක් නැති බැවින් පවින් වැළකීමෙන් හෝ පින් කිරීමෙන් ද වැඩක් නැතය යි” ගන්නා වූ අක්‍රිය දෘෂ්ටිය ද දුර ලන්නේ ය.

එවං ධම්මතා නය නො දක්නා තැනැත්තේ එක් දෙයකින ්එයට වෙනස් වූ අන් දෙයක් ඇති වෙත හොත් වැල්ලෙන් තෙල් ද උක්දඬුයෙන් කිරි ද කොසඹ රුකින් පැණිද ඇති නො වන්නේ මන් දැ යි ප්‍ර‍ශ්න කරමින් කිසිවකින් කිසිවක් ඇති නො වන්නේ ය යන අහේතුක දෘෂ්ටිය ද ගනී. අන්කිසි හේතුවක් නැත ද තලවලින් තෙල් ද දෙනගෙන් කිරි ද ශුක්‍රශ්‍රෝණිතයෙන් ශරීරය ද ඇතිවන්නාක් මෙන් නියමය වූ පරිදි සියල්ල ඉබේ ම සිදුවේ ය යන නියතිවාදය ද ගන්නේ ය.

අනුලෝම ප්‍ර‍තීත්‍යසමුත්පාද විස්තරය මෙතෙකින් අවසන් කරන ලදි.