නිර්වාණය සාක්ෂාත් කරන ප්‍ර‍ශ්නය

star_outline

ස්වාමීනි, නාගසේනයන් වහන්ස! සම්‍යක් ප්‍ර‍තිපත්තියෙන් නිවන් පසක් කරන තැනැත්තේ ඉපද ඇති නිර්වාණය ම සාක්ෂාත් කරන්නේ ද? නැතහොත් අමුතුවෙන් නිවන උපදවාගෙන සාක්ෂාත් කරන්නේ දැ යි මිලිඳු රජතුමා ඇසීය.

මහරජ! සම්‍යක් ප්‍ර‍තිපත්තියෙන් නිවන් පසක් කරන තැනැත්තේ ඉපද ඇති නිවනක් පසක් කරන්නේ ද නො වේ. නිවනක් උපදවා ගෙන පසක් කරන්නේ ද නො වේ. මහරජ! එහෙත් සම්‍යක් ප්‍ර‍තිපත්තියෙන් සාක්ෂාත් කරන නිවන නම් ඇත්තේම ය යි නාගසේන ස්ථවිරයන් වහන්සේ වදාළ සේක.

ස්වාමීනි, නාගසේනයන් වහන්ස! මේ ප්‍ර‍ශ්නය වැසුණක් කොට නො දක්වනු මැනවි. විවෘත කොට ප්‍ර‍කට කොට දක්වන සේක්වා! නුඹ වහ්නසේ උගෙන ඇති යමක් වේ නම් ඕනෑකමින් උත්සාහයෙන් ඒ සියල්ල මෙහි ම වගුරවනු මැනවි. මේ කාරණයෙහි ජනයෝ මුළා ව ඉන්නාහ. විමති ඇතිව ඉන්නාහ. සැක ඇතිව ඉන්නාහ. මහජනයා ගේ ඒ සැකය නැමති හුල බිඳලුව මැනව.

මහරජ! ශාන්ත වූ සැප වූ ප්‍ර‍ණීත වූ ඒ නිර්වාණ ධාතුව ඇත්තේ ම ය. එය මනා කොට පිළිපන් තැනැත්තේ සර්වඥයන් වහන්සේ ගේ අනුශාසනය පරිදි සංස්කාරයන් සම්මර්‍ශනය කිරීමෙන් සාක්ෂාත් කරන්නේ ය. මහරජ! යම් සේ අතවැසියා ආචාර්‍ය්‍යවරයා ගේ අනුශාසනයෙන් විද්‍යාව ප්‍ර‍ඥාවෙන් සාක්ෂාත් කෙරේ ද? මහරජ! එපරිද්දෙන් ම මනාකොට පිළිපදින තැනැත්තේ සර්වඥානුශාසනය පරිදි සංස්කාරයන් සම්මර්‍ශනය කිරීමෙන් නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය.

මහරජ! නිවන කෙසේ දතයුතු ද? එය ව්‍යසනයක් නැතියක් සැටියට ද, උපද්‍ර‍ව නැතියක් සැටියට ද, බියක් නැති තැනක් සැටියට ද, උවදුරු නො එන තැනක් සැටියට ද, ශාන්ත ස්වභාවයක් සැටියට ද, සුඛ ස්වභාවයක් සැටියට ද, ආශ්වාදයක් මිහිරි දෙයක් සැටියට ද, ප්‍ර‍ණීත දෙයක් සැටියට ද, පිරිසිදු දෙයක් සැටියට ද, ශීතල ස්වභාවයක් සැටියට ද දත යුතු ය.

මහරජ! මහ ගින්නකට හසු වී දැවෙමින් සිටියෙක් මහත් වූ උත්සාහයෙන් එයින් මිදී ගිනි නැති තැනකට වැද එහි දී යම් සේ මහත් සුවයක් ලබා ද, එපරිද්දෙන් ම යමෙක් මනාකොට පිළිපන්නේ වේ නම් හෙතෙමේ සම්‍යක් මනස්කාරයෙන් ත්‍රිවිධාග්නි සන්තාපයෙන් මිදීමෙන් පරම සුඛය වූ නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය. මහරජ! මේ උපමාවෙහි මහා ගිනි ගොඩ මෙන් ත්‍රිවිධාග්නිය දත යුතුය. ගින්නට හසුව උන් තැනැත්තා මෙන් සම්‍යක් ප්‍ර‍තිපත්තියෙහි පිහිටි තැනැත්තා දත යුතු ය. ගින්න නැති තැන මෙන් නිවන දත යුතු ය. මහරජ! යම්සේ මිනී කුණු - බලු කුණු - මල මුත්‍ර‍ රාශියකට හසු වූ පුරුෂයෙක් මහත් වූ උත්සාහයෙන් එයින් මිදී කුණප විරහිත තැනකට පැමිණ එහි පරම සුඛයක් ලබා ද, මහරජ! එපරිද්දෙන් ම මනා කොට පිළිපදින තැනැත්තේ යෝනිසෝමනස්කාරයෙන් ක්ලේශ කුණපයන් නැත්තා වූ පරම සුඛය වූ නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය. මහරජ! මේ උපමාවෙහි කුණප රාශිය මෙන් පඤ්චකාමය දත යුතු ය. කුණප ගොඩකට හසුව උන් පුරුෂයා මෙන් මනා කොට පිළිපන් පුද්ගලයා දත යුතු ය. කුණපයන් නැති තැන මෙන් නිර්වාණය දත යුතු ය.

මහරජ! යම් සේ බියපත් වූ තැති ගත්තා වූ වෙවුලන්නා වූ අවුල් වූ සිත් ඇත්තා වූ පුරුෂයෙක් උත්සාහයෙන් එයින් මිදී ශක්තිමත් වූ ස්ථිර වූ ආරක්‍ෂා ස්ථානයකට පිවිස පරම සුඛයක් ලබා ද, එපරිද්දෙන් මනාකොට පිළිපදිනා තැනැත්තේ යෝනිසෝමනස්කාරයෙන් භය සන්ත්‍රාස විරහිත පරම සුඛය වූ නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය. මහරජ! මේ උපමාවෙහි භය මෙන් ජාති ජරා ව්‍යාධි මරණයන් නිසා වරින් වර වන භය දත යුතු ය. බියපත් පුරුෂයා මෙන් මනා කොට පිළිපන් තැනැත්තා දත යුතු ය. අභය ස්ථානය මෙන් නිවන දත යුතු ය.

මහරජ! කුණු මඩගොහොරුවකට වැටී ඉන්නා පුරුෂයෙක් මහත් වූ උත්සාහයෙන් එයින් බැහැර ව පිරිසිදු පෙදෙසකට පැමිණ එහි පරම සුඛයක් යම් සේ ලබා ද, මහරජ! එපරිද්දෙන් ම මනා කොට පිළිපන් තැනැත්තේ යෝනිසෝමනස්කාරයෙන් කෙලෙස් මඩින් තොර වූ පරම සුඛය වූ නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය. මහරජ! මේ උපමාවෙහි මඩගොහොරුව මෙන් ලාභ සත්කාර කීර්තීන් දත යුතු ය. මඩෙහි එරුණු පුරුෂයා මෙන් මනාකොට පිළිපන් තැනැත්තා දත යුත ුය. පිරිසිදු පෙදෙස මෙන් නිර්වාණය දත යුතු ය. ඒ නිවන මනා කොට පිළිපන් තැනැත්තේ කුමකැයි කියා සාක්ෂාත් කෙරේ ද යත්? ඒ යෝගාවචරයා සංස්කාරයන් ගේ පැවැත්ම සම්මර්ශනය කරයි. පැවැත්ම සිහි කරන්නා වූ ඔහු එහි ජාතිය දකී. ජරාව දකී. ව්‍යාධිය දකී. මරණය දකී. එහි කිසි සැපයක් නො දකී. මුල මැද අග යන තුනෙහි ම එහි කිසි ගතයුත්තක් නො දකී. මහරජ! දවස මුළුල්ලෙහි ම ගින්නෙන් තැවුණු ගිනියම් වූ ලොහොගුලියෙහි මුල මැද අග යන තුන් තැනෙහි ම ඇල්ලිය හැකි තැනක් නො දකී ද, මහරජ! එපරිද්දෙන් ම සංස්කාරයන් ගේ පැවැත්ම සම්මර්ශනය කරන තැනැත්තේ එහි ජාති දකී. ජරාව දකී. ව්‍යාධිය දකී. මරණය දකී. එහි කිසි සුවයක් හොඳක් නො දකී. මුල මැද අග යන තුනෙහි කිසි ගත යුත්තක් නො දකී. ගත යුත්තක් නො දක්නා වූ ඔහු ගේ සිත්හි නො සතුටක් ඇති වේ. ශරීරයෙහි දාහයක් ඇති වේ. කිසි පිහිටක් නො දක්නා වූ ඔහු භවය ගැන කලකිරෙයි.

මහරජ! යම් සේ මහ ගිනි ගොඩකට පිවිසි තැනැත්තා එහි අසරණ වූයේ ගින්න ගැන කලකිරේ ද, එපරිද්දෙන් සංස්කාරයන්හි ගතයුත්තතක් නො දක්නා වූ ඔහුගේ සිත්හි නො සතුටක් පහළ වේ. කයෙහි දාහයක් ඇති වේ. කිසි පිහිටක් නො දක්නා වූ ඔහු භවයෙහි කලකිරෙයි. පැවැත්මෙහි භය දක්නා වූ ඔහුට මේ විද්‍යමාන වූ සංසාර ප්‍ර‍වෘත්තිය ගිනිගෙන ඇතියක. බොහෝ දුක් ඇතියක. බොහෝ සිත්තැවුල් ඇතියක. ඉදින් යම්කිසිවෙක් සංස්කාරයන් ගේ නො පැවැත්මක් ලබානම් ඒ සර්වාසංස්කාරයන් ගේ සන්සිඳීම වූ සකලෝපධීන්ගෙන් මිදීම වූ තෘෂ්ණාක්ෂයය වූ විරාගය වූ නිරෝධය වූ නිර්වාණය ශාන්තය ප්‍ර‍ණීතය යන අදහස ඇති වන්නේය. ඔහු ගේ සිත සංස්කාරයන් නො පැවැත්ම වූ නිවනට පැන වදින්නේ ය. මාහට පිහිටක් ලැබුණේය යි ඔහු ගේ සිත සතුටු වන්නේ ය. ඔහු ගේ සිත පැහැදෙන්නේ ය.

මහරජ! යම්සේ විදේශයකට පැමිණ, යාමට මගක් නැතිව දුකට පත්ව ඉන්නා තැනැත්තෙක් එයින් මිදී යාමේ මගක් දැක ඒ මගට බසී ද, මෙය මිදීමේ මග ය යි ඔහු ගේ සිත සතුටු වේ ද, මහරජ! එපරිද්දෙන් ම සංසාර ප්‍ර‍වෘත්තියෙහි භය දක්නා වූ තැනැත්තා ගේ සිත සංස්කාරයන් ගේ අප්‍ර‍වෘත්තියට පැන වදින්නේ ය. පිහිටක් ලැබුණේය යි ඔහුගේ සිත සතුටු වන්නේ ය. පහදින්නේ ය. ඔහු නිර්වාණ මාර්ගය සොයයි. නිවන් ලබනු පිණිස සිහියෙන් යුක්ත වෙයි. වීර්‍ය්‍යයෙන් යුක්ත වෙයි. නිර්වාණය මෙනෙහි කරන්නා වූ ඔහු ගේ සිත සංස්කාර ප්‍ර‍වෘත්තිය ඉක්මවා අප්‍ර‍වෘත්තිය වූ නිවනට බැසගනී. මහරජ! සංස්කාරයන් ගේ අප්‍ර‍වෘත්තිය වූ නිවනට සිතින් පැමිණෙන මනාකොට පිළිපන් තැනැත්තා නිර්වාණය සාක්ෂාත් කෙරේ යයි කියනු ලැබේ.

මිලිඳුරජු තෙමේ සාධුකාරදීමෙන් ආයුෂ්මත් නාගසේන ස්ථවිරයන් වහන්සේ ගේ දේශනය පිළි ගත්තේ ය.