විද්‍යාව ඉපදවීමේ කාලය.

star_outline

අවිද්‍යාන්ධකාරය දුරුකිරීමට සමත් වන ආර්‍ය්‍ය විද්‍යාලෝකය උපදවා ගත හැක්කේ බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය පවත්නා කාලයේ දී පමණෙකි. මේ බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය පවත්නා කාලයෙකි. එබැවින් ආර්‍ය්‍ය විද්‍යාව නමැති ආලෝකය උපදවාගෙන අවිද්‍යාන්ධකාරය දුරුකර සංසාර දුක්ඛයෙන් මිදීමට උත්සාහ කිරීමට මේ ඉතාම සුදුසු කාලය ය. උත්සාහ කළත් මේ කාලයේදී මගපලවලට නො පැමිණිය හැකි ය යි ඇතැම්හු කියතත් එබන්දක් බුදුන් වහන්සේ විසින් වදාරා නැත. ඉමේ ච සුභද්ද භික්ඛු සම්මා විහරෙය්‍යුං අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්ස” යනුවෙන් මහා පරිනිර්වාණ සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇත්තේ මේ භික්ෂූහු මනාකොට වාසය කරන්නාහු නම් ලොව රහතුන්ගෙන් සිස් වන්නේ නැතය කියා ය. කොතෙක් උත්සාහ කළත් වර්තමාන ජාතියේදී මාර්ගඵලවලට පැමිණිය නොහෙන අභව්‍ය පුද්ගලයෝ ද ඇතහ.

“තිරච්ඡානගතස්ස මහාරාජ! සුපටිපන්නස්සාපි ධම්මාභිසමයො න හොති, පෙත්තිවිසයූපපන්නස්ස මිච්ඡාදිට්ඨිකස්ස කුහකස්ස මාතුඝාතකස්ස පිතුඝාතකස්ස අරහන්තඝාතකස්ස සංඝභේදකස්ස ලෝහිතුප්පාදකස්ස ථෙය්‍යසංවාසකස්ස තිත්තියපක්කන්තස්ස භික්ඛුනී දූසකස්ස තෙරසන්නං ගරුකාපත්තිනං අඤ්ඤතරං ආපජ්ජිත්වා අවුට්ඨිතස්ස පණ්ඩකස්ස උභතොබ්‍යඤ්ජනකස්ස සුපටිපන්නස්සාපි ධම්මාභිසමයෝ න හෝති. යෝපි මනුස්සදහරකෝ ඌනකසත්තවස්සිකෝ තස්ස සුපටිපන්නස්සාපි ධම්මාභිසමයෝ න හෝති. ඉමේසං ඛෝ මහාරාජ! සෝළසන්නං පුග්ගලානං සුපටිපන්නානම්පි ධම්මාභිසමයෝ න හෝති”

යනුවෙන් නාගසේන මහරහතන් වහන්සේ විසින් වදාළ පුද්ගලයන් සොළොස් දෙනා හැර සෙස්සන්ට බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය උගෙන ඒ ධර්මයේ සැටියට ආර්‍ය්‍යවිද්‍යා සංඛ්‍යාත ලෝකෝත්තර මාර්ග ඥානය වර්තමාන භවයේදී උපදවන්නට බැරිය කියා නියමයක් නැත. මගපල ලබා අවිද්‍යාව දුරුකරගත හැකිවීමට ප්‍ර‍මාණවත් උත්සාහයකින් ක්‍ර‍මානුකූලව භාවනාවෙහි යෙදුනහොත් කාහට වුවත් මේ ජාතියේදී උසස් තත්ත්වයකට පැමිණිය හැකි නො වේය යි නො කිය හැකි ය. එක ජාතියකදී කරන උත්සාහයෙන් භාවනාව සම්පූර්ණ වී ධර්මාභිසමය නුවුවහොත් ඒ තැනැත්තාට ඒ කුශලයෙන් දෙවන ජාතියේ දෙව්ලොව ඉපද එහිදී මගපල ලබා නිවන් දැකිය හැකි වන බව තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා තිබේ.

“ඉධ භික්ඛවෙ! භික්ඛු ධම්මං පරියාපුණාති සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං, තස්ස තේ ධම්මා සෝතානුගතා හොන්ති වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා සෝ මුට්ඨස්සති කාලං කුරුමානෝ අඤ්ඤතරං දේවනිකායං උපපජ්ජති. තත්ථ තත්ථ සුඛිනො ධම්මපදා ප්ලවන්ති. දන්ධෝ භික්ඛවේ! සතුප්පාදො. අථ සො සත්තෝ ඛිප්පමේව විසේසභාගි හෝති.”

“මහණෙනි! මේ සස්නෙහි මහණ තෙමේ සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භුතධම්ම වේදල්ල යන කොටස් නවයට අයත් බුද්ධ ධර්මය පුහුණු කෙරේ ද ඒ ධර්මයෝ ඒ භික්ඛුව ගේ කනට වැටුණාහු වෙත් ද, සජ්ඣායනා කිරීම් වශයෙන් වචනයෙන් පුරුදු කරන ලද්දාහු වෙත් ද, සිතින් නැවත නැවත සිහි කරන ලද්දාහු වෙත් ද, අර්ථ වශයෙන් කාරණා වශයෙන් නුවණින් මනා කොට තේරුම් ගන්නා ලද්දාහු වෙත් ද, ඒ භික්ෂු තෙමේ සිහි මුළාවෙන් පෘථග්ජන කාලක්‍රියාවෙන් කාලක්‍රියා කෙළේ නම් එක්තරා දේවනිකායක උපදින්නේ ය. එහි සුවපත් වූ ඔහුට තමා අතීත භවයේ පුහුණුකළ ධර්මයෝ වැටහෙත්. මහණෙනි! ඔහුට බුද්ධ ධර්මය මතක් වීමට කල් පසු වේ. මතක් වූ කල්හි ඒ සත්ත්ව තෙමේ වහා (මගපල ලබා) නිවනට යන්නේ වේ ය” යනු එහි තේරුම ය.

ඒ සූත්‍ර‍ පාඨයෙන් දැක්වෙන්නේ මේ කාලයේ දී මිනිස් ලොව බුදු දහම උගෙන භාවනාවෙහි යෙදීම් වශයෙන් ඒ ධර්‍මය අනුව පිළිපදින තැනැත්තා හට ඒ ජාතියේ දී ම නිවන් දක්නට නුපුලුවන් වුවහොත් දෙවන ජාතියේ දෙව් ලොව ඉපද එහි දී පහසුවේන නිවන් දැකිය හැකි වන බව ය. (ඉහත දැක් වූ සූත්‍ර‍ පාඨය අංගුත්තරනිකායේ චතුෂ්ක නිපාතයේ මහා පණ්ණාසකයේ පඤ්චම වර්ගයේ ප්‍ර‍ථම සූත්‍රයෙන් උපුටා ගන්නා ලද්දකි.)

මෙකල බොහෝ දෙනා මේ බුදුසසුනේ දී මගපල ලබා නිවන් දැකීමේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් ම හැර දමා මෛත්‍රෙය බුදුන් ගේ සස්න ගැන බලාපොරොත්තු වෙති. එය ඔවුනට කෙසේ පුරුදු වූවක්දැ යි නො දනිමු. අද අද ම නිවන් දැකීමට උත්සාහ කිරීමට බුදුන් වහන්සේ අනුශාසනය කර ඇති තැන් මිස, මෙතේ බුදුන් ගැන බලාපොරොත්තු වන ලෙස අනුශාසනය කළ තැන් පිටකත්‍රයෙහි දක්නට නැත. අප බුදුරජාණන් වහන්සේ චතුරසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා බොහෝ දුක් ගෙන ලොව්තුරා බුදුබවට පැමිණ වදාළේ උන්වහන්සේ විසින් ම උන්වහන්සේ ගේ සස්නෙහි දී ම නිවන් දැක්වීමට මිස මෛත්‍රෙය බුදුන් වහන්සේ වෙත යැවීමට පිරිසක් සූදානම් කිරීමට නො වන බව ද සැලකිය යුතු ය.

මෙතෙකින් ප්‍ර‍තිලෝම ප්‍ර‍තීත්‍යසමුත්පාද විස්තරය නිමියේ ය.