නිවන් දක්නා පුද්ගලයා

star_outline

නිවන් පසක් කොට සිට පිරිනිවන් පානා පුද්ගලයා පිරිනිවීමෙන් පසු නැවත ච්‍යුතවීමක් නැතිව නිවනෙහි ම වෙසෙන්නේ ද? පිරිනිවීමෙන් පසු පුද්ගලයා නැත්තට ම නැති වන්නේ ද? යන මේ ප්‍ර‍ශ්නය ගැන බුද්ධ කාලයේ දී ම බොහෝ දෙනා කල්පනා කළහ. සාකච්ඡා කළහ. ඇතැම්හු ඒ ගැන බුදුන් වහන්සේ සමග ද සාකච්ඡා කළහ. මෙකල ද ඒ ගැන කල්පනා කරන්නෝ ඇතහ. කථා කරන්නෝ ඇතහ.

පුද්ගල ව්‍යවහාරය කරන්නේ රූප - වේදනා - සඤ්ඤා - සංඛාර - විඤ්ඤාණ යන මේවාට ය. රූපාදිය හැර පුද්ගලයෙක් පිරිනිවන් පෑමෙන් පෙරත් සත්‍ය වශයෙන් නැත්තේ ය. නැත්තා වූ පුද්ගලයා පිරිනිවීමෙන් පසු කොහි ගියේ දැ යි සොයන්නට යාම නිෂ්ඵල ක්‍රියාවෙකි. නිවන පිළිබඳ කථාවට නැත්තා වූ පුද්ගලයකු ඇද දමා ගෙන, සිතීමෙන් - කථා කිරීමෙන් වන්නේ කාරණය අවුල් වීම පමණෙකි. එහෙත් ඒ ගැන සොයන්නවුන් ගේ ප්‍රයෝජනය පිණිස අග්ගිවච්ඡගොත්ත පිරිවැජියාත් බුදුන් වහන්සේත් අතර ඇති වූ සාකච්ඡාවක් මෙහි දක්වනු ලැබේ. ඒ සාකච්ඡාව අග්ගිචච්ඡගොත්ත සුත්ත යන නාමයෙන් මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ දක්නා ලැබේ.

තථාගතයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවෙසෙන අවස්ථාවක අග්ගිවච්ඡගොත්ත පරිව්‍රාජකයා බුදුන් වහන්සේ වෙත එළඹ පිළිසඳර කථා කොට එකත්පසෙක හිඳ, පින්වත් ගෞතමයන් වහන්ස! නුඹ වහන්සේ “ආත්මය ශාශ්වතය - සැබෑව මෙයමය, අන්‍යදෘස්ටි බොරුය” යන මේ දෘෂ්ටිය ඇත්තාහු දැයි විචාළේ ය. වච්ඡය! “මම ඒ දෘෂ්ටිය ඇත්තේ නො වෙමි යි” තථාගතයන් වහන්සේ වදාළ සේක.

ඉක්බිති වච්ඡගොත්ත පිරිවැජියා ආත්මය අශාශ්වතය යන දෘෂ්ටිය ගැන ද, ආත්මය අන්තවත්ය යන දෘෂ්ටිය ගැන ද, ආත්මය අනන්තවත්ය යන දෘෂ්ටිය ගැන ද, ආත්මයත් ශරීරයත් එකය යන දෘෂ්ටිය ගැන ද, ආත්මය අනිකෙක, ශරීරය අනිකෙක යන දෘෂ්ටිය ගැන ද, මරණින් මතු ද සත්ත්වයා ඇතය යන දෘෂ්ටිය ගැන ද, මරණින් මතු සත්ත්වයා නැතය යන දෘෂ්ටිය ගැන ද, මරණින් මතු සත්ත්වයා ඇත්තේ ද වේ ය, නැත්තේ ද වේ ය යන දෘෂ්ටිය ගැන ද, මරණින් මතු සත්ත්වයා නැත්තේ ද නැත, ඇත්තේ ද නැත යන දෘෂ්ටිය ගැන ද පිළිවෙළින් තථාගතයන් වහන්සේගෙන් ප්‍ර‍ශ්න කෙළේය. තථාගතයන් වහන්සේ ඒ එකම දෘෂ්ටියක් වත් තමන් වහන්සේට නැති බව වදාළ සේක.

එකල්හි වච්ඡගොත්ත “පින්වත් ගෞතමයන් වහන්ස! නුඹ වහන්සේ කිනම් වරදක් නිසා ඒ දෘෂ්ටීන්ගෙන් එකකුත් නො ගන්නා සේක් දැ” යි ඇසී ය.

එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක් :- වච්ඡය, “ආත්මය ශාශ්වතය යන මෙය දෘෂ්ටියෙක. දෘෂ්ටි ගහනයෙක. දෘෂ්ටි කාන්තාරයෙක. දිට්ඨි විසූකයෙක. දිට්ඨිවිප්ඵන්දිතයෙක. දිට්ඨි සඤ්ඤෝජනයෙක. දුක් ඇතියෙක. පීඩා ඇතියෙක. උපායාස සහිතයෙක. දාහ සහිතයෙක. සසර කලකිරීම පිණිස නො වන්නෙක. සසරට නො ඇලීම පිණිස නො වන්නෙක. වෘත්තයාගේ නිරෝධය පිණිස නො පවත්නෙක. වෘත්තයාගේ සන්සිඳීම පිණිස නො වන්නෙක. නිවන දැනගැනීම පිණිස නො පවත්නෙක. ක්ලේශ නිද්‍රාවෙන් පිබිදීම පිණිස නො පවත්නෙක. නිර්වාණය පිණිස නො පවත්නෙකැ” යි වදාළ සේක. ආත්මය අශාශ්වතය යනාදි දෘෂ්ටි ගැනත් එසේ ම වදාළ සේක.

එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ පින්වත් ගෞතමයන් වහන්සේට යම්කිසි දෘෂ්ටිගතයක් ඇත්තේ දැයි විචාළේ ය. එකල්හි තථාගතයන් වහන්සේ “වච්ඡය! දෘෂ්ටිගතය යන මෙය තථාගතයන් වහන්සේ විසින් බැහැර කරන ලද්දක. මේ රූපය ය, මේ රූපයා ගේ උත්පත්ති හේතුව ය, මේ රූපයාගේ නිරෝධය ය, මේ වේදනාව ය, මේ වේදනාවගේ උත්පත්ති හේතුව ය, මේ වේදනාවගේ නිරෝධය ය, මේ සංඥාව ය, මේ සංඥාවගේ උත්පත්ති හේතුව ය, මේ සංඥාවගේ නිරෝධය ය, මේවා සංස්කාරයෝ ය, මේ සංස්කාරයන්ගේ උත්පත්ති හේතුව ය, මේ සංස්කාරයන්ගේ නිරෝධය ය, මේ විඤ්ඤාණය ය, මේ විඤ්ඤාණයාගේ උත්පත්ති හේතුව ය, මේ විඤ්ඤාණයාගේ නිරෝධය ය යන මෙය තථාගතයන් වහන්සේ විසින් දක්නා ලද්දේ ය. එබැවින් තථාගතයන් වහන්සේ සකල මඤ්ඤිතයන් සකල අහංකාරමමංකාර මානානුසයන් ක්ෂය වීමෙන් නිරුද්ධ වීමෙන් අත් හැරීමෙන් ඉවත් කිරීමෙන් උපාදානයන් කරණ කොට කිසි සංස්කාරයක් නො ගෙන සියල්ලෙන් මිදුණෝය” යි වදාළ සේක.

එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ “පින්වත් ගෞතමයාණෙනි, එසේ සියල්ලෙන් මිදුණා වූ භික්ෂු තමේ මරණින් මතු කොහි උපදීදැ” යි විචාළේ ය. එකල්හි තථාගතයන් වහ්නසේ “උපදීය යන මෙය ඒ විමුක්ත භික්ෂුව සඳහා නො යෙදෙන්නේය” යි වදාළ සේක. “පින්වත් ගෞතමයාණෙනි! එසේ නම් ඒ භික්ෂුව නූපදින්නේදැ” යි වච්ඡගොත්ත විචාළේ ය. “නූපදීය යන්නත් ඒ භික්ෂුව සඳහා නො යෙදෙන්නේය” යි වදාළ සේක. “එසේ නම් ගෞතමයාණෙනි! උපදින්නේත් නූපදින්නේත් වේ දැ” යි වච්ඡගොත්ත කීයේ ය. “ඒ භික්ෂුව සඳහා උපදින්නේත් නූපදින්නේත් වේ ය” යන කීමත් නො යෙදෙන්නේ ය” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. එසේ නම් “පින්වත් ගෞතමයාණෙනි! ඒ භික්ෂුව නූපදින්නේත් නො වේ. උපදින්නේත් නො වේ දැ” යි විචාළේය. ඒ භික්ෂුව සඳහා “නූපදින්නේත් නො වේ ය, උපදින්නේත් නො වේ ය” යන්නත් නො යෙදෙන්නේ ය යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

එකල්හි වච්ඡගොත්ත පරිව්‍රාජක කියනුයේ “පින්වත් ගෞතමයන් වහන්ස! පළමු කථාව ඇසීමෙන් මාහට නුඹ වහන්සේ ගැන මඳ පැහැදීමක් ඇති වූයේ ය. විමුක්ති පුද්ගලයා ගැන කළ මේ කථාව ඇසීමෙන් මාගේ ඒ පැහැදීමත් නැති වී ගියේ ය” යි කීයේ ය.

එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක්: “වච්ඡය! මාගේ මේ ධර්මය ගැඹුරු ය, දුර්දශය, දුරනුබෝධය, ශාන්තය, ප්‍ර‍ණීතය, අතර්කාවචරය, සූක්‍ෂ්මය, පණ්ඩිත වේදනීයය, අන්‍ය දෘෂ්ටියක් ඇත්තා වූ අන්‍ය ධර්මයක් පිළිගන්නා වූ, අන්‍ය ධර්මයක් කැමති වන්නා වූ, අන්‍ය ධර්මයක යෙදෙන්නා වූ, අන්‍යයකු ගුරු කොට ඇත්තා වූ තට මුළාවීමට මේ ධර්මය ප්‍ර‍මාණවත් ය” යි වදාරා: “වච්ඡය, මම නුඹෙන් ම ප්‍ර‍ශ්න කරමි. නුඹට වැටහෙන සැටියට ඒවාට පිළිතුරු දෙව. ‘ඉදින් තාගේ ඉදිරියෙහි ගින්නක් ඇවිලේ නම්, මා ඉදිරියේ ගින්නක් ඇවිලේය’ යි නුඹ දන්නෙහි දැ” යි ඇසූහ.

“පින්වත් ගෞතමයන් වහන්ස! ඉදින් මා ඉදිරියේ ගින්නක් ඇවිලේ නම්, මා ඉදිරියේ මේ ගින්න ඇවිලේ ය යි දනිමි” යි වච්ඡගොත්ත පිරිවැජි කීය.

“වච්ඡය! තා ඉදිරියේ ඇවිලෙන මේ ගින්න කුමක් නිසා කුමක් ඇසුරු කොට ඇවිලේ දැ යි ඇසුව හොත් එයට නුඹ කෙසේ පිළිතුරු දෙන්නෙහිද?”

“පින්වත් ගෞතමයන් වහන්ස! නුඹ ඉදිරියේ ඇවිලෙන මේ ගින්න කුමක් නිසා කුමක් ඇසුරු කොට දැල්වේදැ යි ඇසුව හොත් ‘දර නිසා දර ඇසුරු කොට මේ ගින්න ඇවිලේය’ යි කියමි.”

“වච්ඡය! ඉදින් තා ඉදිරියේ ඇවිලෙන ගින්න නිවී ගිය හොත් එකල්හි ‘මා ඉදිරියේ ඇවිලුණු ගින්න නිවී ගියේය’ යි නුඹ දන්නෙහිද?”

“පින්වත් ගෞතමයන් වහන්ස! ඉදින් මා ඉදිරියේ ඇවිලුණු ගින්න නිවී ගියේ නම් ‘මා ඉදිරියේ ඇවිලුණු ගින්න නිවී ගියේය’ යි මම දනිමි.”

“වච්ඡය ‘ඉදින් තා ඉදිරියේ ඇවිලී නිවුණා වූ ගින්න කොහි ගියේ ද? පෙර දිගට හෝ ගියේ ද? අවර දිගට හෝ ගියේ ද? උතුරට හෝ ගියේ ද? දකුණට හෝ ගියේදැ’ යි විචාළ හොත් එකල්හි නුඹ කෙසේ පිළිතුරු දෙන්නෙහිද?”

“හිතවත් ගෞතමයන් වහන්ස! එසේ ඇසීම නුසුදුසු ය. පින්වත් ගෞතමයන් වහන්ස! දර නිසා ඇවිලුණු ඒ ගින්න තුබූ දර ඉවර වීමෙන් අලුත් දර නො ලැබීමෙන් ආහාරයක් නැතිව නිවුණේය’ යි ම කිය යුතු වන්නේ ය.”

එකල්හි තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක: වච්ඡය! යම් රූපයක් කරණකොට ගෙන උස් තැනැත්තාය මිටි තැනැන්තාය කුඩා තැනැත්තාය මහත් තැනැත්තාය යනාදීන් සත්ත්වයකු ගැන කථා කෙරෙත් ද ඒ රූපය තථාගතයන් වහන්සේ විසින් ප්‍ර‍හාණය කරන ලද්දේ ය. ඒ රූපයාගේ මුල් සිඳින ලද්දේ ය. ඒ රූපය අග සුන්කළ තල්ගසක් මෙන් කරන ලද්දේ ය. නැවත ඇති නො වන්නක් කරන ලද්දේ ය. මතු නූපදනා ස්වභාවයට පමුණුවන ලද්දේ ය.

වච්ඡය! එබැවින් තථාගත තෙමේ රූපය නිසා කරන ව්‍යවහාරයෙන් මිදුණෙක. මහා සාගරය සේ ගැඹුරු වූවෙක. ප්‍ර‍මාණ කිරීමට දුෂ්කර වූවෙක. බැස ගැනීමට දුෂ්කර වූවෙක. තථාගත තෙමේ මතු උපදී ය යි කීම ද නුසුදුසු ය. නූපදී ය යි කීම ද නුසුදුසු ය. උපදින්නේත් වේ ය, නූපදින්නේත් වේ ය යි කීමට ද නුසුදුසු ය. නූපදින්නේත් නැත, උපදින්නේත් නැත යයි කීමට ද නුසුදුසු ය.

යම් වේදනාවක් කරණ කොට ගෙන සැප විඳින තැනැත්තාය දුක් විඳින තැනැත්තාය කියා සත්ත්ව ව්‍යවහාරය කරනු ලැබේ ද, ඒ වේදනාව තථාගතයන් වහන්සේ විසින් ප්‍ර‍හාණය කරන ලද්දේ ය.

යම් සංඥාවක් කරණ කොට ගෙන සිංහල දත් තැනැත්තාය, දෙමළ දත් තැනැත්තාය, වෙදකම් දත් තැනැත්තාය, නැකැත් දත් තැනැත්තාය යනාදීන් සත්ත්ව ව්‍යවහාරය කෙරේද: ඒ සංඥාව තථාගතයන් වහන්සේ විසින් ප්‍ර‍හාණය කරන ලද්දේ ය.

යම් සංස්කාරයක් නිසා ලෝභියාය, නපුරාය, ඊර්‍ෂ්‍යා කාරයාය, කරුණාවන්තයාය, දෙන තැනැත්තාය, මරන තැනැත්තාය යනාදීන් සත්ත්ව ව්‍යවහාරය කෙරේද: ඒ සංස්කාරයෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍ර‍හාණය කරන ලද්දෝ ය.

යම් විඤ්ඤාණයක් කරණ කොට ගෙන බලන තැනැත්තාය, අසන තැනැත්තාය යනාදීන් සත්ත්ව ව්‍යවහාරය කෙරේද: ඒ විඤ්ඤාණය තථාගතයන් වහන්සේ විසින් ප්‍ර‍හාණය කරන ලද්දේ ය. වච්ඡය! ඒ නිසා තථාගත තෙමේ වේදනාදිය නිසා කරන සත්ත්ව ව්‍යවහාරයෙන් මිදුනෙක. මහා සාගරය සේ ගැඹුරු වූවෙක. ප්‍ර‍මාණ නො කළ හැකි වූවෙක. බැස ගැනීමට දුෂ්කර වූවෙක. ප්‍ර‍මාණ නො කළ හැකි වූවෙක. බැස ගැනීමට දුෂ්කර වූවෙක. එබැවින් තථාගත තෙමේ මතු උපදීය යි කීම ද නුසුදුසු ය. නූපදීය යි කීම ද නුසුදුසු ය. උපදින්නේත් නූපදින්නේත් වේය යි කීම ද නුසුදුසු ය. උපදින්නේත් නැත, නූපදින්නේත් නැතය යි කීම ද නුසුදුසු ය.

බුදුන් වහන්සේ විසින් මෙසේ වදාළ කල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ පැහැදී: පින්වත් ගෞතමයන් වහන්ස! නුඹ වහන්සේ ගේ ධර්මය අතුපතර නැති ව, පොතු නැති ව, ඵලය නැති ව, ශුද්ධ සාරයෙහි ම පිහිටියක. පින්වත් ගෞතමයන් වහන්ස! නුඹ වහන්සේ ගේ ධර්මය ඉතා හොඳ ය. ඉතා හොඳ ය. “අද පටන් මා නුඹ වහන්සේ සරණගිය උපාසකයෙකැ යි දැන ගනු මැනැව” යි සැල කෙළේ ය.