දෘෂ්ටි විශුද්ධි කාංක්ෂාවිතරණ විශුද්ධීන් සම්පාදනය කැරගත් පසු ක්‍රමය නො වරදවා ඉදිරියට විදර්ශනා කැර ගෙන ගියහොත් විදර්ශනා ඥානය මෝරන කල්හි යෝගාවචරයා හට පෙර කිසි කලෙක නුදුටු පුදුම ආලෝකයක් සමහර විට දක්නට ලැබේ. සමහර විට පෙර කිසි කලෙක සන්තානයෙහි ඇති නුවූ අතිප්‍රණීත ප්‍රීති ආදි පුදුම ධර්ම ඔහු ගේ සන්තානයෙහි පහළ වේ.
නුවණ ඇති නුවුව හොත් ඒ අවස්ථාවේ දී යෝගාවචරයා - “මම ලෝක්කෝත්තර ධර්ම ලැබුවෙමි” යි සමහරවිට රැවටෙන්නේය. රැවටුණහොත් ඔහුට ලෝකෝත්තර මාර්ගයට පැමිණෙන්නට නො ලැබෙන්නේ ය. එසේ නො රැවටීම සඳහා ඇති කර ගත යුතු වූ මාර්ගය මේ ය, අමාර්ගය මේ ය යි දත හැක්කා වූ ඥානය “මාර්ගාමාර්ගඥාන දර්ශන විශුද්ධිය” නමි. මෙහි මාර්ගය යි කියනු ලබනුයේ නිවැරදි භාවනා ක්‍රමයටත් ඥානදර්ශන විශුද්ධි නම් වූ ලෝකෝත්තර මාර්ගයටත් ය. අමාර්ගය යි කියනු ලබනුයේ වැරදි භාවනා ක්‍රමයට හා අධිමාන වස්තූන්ටය. මාර්ගයට ඵලයට නො පැමිණ පැමිණියෙමි ය යන වැරදි හැඟීමට හේතු වන ආලෝකාදීහු අධිමාන වස්තූහු ය. මේ මාර්ගමාර්ග දෙක පිරිසිඳ දැන ගන්නා ඥානය අමාර්ගය ම මාර්ගය ය කියා ඇතිවන සම්මෝහයෙන් ද,උපක්ලේශයන් ගැන ඇති වන ලෝහයෙන් ද, යෝගාවචරයා පිරිසිදු කරන බැවින් මාර්ගාමාර්ගඥාන දර්ශන විශුද්ධිය යි කියනු ලබන බව දත යුතුය.
කාංක්ෂාවිතරණ විශුද්ධිය සම්පාදනය කැරගත් යෝගාවචරයා විසින් ඒ සඳහා කරමින් ආ භාවනාව නවත්වා මෙතැන් පටන් මාර්ගාමාර්ගඥාන දර්ශන විශුද්ධිය සඳහා කළ යුතු භාවනාව කරන්නට පටන් ගත යුතුය. ඒ සඳහා කළ යුත්තේ ත්‍රිලක්ෂණ භාවනාව ය.
පෙර කී නාම රූප ධර්ම සියල්ල එක් කොට කථා කරන කල්හි ඒ සියල්ලට ම කියන නාමය “සංස්කාර” යනුයි. අවිජ්ජා පච්චයා සංඛාරා යන තන්හි “සංස්කාර” යි කියනුයේ පින් පව් වලටය. පින්-පව් වලට කියන සංස්කාර යන නාමයත්, නාම රූපයන් සියල්ලට ම කියන සංස්කාර යන නාමයත් අවුල් නො කර ගෙන අර්ථ දෙකක් දෙන වචන දෙකක් හැටියට තේරුම් ගත යුතුය. පටිච්චසමුප්පාද කථාව හැර අන් තැනක මේ භාවනා කථාවෙහි සංස්කාර ය යි කියැවුණ හොත්, ඒ සෑම තැනදී ම එයින් කියැවෙන්නේ නාම-රූප ධර්ම සමූහය බව දත යුතුය. නාම රූප ධර්ම සමූහය කියැවෙන සංස්කාර යන වචනයේ තේරුම හේතුවෙන් හට ගන්නා දෙය ය යනුයි.
පටිච්චසමුප්පාද කථාවට අයත් “සංස්කාර” යන්නෙහි තේරුම විපාකය ඇති කරන දෙය ය යනුයි. පඨවි - ආපෝ - තේජෝ - වායෝ - චිත්ත - එස්ස - වේදනාදි වශයෙන් සංස්කාරයන්ට අයත් ධර්ම බොහෝ ගණනෙකි. ඒ සියල්ලට ම ඒවා හැඳින ගැනීමට උපකාර වන ලක්ෂණ (ලකුණු) ද වෙන් වෙන් වශයෙන් ඇත්තේය. වෙනසක් නැතිව ඒ සියල්ලට ම සාධාරණ වූ ලක්ෂණ තුනෙක් ද ඇත්තේය. ත්‍රි ලක්ෂණය යි කියනුයේ සර්වසංස්කාරයනට ම අයත් වූ ඒ ලක්ෂණ තුනටය. එනම් අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය යන මේ තුනය. අනිත්‍ය ලක්ෂණය ඇති බැවින් සංස්කාරයෝ අනිත්‍ය නම් වෙති. දුඃඛ ලක්ෂණය ඇති බැවින් දුඃඛ නම් වෙති. අනාත්ම ලක්ෂණය ඇති බැවින් අනාත්ම නම් වෙති. අනිත්‍ය ලක්ෂණය, අනිත්‍යය, දුඃඛ ලක්ෂණය, දුඃඛය, අනාත්ම ලක්ෂණය, අනාත්මය යන මේ කරුණු සය වෙන් වශයෙන් තේරුම් ගත යුතුය. ලක්ෂණ හා ලක්ෂණ ඇති ධර්මය, එකක් කොට ගෙන අවුල් නො කර ගත යුතුයි.
අනිත්‍ය, දුඃඛය, අනාත්මය යන මේ වචන නිතර අසා පුරුදු බැවින් අනිත්‍යාදි ලක්ෂණත්‍රය නො ගැඹුරු දෙයක් සේ වැටහිය හැකිය. එය නො ගැඹුරු දෙයක් නොව ගැඹුරු දෙයකි. ජීවත්වන සත්ත්වයන් කවරදා නමුත් මැරෙන බවත් අන්‍ය වස්තූන් ද කවරදා හෝ විනාශ වන බවත් සැම දෙනම දනිති. කා හටත් ඇති ඒ අනිත්‍යතා දර්ශනය විදර්ශනා භාවනාවට ප්‍රමාණ වන අනිත්‍යතා දර්ශනයෙක් නොවේ. ඒ දැනුම මාර්ගයට ඵලයට පැමිණීමට ප්‍රමාණ වන දැනුමක් නොවේ. මාර්ග ඵල ප්‍රතිලාභය සඳහා යෝගාවචරයකු විසින් දැන ගත යුතු සොයා ගත යුතු භාවනා කළ යුතු අනිත්‍ය ලක්ෂණය, එයට වඩා බොහෝ සියුම් වූ ද, ගැඹුරු වූ ද දෙයකි. සාගින්න පිපාසය හිසරදය කන් කැක්කුම බඩේ කැක්කුම යනාදිය දුක් බව හැම දෙනම දනිති. දුක් පිළිබඳ වූ ඒ දැනීම විදර්ශනාවට ප්‍රමාණ වන්නේ නොවේ. විදර්ශනා කරන යෝගාවචරයා විසින් සොයා ගත යුතු සංස්කාරයන්ගේ දුඃඛ තත්ත්වය එයට වඩා සියුම් ද ගැඹුරු වූ ද දෙයකි.
සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්ෂණ තුන පහසුවෙන් නො පෙනෙන දෙයක් ගැඹුරු දෙයක් වී තිබෙන්නේ එය සමූහ, සංස්ථාන, සන්තති, ප්‍රඥප්තීන් ගෙන් වැසී තිබෙන බැවිනි. අනිත්‍යාදි ලක්ෂණත්‍රය නුවණට හසු කර ගත හැකි වන්නේ, අවබෝධ කර ගත හැකි වනුයේ, සමූහාදි ප්‍රඥප්ති තුන නුවණින් බිඳ පියා ශුද්ධ පරමාර්ථය සොයාගත් කල්හිය. එය නො සොයා ගෙන ප්‍රඥප්ති විෂයෙහි සෙවීමට ගියාට අනිච්ඡාදි ලක්ෂණත්‍රය නො දැකිය හැකිය.