උදයව්‍යය දර්ශන සංඛ්‍යාත තරුණ විදර්ශනාඥානය ලද යෝගාවචරයා විසින් නැවත නැවතත් සංස්කාරයන්ගේ උදයව්‍යය දෙස බැලීමෙන් ඒ ළපටි විදර්ශනා ඥානය මේරැවිය යුතුය. එය මෝරත් ම යෝගාවචරයා හට ඕභාසාදී විදර්ශනෝපක්ලේශයෝ පහළ වන්නාහ. තමාගේ විදර්ශනා කර්මය දියුණු වී ද?, නො වී ද? යන බව දැන ගැනීමට ඇති ලකුණු විදර්ශනෝපක්ලේශයෝය. ඔහු මාර්ග ඵලයට පැමිණ සිටින ආර්‍ය්‍යයනට ද, වරදවා පිළිපන් යෝගාවචරයනට ද, කර්මස්ථානය හැර වෙසෙන අලස පුද්ගලයනට ද පහළ නොවෙති. මනාව පිළිපන් යෝගාවචරයකු වුවහොත් ඔහුට විදර්ශනෝපක්ලේශයෝ පහළ වන්නාහු ම ය.
“ඕභාසො පීති පස්සද්ධි අධිමොක්ඛො ච පග්ගහො
සුඛං ඤාණමුපට්ඨානං උපෙක්ඛා ච නිකන්ති ච”
යනුවෙන් දැක්වෙන පරිදි ඕභාසය, ප්‍රීතිය, ප්‍රශ්‍රබිධිය, අධිමෝක්ෂය, ප්‍රග්‍රහය, සුඛය, ඥානය, ස්මෘතිය, උපේක්ෂාව ය, නිකාන්ති ය යි විදර්ශනෝපක්ලේශ දශයෙකි.
ඕභාසය යනු විදර්ශනා චිත්තයෙන් ම හට ගන්නා වූ එක්තරා සූක්ෂ්මාලෝකයෙකි. එය උපන් කල්හි සමහර යෝගාවචරයෝ පෙර නුවූ මෙබඳු ආලෝකයක් ඇති වූයේ මාර්ගඵල ලැබීමෙනැ යි සිතා මුළා වෙති. එයට උපක්ලේශ ය යි කියනුයේ එහෙයිනි. රැවටුණු යෝගාවචර තෙමේ ආලෝකය, මාර්ග ඵලය සැටියට හෝ ආලෝකයට හේතු වූ විදර්ශනා චිත්තය ම මාර්ගයය ඵලයය කියා හෝ වරදවා අමාර්ගය මාර්ගය ලෙස ද, අඵලය ඵලය ලෙස ද ගෙන විදර්ශනා භාවනා මාර්ගයෙන් නො මඟට බසී. හෙතෙමේ තමාගේ කර්මස්ථානය මෙනෙහි නො කොට කර්මස්ථානය අත හැර දමා තමා ලත් ආලෝකය ම මෙනෙහි කරමින් එය ගැන සතුටු වෙමින් වාසය කරයි. කර්මස්ථානය හැර වෙසෙන ඔහුට කල් යාමෙන් ආලෝකයත් තමා කලක් වෙහෙසී ලබා ගත් ආලෝකයට හේතු වූ සුපරිසුද්ධ උදයව්‍යය ඥානයත් යන දෙක ම නැති වේ.
ශමථ භාවනාවෙහි යෙදෙන්නවුන් හට ද සමහර විට ආලෝකයක් පහළ වේ. එය කියන ලද විදර්ශනාලෝකයෙන් අන්‍යාලෝකයෙකි. එය ශමථ භාවනාවෙහි යෙදෙන බොහෝ දෙනාට ලැබෙන සුලභ දෙයකි. මේ විදර්ශනා ආලෝකය ලැබූ යෝගාවචරයාට ම මිස අනෙකකුට පෙනෙන්නේ නොවේ. එය උපදින්නේ ද ඒ ඒ පුද්ගලයනට නොයෙක් අයුරිනි. කෙනකුට තමන් වාඩි වී සිටි තැන පමණක් ආලෝක කෙරෙමින් එය පහළ වේ. කෙනෙකුට තමන් වෙසෙන මුළුගෙය ම ආලෝක කෙරෙමින් පහළ වේ. කෙනකුට ගෙයින් පිටත ගව්ව, දෙගව්ව, තුන් ගව්ව, යොදුන, දෙ යොදුන යනාදි වශයෙන් ආලෝක කෙරෙමින් පහළ වේ. සමහරුනට පොළොවෙහි පටන් බඹ ලොව දක්වා ආලෝක කෙරෙමින් එය පහළ වේ. බුදුන් වහන්සේට දස දහසක් සක්වල ම ආලෝක කෙරෙමින් පහළ වූයේ ය යි කියා තිබේ. ආලෝකයේ වෙනසක් දැක්වීම පිණිස පූර්වාචාර්යවරයන් දක්වන කථාවක් මෙසේ ය.
සිතුල් පව්වෙහි දෙබිත්ති ගෙයක යෝගාවචර තෙරුන් වහන්සේ දෙ නමක් වැඩහුන්හ. එ දවස අහස වැසි කළුයෙන් වැසුණු මහ අඳුරු මාසේ පෝය දවසෙකි. මධ්‍යම රාත්‍රියෙහි එක් තෙර කෙනෙක් අනෙක් තෙරුන් වහන්සේ අමතා, ස්වාමීනි! මට දැන් සෑ මළුවේ මලසුන්හි පුදා තිබෙන මල් මෙතැනට ම, පෙන්නේ ය යි කීහ. අනෙක් තෙරුන් වහන්සේ කියන සේක්, ඇවැත්නි! ඔය පෙනුම කිනම් ආශ්චර්‍ය්‍යයක් ද? මට මෙතනට මහ සයුරේ යොදුනක් පමණ තැන හැසිරෙන මත්ස්‍යයන් ද පෙනෙතැයි කී සේක.
විදර්ශනාලෝකයෙන් පෙනෙන මේ පෙනුම පියවි ඇසට පෙනෙන පෙනුමක් නොව, දිවැසට මෙන් සිතට ම පෙනෙන පෙනුමකි. සමහර යෝගාවචරයනට තමන් වෙසෙන තැන ආලෝකවත් වී පියවි ඇසට සමීපයෙහි ඇති දෑ පෙනේ. එහෙත් ඒ ආලෝකය ඒ යෝගාවචරයාට ම මිස අනෙකකුට නො පෙනේ.
විදර්ශනෝපක්ලේශයෝ බොහෝ සෙයින් සමථ විදර්ශනා දෙක ම ලබා සිටින යෝගාවචරයනට පහළ වෙති. ලක්දිව තරංගලවාසී ධම්මදින්න නම් වූ පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේ කෙනෙක් පෙර විසූහ. උන් වහන්සේ බොහෝ භික්ෂූන්ට අවවාද අනුශාසනා කරන සේක. එක් දවසක් උන් වහන්සේ තමන් වහන්සේ ගේ ආචාර්‍ය්‍යවරයාණන් වූ උච්චාවාලිකවාසී මහානාග ස්ථවිරයන් වහන්සේ ගැන බලන්නාහු උන්වහන්සේ රහත් නොවීම රහත් වූවෙම් ය යි මුළා වී වෙසෙනු දැක, “මා නොගිය හොත් මාගේ ආචාර්‍ය්‍යයන් වහන්සේ පෘථග්ජන කාලක්‍රියාවෙන් ම කාලක්‍රියා කරන සේකැ” යි දැන ආචාර්‍ය්‍යවරයා දිවා ස්ථානයෙහි වෙසෙන කල්හි සෘධියෙන් අහසට නැග, එහි ගොස් බැස ආචාර්‍ය්‍යයන් වහන්සේ වැඳ එකත් පසෙක වැඩ හුන් සේක. එ කල්හි ආචාර්‍ය්‍යයන් වහන්සේ “ධම්මදින්න! මේ අවේලාවේ කුමට අවුදැ” යි විචාළ සේක. එකල්හි “ස්වාමීනි! ප්‍රශ්නයක් ඇසීමට ආවෙමි” යි ධම්මදින්න තෙරුන් වහන්සේ කී සේක. මහා නාග තෙරුන් වහන්සේ “ඇවැත්නි! අසව්, දත් දෙයක් නම් කියන්නෙමි” යි කී සේක.
ධම්මදින්න තෙරහු ප්‍රශ්න දහසක් ඇසූහ. තෙරුන් වහන්සේ කිසිදු පැකිළීමක් නැතිව ඇසූ ඇසූ සකල ප්‍රශ්නයක් ම විසඳු සේක. “ස්වාමීනි! නුඹ වහන්සේගේ නුවණ ඉතා ම නියුණු ය. නුඹ වහන්සේගේ මේ ධර්මය කවරදා අධිගමනය කළ සේක්” දැයි විචාළහ. “ඇවැත්නි, සැට වසකට පෙර දී ය”යි මහ තෙරුන් වහන්සේ කී සේක. “ස්වාමීනි! නුඹ වහන්සේ සමාධියක් පරිහරණය කළ සේක් දැයි” විචාළ හ. මහ තෙරුන් වහන්සේ “එය බර වැඩක් නොවන්නේ ය” යි කීහ. එසේ නම් “ඇතකු මවනු මැනව" යි කීහ. මහ තෙරුන් වහන්සේ කියනු සමග ම සුදු ඇතකු මැවූහ. “ස්වාමීනි! දැන් මේ ඇතා කර ඔසවා නඟුට ඔසවා සොඬ මුව තුළ බහා භයානක ලෙස නාද කරමින් නුඹ වහන්සේ ඉදිරියට දුව එන සේ කරනු මැනව”යි කීහ.
මහ තෙරුන් වහන්සේ එසේ කොට මහ හඬින් ගුගුරමින් තමන් ඉදිරියට එන ඇතුගේ විලාසය දැක බිය වී නැඟී පැන යන්නට තැත් කළ සේක. එකල්හි රහත් තෙරුන් වහන්සේ අත දිගු කොට මහ තෙරුන් වහන්සේ ගේ සිවුරු කොනින් අල්වා “ස්වාමීනි! රහතුනට බියකුත් ඇත්දැයි විචාළහ. එ කල්හි මහ තෙරුන් වහන්සේ තමන් රහත් නො වන බව දැන “ඇවැත්ති ධම්මදින්න! මට පිහිට වෙව” ය කියමින් ධම්මදින්න තෙරුන් වහන්සේගේ පා මුල උක්කුටිකයෙන් හිඳ ගත්හ. මහ තෙරුන් වහන්සේට ධ්‍යාන සමාපත්ති බලයෙන් එතෙක් කෙලෙස් යටපත් වී තිබුණ බැවින් කෙලෙසුන් ඇති බවක් නො දැනිණ. බියත් ක්ලේශයක් ම බැවින් බිය ඇති වූ කල්හි තමන්ගේ ක්ලේශ අප්‍රහීණ බව උන් වහන්සේ ට දැනිණ.
බිය නම් ද්වේශයේ ම ආකාර විශේෂයකි. එය ක්ලේශයෙකැයි කියන ලදුයේ එහෙයිනි. ද්වේෂය ප්‍රහීණ බැවින් රහතුන්ට කිසිවක් ගැන බියක් ඇති නොවේ. ධම්මදින්න තෙරුන් වහන්සේ “ස්වාමීනි, මා පැමිණියේ නුඹ වහන්සේට පිහිටවනු පිණිස ම ය. නුඹ වහන්සේ කණගාටු නොවනු මැනවැ”යි කියා කර්මස්ථානයක් කී සේක. මහ තෙරුන් වහන්සේ ද කමටහන් ගෙන සක්මනට නැඟ තුන් වන පියෙහි ම සව් කෙලෙසුන් නසා රහත් වූ සේක. මෙබඳු යෝගාවචරයෝ ආලෝකයට රැවටුණු අය ය.
ප්‍රීතිය යනු බුද්දකා පීති, ඛණිකා පීති, ඔක්කන්තිකා පීති, උබ්බේගා පීති, ඵරණා පීති යනුවෙන් දැක්වෙන පඤ්චප්‍රකාර ප්‍රීතිය ය. ඒ අවස්ථාවෙහි යෝගාවචරයාට පෙර කිසි කලෙක නොවූ විරූ අන්දමට ඒ ප්‍රීතිය සිත කය දෙක ම පිනවමින් පහළ වේ.
ප්‍රශ්‍රබ්ධිය යනු කාය චිත්ත දෙක සන්සිඳවන හෙවත් ශාන්ත ශීතල ස්වභාවයට පමුණුවන විදර්ශනා චිත්ත සම්පයුත්ත ප්‍රශ්‍රබ්ධිය යි. එය ඇති වූ කල්හි රාත්‍රිස්ථානයෙහි හෝ දිවාස්ථානයෙහි හෝ හිඳිනා යෝගාවචරයා ගේ කාය චිත්තද්වයෙහි දාහයක් - බර බවක් - කර්කශ බවක් - අකර්මණ්‍ය බවක් - ගිලන් බවක් නො පෙනේ. එ කල්හි යෝගාවචරයාගේ සිත කය දෙක කාය චිත්ත දෙදෙනාගේ නො සන්සුන් බව සිදු කරන ඖද්ධත්‍යාදීන්ගේ දූරී භාවයෙන් සන්සිඳෙන්නේය. බර බවක් ඇති කරන ථීන මිද්ධ්‍යාදීන් ගේ දූරී භාවයෙන් සැහැල්ලු වන්නේ ය. කර්කශ බවට පමුණුවන දෘෂ්ටි මානාදීන් ගේ දූරී භාවයෙන් මෘදු වන්නේය. අකර්මණ්‍ය බව කරන ශේෂ නීවරණයන්ගේ දූරී භාවයෙන් කර්මණ්‍ය වන්නේය. ගිලන් බව ඇති කරන අශ්‍රද්ධාදීන්ගේ දූරී භාවයෙන් නො ගිලන් වන්නේය. වංක බව ඇති කරන මායා සාඨෙය්‍යාදීන් ගේ දූරී භාවයෙන් සෘජු වන්නේය. ඔහුට කිසියම් අපහසුවක් නැති ව රිසිසේ විදර්ශනා කළ හැකි වන්නේය.
අධිමෝක්ෂය යනු විදර්ශනා චිත්ත සම්ප්‍රයුක්ත බලවත් ශ්‍රද්ධාව ය. එය කර්ම, කර්ම ඵල හෝ බුද්ධාදි රත්නත්‍රය හෝ අරමුණු කොට පවත්නා ශ්‍රද්ධාවක් නොව ත්‍රෛභූමක සංස්කාරයන් අරමුණු කරන විදර්ශනා චිත්තයේ ම ප්‍රසන්නතාවය ය.
ප්‍රග්‍රහය යනු විදර්ශනා චිත්ත සම්ප්‍රයුක්ත වීර්‍ය්‍යය ය. මේ අවස්ථාවෙහි යෝගාවචරයා හට පෙර කරන ලද භාවනා බලයෙන් සිද්ධ, අශිථිල වූ ද අනත්‍යාරබ්ධ වූ ද විදර්ශනා චිත්ත සම්ප්‍රයුක්ත විශේෂ වීර්‍ය්‍යයක් ඇති වේ.
සුඛය යනු විදර්ශනා චිත්ත සම්ප්‍රයුක්ත සෝමනස්ස වේදනාව ම ය. ඒ අවස්ථාවෙහි යෝගාවචරයා හට පෙර කිසි කලෙක නො වූ විරූ අන්දමේ අති ප්‍රණීත සුඛයෙක් සකල ශරීරයෙහි ම ගලා යන්නාක් මෙන් උපදී.
ඥානය යනු විදර්ශනා ඥානය ම ය. මේ අවස්ථාවෙහි යෝගාවචරයා හට සියුම් වූ ද රූපාරූප ධර්මයන් ඇසින් දක්නාක් මෙන් දැකිය හැකි හෙයින් අති පරිශුද්ධ වු ද වජ්‍රායුධය සේ රූපාරූප ධර්මයන් අතරට නො පැකිළ යන්නා වූ ද අධික වේගය ඇත්තා වූ ද ඥානයක් පහළ වේ.
(උපට්ඨාන) ස්මෘතිය යනු විදර්ශනා චිත්ත සම්ප්‍රයුක්ත, ස්මෘතිය ම ය. එකල්හි යෝගාවචරයා හට සංස්කාරයන්ගේ ස්වභාවය මනාකොට ගත හැකි වීමෙන් ආරම්මණයෙහි මනාකොට පිහිටියා වූ ද ප්‍රතිපක්ෂ ධර්මයන් පහවූයෙන් පර්වතයක් සේ අචල වූ ද ස්මෘතියක් (සිහියක්) ඇති වේ. යෝගාවචරයා යම් යම් සංස්කාරයන් මෙනෙහි කෙරේ ද, ඒ සියල්ල ම මේ ස්මෘතියේ ම බලයෙන් ඔහුට මනාකොට වැටහෙන්නේ ය.
උපේක්ෂාව යනු විදර්ශනෝපේක්ෂාව හා ආවර්ජනෝපේක්ෂාව ය. එහි විදර්ශනෝපේක්ෂාව යනු සංස්කාරයන්ගේ ස්වභාවය බොහෝ සොයා බැලූ බැවින් එය පිළිබඳ ඇති වන මධ්‍යස්ථතාවය යි. ආවර්ජනය කිරීමට උවමනා සංස්කාරයන් ලෙහෙසියෙන් ම වැටහෙන බැවින් මෙනෙහි කිරීම සම්බන්ධ වූ මධ්‍යස්ථතාව ආවර්ජනෝපේක්ෂාව ය. මේ දෙක මේ අවස්ථාවේ යෝගාවචරයාට බලවත් ව පහළ වේ.
නිකාන්තිය යනු විදර්ශනා පිළිබඳ වූ ම තෘෂ්ණාව ය. මේ අවස්ථාවේදී යෝගාවචරයා හට ආලෝකාදියෙන් යුක්ත වූ ස්වකීය විදර්ශනාවට ඇලුම් කරන සූක්ෂ්ම වූ ශාන්ත වූ තෘෂ්ණාවක් උපදින්නේ ය. එය ක්ලේශයක් බව දත නොහෙන තරමට ශාන්ත ය. සූක්ෂ්ම ය.
මේ දශ වැදෑරුම් උපක්ලේශයන් අතුරින් ඉතා ම ප්‍රකට උප ක්ලේශය ආලෝකය ය. අලෝකය පහළ වනු සමඟ ම නිකාන්තිය හැර ඉතිරි උපක්ලේශ අට ද පහළ වේ. නිකාන්තිය පමණක් පසු ව පහළ වන්නකි. එකවර පහළ වුවත් ඒවා යෝගාවචරයාට මෙනෙහි කළ හැකි වන්නේ එකිනෙක වෙන වෙන ම ය. ආලෝකය ගැන මුළා වන්නාක් මෙන් ම අව්‍යක්ත යෝගාවචරයෝ ප්‍රීති ආදිය ගැන ද වෙන වෙනම සිතා, මෙයින් පෙර මට මෙබඳු ප්‍රීතියක් ප්‍රශ්‍රබ්ධියක් මෙබඳු අධිමෝක්ෂයක් මෙ බඳු වීර්යයයක් - මෙබඳු සැපයක් - මෙබඳු ඥානයක් - මෙබඳු සිහියක් - මෙබඳු උපේක්ෂවක් - විදර්ශනාව ගැන මෙබඳු ඇල්මක් කිසි කලෙක නුවූයේ ය. මේ විශේෂය සිදු වූයේ මාර්ගයට ඵලයට පැමිණීමෙනැයි තමන් සෝවාන් නොවී ම “මම සෝවාන් වූයෙමි” යි කියා හෝ රහත් නොවීම “රහත් වූයෙමි” යි කියා හෝ අමාර්ගය ම මාර්ගය කොට ද අඵලය ම ඵලය කොට ද ගෙන විදර්ශනා මාර්ගයෙන් බැහැර වන්නාහ.
මේ දශ ප්‍රකාර උපක්ලේශයන් අතුරෙන් ඕභාසාදි නවය උපක්ලේශ වනුයේ අකුශල නිසා නොව උපක්ලේශයනට වස්තු වන නිසා ය. නිකාන්තිය පමණක් උපක්ලේශයනට වස්තුවක් ද වේ. තෙමේ ම උපක්ලේශයක් ද වේ. වස්තු වශයෙන් උපලේශයෝ දශ දෙනෙකි. ඒ එක් එක් වස්තුවක් නිසා හට ගන්නා වූ දෘෂ්ටි මාන තෘෂ්ණාවන්ගේ වශයෙන් උපක්ලේශයෝ තිස් දෙනෙක් වෙති. මා හට ආලෝකයක් උපනැ යි සත්කාය දෘෂ්ටිය ඇති වේ. හොඳ ආලෝකයක් ඇති වී යයි මානය ඇති වේ. ආලෝකයට ඇලුම් කිරීම් වශයෙන් තෘෂ්ණාව උපදී. ප්‍රීති ආදිය පිළිබඳව ද දෘෂ්ට්‍යාදිය උපදනා සැටි මෙසේ දත යුතුය. ඒ සමතිසක් වූ උපක්ලේශයන් ගේ වශයෙන් නො වියත් යෝගාවචරයා වරදවා ගන්නේ ය.
ආලෝකාදිය පහළ වූ කල්හි යෝගාවචරයා විසින් වික්ෂිප්ත නොවී ඒවායේ ද අනිත්‍යාදි ලක්ෂණ මෙනෙහි කළ යුතු ය. එසේ කරන යෝගාවචරයා උපක්ලේශයන් ගෙන් ජය ගන්නේ ය. එසේ කොට සමතිස් වැදෑරුම් උපක්ලේශ අවුල සිඳ බිඳ දමා මේ ආලෝකාදිය මාර්ගය නොවේ ය, උපක්ලේශයන් ගෙන් මිදුණා වූ විදර්ශනා ඥානය ම මාර්ගය යයි ගත යුතු ය. එසේ මාර්ගා’මාර්ග දෙක පිරිසිඳ දැන ගන්නා වූ යෝගාවචරයාගේ ඒ මාර්ගා’මාර්ග පිරිසිඳ දැන ගන්නා නුවණ මාර්ගා’මාර්ග ඥාන දර්ශන විශුද්ධිය නම් වන්නේය.
මෙතෙකින් යෝගාවචරයා විසින් දෘෂ්ටිවිශුද්ධිය පිණිස නාමරූපයන් සොයා ගැනීමෙන් දුඃඛ සත්‍යය සොයා ගන්නා ලද්දේ වේ. කාංක්ෂාවිතරණ විශුද්ධිය පිණිස නාමරූපයන් ගේ ප්‍රත්‍යයන් සොයා ගැනීමෙන් සමුදය සත්‍යය සොයා ගන්නා ලද්දේ වේ. අභිධර්ම ක්‍රමයෙන් සකල ක්ලේශයෝ ද කර්මයෝ ද සමුදය සත්‍යය ම ය. මේ මාර්ගාමාර්ගඥාන දර්ශන විශුද්ධියෙන් මැනවින් මාර්ගය තේරුම් ගැනීමෙන් මාර්ග සත්‍යය ද සොයා ගන්නා ලද්දේ වේ. මෙසේ දැන් යෝගාවචරයා විසින් ලෞකික ඥානයෙන් සත්‍යත්‍රයක් දැන ගන්නා ලද්දේ ය.
මාර්ගාමාර්ග ඥානදර්ශන විශුද්ධිවිස්තරය නිමියේ ය.