මෙහි දැක් වූ පරිදි රූප සප්තක අරූප සප්තක විදර්ශනාව ද මැනවින් කරන ලද නම්, දැන් යෝගාවචරයා හට දශවිධ විදර්ශනා ඥානයන් ගෙන් පළමු වැන්න වූ සම්ර්ශනඥානය සම්පූර්ණ වී ඇත. සම්මර්ශනඥානය යනු සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන් දක්නා ඥානය යි. එය ලැබූ යෝගාවචරයා විසින් මතු කළ යුත්තේ, ත්‍රිලක්ෂණ සම්මර්ශනය (ත්‍රිලක්ෂණ භාවනාව) නවත්වා, උදයව්‍යය ඥානය ලැබීම පිණිස පිළිපැදීම ය. සංස්කාරයන් ගේ ඉපදීමට උදය යයි කියනු ලැබේ. නැති වීමට අතුරුදහන් වීමට ව්‍යය ය යි කියනු ලැබේ. ඒ ඉපැදීම් අතුරුදහන් වීම් දෙක දක්නා ඥානයට උදයව්‍යය ඥානය යි කියනු ලැබේ. “මෙසේ සංස්කාරයෝ උපදිත් ය, මෙසේ බිඳෙත් ය, මේ මේ හේතුන් නිසා උපදිත් ය. මේ මේ හේතුන් නිසා බිඳෙත් ය” යි පොත්පත් වල දැක්වෙන වගන්ති තමන්ගේ සිතට ආරූඪ කැරගත් පමණින් හෝ කියන්නට දත් පමණින් හෝ උදයව්‍යය ඥානය ඇති වූයේ නොවේ.
ඔබ ගිනි පෙට්ටියක් ගෙන අඳුරු කාමරයකට පිවිස ගිනිකූරක් ගැසුව හොත්, කාමරය පුරා ආලෝකස්කන්ධයක් පහළ වන බවත්, ගිනිකූර නිවී ගිය පසු එය අතුරුදහන් වන බවත්, එහි නැවත අන්ධකාරස්කන්ධයක් පහළ වන බවත්, නැවත ගිනි කූරක් ගැසුව හොත් නැවතත් ගෙය පුරා ආලෝක ස්කන්ධයක් පහළ වන බවත්, ගිනි කූර නිවුන කල්හි ආලෝකස්කන්ධය නිරුද්ධ වන බවත්, අන්ධකාරස්කන්ධයක් පහළ වන බවත්, ඔබට පෙනෙනු ඇත. පසු දිනෙක ඔබ විසින් දක්නා ලද ඒ ආලෝකස්කන්ධ අන්ධකාරස්කන්ධයන්ගේ ඉපැදීම්, අතුරුදහන් වීම්, දෙක ගැන සිතන්නෙහි නම්, ඒ ආලෝක අන්ධකාරයන් ගේ ඉපැදීම් සිඳීම් දෙක අනුන්ගෙන් අසා දක්නා ලද්දක් සේ නොව, අනුමානයෙන් සිතන දෙයක් මෙන් නොව, කිසිදු සැකයක් නැති ව සිතාගත හැකි වනු ඇත. සිතන්නා වූ ඔබට ඒ ආලෝකස්කන්ධ අන්ධකාරස්කන්ධ යන්ගේ ඉපැදීම් බිඳීම් දෙක පෙනෙන සේ, ඔබගේ සන්තානයට අයත් වූ ද, අන්‍යන්ගේ සන්තානයට අයත් වූ ද, සත්ත්ව සන්තානයෙන් පිටත් වූ ද සංස්කාරයන් ගේ ඉපැදීම් බිඳීම් දෙක පෙනෙන සේ සිතිය හැකි වී නම්, දත හැකි වී නම් එ කල්හි තමා කෙරෙහි උදයව්‍යය ඥානය ඇති වූ බව දත යුතුය.
යෝගාවචරයන් විසින් එ බඳු සුවිසද දැනුමක් ඇති වන තුරු සංස්කාරයන් ගේ උදයව්‍යය දෙක ගැන නැවත නැවත සිතිය යුතු ය. සෙවිය යුතු ය. දැන් කළ යුතු භාවනාව ඒ උදයව්‍යය දෙක සෙවීම සහ සිතීම ම ය. උදයව්‍යය ඥානය ලබනු රිසි යෝගාවචරයනට මඟ දක්වනු වස් උදයව්‍යය පිළිබඳ සංක්ෂේප විස්තරයක් කරනු ලැබේ.
උත්පාද-නිරෝධ යනු උදය-ව්‍යය දෙකට කියන නම් දෙකකි. ක්ෂණිකෝත්පාදය, සන්තත්‍යෝත්පාදය, අනුත්පන්නෝත්පාදය ය යි උත්පාදය තෙවැදෑරුම් වේ. ක්ෂණික නිරෝධය, සන්තති නිරෝධය, අනුත්පන්න නිරෝධය යි නිරෝධය ද තෙ වැදෑරුම් වේ. අභිධර්මයෙහි දැක්වෙන පරමාර්ථ ධර්මයන් ගේ උත්පාද, ස්ථිති, භංග යන අවස්ථා තුන අතුරෙන් පළමු වන අවස්ථාව සංස්කාරයන්ගේ ක්ෂණිකෝත්පාදය යි. කලක් පවත්නා වූ නාම රූප ධර්ම පරම්පාරාවෙක පළමු පහළ වීම සන්තත්‍යෝත්පාදය යි. අනාගතයෙහි ඒකාන්තයෙන් ඵලයක් උපදවන යම්කිසි හේතු ධර්මයක් පහළ වුව හොත්, හේතුව පහළ වූ බැවින් අවස්ථාව පැමිණි කල්හි උපදින්නට තිබෙන ඒ ඵලය තවම නූපන් දෙයක් වතුදු උපන් දෙයක් හැටියට සලකනු ලැබේ. උපදින්නට මත්තෙන් උපන් දෙයක් ලෙස සැලකිය යුතු ඒ ධර්මයන් ගේ ඉපැදිය හැකි ස්වභාවය අනුත්පන්නෝත්පාදය යි. මෙය අනුත්පන්න නිරෝධය අනුව කල්පනා කළ කල්හි පහසුවෙන් වැටහෙනු ඇත.
උත්පාදාදි අවස්ථා තුනකින් යුක්ත වන පරමාර්ථ ධර්මයන් ගේ අන්තිම අවස්ථාව වූ භංගය ක්ෂණික නිරෝධයයි. කලක් පැවති යම් කිසි සංස්කාර පරම්පාරාවෙක අවසානය සන්තති නිරෝධයයි. යම්කිසි හේතු ධර්මයක් පවත්නා බැවින් මතු පහළ වන්නට තිබෙන ඵලධර්මයෙක හේතුව නැති වී යෑමෙන් නූපදනා තැනට පැමිණීම, ඉපැදීම වැළකී යෑම, අනුත්පන්න නිරෝධය යි. අනුත්පාද නිරෝධය යනු ද එයට ම නමෙකි. වර්ෂයක් පාසා ඵල හට ගන්නා ගසක් විනාශ කළ හොත්, එයින් ඒ ගසෙහි මතු හට ගන්නට තිබූ ඵලයන් ගේ විනාශය, අභාවප්‍රාප්තිය ද වන්නේ ය. එය හට නො ගත් දෙයක නිරෝධයෙකි. එබැවින් එයට අනුත්පන්න නිරෝධයයි කිව යුතු ය. සංස්කාරයන්ගේ අනුත්පන්න නිරෝධයත් ගසේ ඵල නිරෝධය සේ තේරුම් ගත යුතුය.
උදයව්‍යය අතුරෙන් ක්ෂණික උදයව්‍යය බුදුවරුන්ගේ විදර්ශනා ඥානයට මුත් ශ්‍රාවකයන් ගේ විදර්ශනා ඥානයට හසු වන්නේ නො වේ. කුඩා කුඩා වූ සන්තතීන් ගේ උදයව්‍යය සොයා නුවණ දියුණු කර ගැනීමෙන් ක්ෂණික උදයව්‍යය දර්ශනයට ලං වූ දර්ශනයක් පමණක් ශ්‍රාවකයනට ඇති කර ගත හැකි ය. ශ්‍රාවකයන්ට මාර්ග ඵලයනට පැමිණීමට එය ප්‍රමාණ ය.
උදයව්‍යය ඥානය සම්පාදනය කරන යෝගාවචරයා විසින් පළමු කොට මෙසේ කොටින් සංස්කාරයන් ගේ උදයව්‍යය බලන්නට පටන් ගත යුතුය. මෙසේ සංස්කාරයේ උපදින්නට මත්තෙන් යම්කිසි තැනක සැඟවී තිබී කොපුවෙක තිබුණු දෙයක් පිටතට එන්නාක් මෙන් එන්නාහු නොව, අඳුරේ ගිනිකූරක් ගැසූ කල්හි පෙර නො පැවති ආලෝකයක් පහළ වන්නාක් මෙන්, හේතූන්ගේ සමායෝගයෙන් පෙර නො තිබී ම පහළ වන්නේ ය. පහළ වන්නා වූ ඒ සංස්කාරයන්ගේ අභිනවාකාරය උදය ය. බිඳෙන කල්හි ද ඒ සංස්කාරයෝ යම්කිසි තැනක සැඟවෙන්නාහු නොව, ගිනිකූර නිවුණ කල ආලෝකය එ තැන ම අතුරුදහන් වන්නාක් මෙන්, උපන් තැන ම බිඳී අභාවප්‍රාප්ත වන්නාහ. ඒවායින් කිසිවක් ඉතිරි නො වන්නේ ය. අභාවප්‍රාප්තිය සංස්කාරයන් ගේ ව්‍යය ය.
මෙසේ කොටින් උදයව්‍යය නුවණින් බලා එය වැටහුණ කල්හි, ප්‍රත්‍ය වශයෙන් හා ක්ෂණ වශයෙන් ද උදයව්‍යය බලන්නට පටන් ගත යුතුය. පුර්වාචාර්‍ය්‍යවරයන් උදයව්‍යය බැලිය යුතු ආකාරය දක්වා තිබෙන්නේ, ස්කන්ධ ක්‍රමයෙන් බැවින් මෙහිදු ස්කන්ධ ක්‍රමයෙන් ම උදයව්‍යය විස්තර කරනු ලැබේ. නාම-රූපයන් ස්කන්ධ වශයෙන් බෙදන කල්හි රූපය එක් ස්කන්ධයක් වශයෙන් ද, නාමය වේදනා-සඤ්ඤා-සංඛාර-විඤ්ඤාණ යයි ස්කන්ධ සතරක් වශයෙන් ද ගනු ලැබේ. එකතු කළ කල්හි ස්කන්ධ පසෙක් වේ. (පඤ්චස්කන්ධය පිළිබඳ සාමාන්‍ය විස්තරයක් අපගේ චතුරාර්‍ය්‍ය සත්‍යය පොතේ දක්වා ඇත)