අන්‍ය සංස්කාරයන්ගේ දුඃඛත්වය දුටුවත් සුඛියාගේ දුඃඛත්වය සමහර විට යෝගාවචරයනට නො පෙනී යා හැකිය. ඒ සුඛය වෙන් වෙන් වශයෙන් ගෙන එහි තත්ත්වය විශේෂයෙන් බැලිය යුතුය. සුඛ වේදනාවගේ පවන්නා අවස්ථාව නම් හොඳය. විඥාන ධාතුවේ ම අංගයක් වූ සුඛ වේදනාව විඥානය අනුව වහා බිදී අතුරුදහන් වන්නෙකි. සුඛ වේදනාව වරක් ඉපැදීම කුඩා දරුවකුට සීනි බෝලයක් පෙන්වා නො දී හැරීම වැනිය. නො ලැබෙන සීනි බෝලය දැකීමෙන් ළමයාට වන්නේ දොම්නසක් පමණි. එමෙන් නො පවත්නා සුඛයක් ඇතිවීමෙන් සත්ත්වයාට වන්නේ එය නැති වී යෑමෙන් දොම්නසක් ඇති වීම පමණකි.
ඇලුම් කරන දෙයක් නැති වීම දුකකි. සත්ත්වයන් අන් සියල්ලට ම වඩා ඇලුම් කරනුයේ සුඛයට ය. භාර්‍ය්‍යාවටත් දරුවන්ටත් මිල මුදල් ආදියටත් ඇලුම් කරන්නේ ඒ පුද්ගලයන් හා වස්තූන් නිසා සුඛය ලැබෙන බැවිනි. සුඛයට හේතුවන භාර්‍ය්‍යාදීන් ගේ අභාවය දුක් වන්නාක් මෙන් ම, උපදින උපදින සුඛ වේදනාවන්ගේ නිරෝධය ද සත්ත්වයාට දුකෙක් ම ය. සත්ත්ව සන්තානයෙහි උපන්නා වූ සෑම සුඛ වේදනාවක් ම නිරුද්ධ වීම් වශයෙන් සත්ත්වයා පෙළන්නේය. වේදනාවගේ ක්ෂණික නිරෝධය සිතට හසු කර ගැනීම අපහසු බැවින් සන්තති නිරෝධයාගේ වශයෙන් වේදනා නිරෝධය බැලිය යුතුය.
සන්තතිය යනු එක් වරෙක දී උපදනා වේදනාවේ පරම්පරාව ය. දැකුම්කලු දෙයක් දෙස බලා සිටින තැනැත්තාට බලා සිටින තෙක් සුවයක් තිබේ. බැලීම නැවැත්වූ කල්හි ඒ සුවය ද නැති වේ. බලා සිටින තෙක් ඇති වූ සුඛ වේදනා පරම්පරාව එක් සන්තතියෙකි. නිරෝධයාගේ වශයෙන් බලන කල්හි එය පහසුවෙන් දැනේ. මිහිරි හඬක් අසාගෙන සිටින්නහුනට ඒ හඬ ඇසෙන තෙක් සුවයක් පවතී. හඬ ඇසීම නැවතීමෙන් ඒ සුවය කෙළවර වේ. සුගන්ධ වායුව නාසිකා කුහරය තුළ පවත්නා තුරු ආඝ්‍රාණයෙන් ලැබෙන සුවය තිබේ. සුගන්ධ වායුව පහ වීමෙන් ඒ සුවය කෙළවර වේ. රස බොජුන මුව තුළ තිබෙන තුරු රස විදීමේ සුවය පවතී. ආහාර ගිලීමෙන් එය කෙළවර වේ. ස්පර්ශයෙන් සනීපය ඇති වන දෙයක්, කයේ ස්පර්ශ වන තෙක් ඒ සුවය පවතී. ස්පර්ශයාගේ නැවතීමෙන් සුවය ද කෙළවර වේ.
ධනය ලැබීම් තනතුරු ලැබීම් ආදියෙන් ඇතිවන සුවය සිත අනෙකකට යොමු නො කරන තුරු පවතී. අනෙකකට සිත යොමු වීමෙන් හෝ භවාංගයට පැමිණීමෙන් ඒ සුවය කෙළවර වේ. ලැබෙන ලැබෙන සුවය මෙසේ බිඳී කෙළවර වන බැවින් සැපය සොයන තැනැත්තා හට සැපය ලැබීම සඳහා නැවත නැවතත් ක්‍රියා කරන්නට සිදුවේ. සත්ත්වයන් විසින් කරන සෑම දෙයක් ම වාගේ කරනුයේ සැපය සඳහා ම ය. මනුෂ්‍යයා විසින්, ලංවන කල හිස රදය ඇතිවන තරමේ දුර්ගන්ධය ඇති වැසිකිලි බාල්දිය ශුද්ධ කරන්නේත්, හෙන ගසන්නාක් මෙන් වෙඩි තබන බෝම්බ හෙළන යුදබිම් වලට යුද පිණිස පිවිසෙන්නේත් සැපය සඳහා ම ය. සුඛය ඉබේම ලැබෙන දෙයක් නම්, නැවත නැවත ලැබීම සඳහා ඉමක් කොණක් නැතිව වෙහෙසෙන්නටත් දුක් ගන්නටත් සිදු නොවේ. සැපය ලැබිය යුත්තේ වෙහෙසින් ය. දුකින් ය. ඉමක් කොණක් නැති ඒ මහා දුඃඛය විඳින්නට වන්නේ සුඛ වේදනා නිසාය. මෙසේ දුක්ගෙන දී සත්ත්වයන් පෙළන, සුඛය පමණ අන් කිසි සංස්කාරයක් නැති තරම් ය. සුඛය පවත්වා ගැනීමට නො නවත්වා ම වෙහෙසිය යුතු බව සුඛ වේදනාව විසින් කරන නිරන්තර පීඩනය යි. එය සුඛ වේදනාවේ දුඃඛ ලක්ෂණය යි.
දුක්ගෙන දෙන වස්තුවටත් දුක් ගෙන දෙන පුද්ගලයාටත් බිය විය යුතුය. සංස්කාරයෝ වනාහි ඒවා “මම” ය කියා ගෙන ඒවාට ඇලුම් කරන්නහුට ද, මාගේ ඇස මගේ කන මගේ අත මගේ පය යනාදීන් ඒවා තමාගේ අවයව වශයෙන් සලකා ඇලුම් කරන්නා වූ තැනැත්තා හට ද, මගේ පුතා, මගේ දුව, මගේ ගෙය, මගේ ඇඳුම යනාදීන් තමාට අයත් දේ සැටියට ගෙන ඒවාට ඇලුම් කරන්නා වූ තැනැත්තා හට ද ලක්ෂ ගණන් කෝටි ගණන් සංස්කාර දුඃඛයන් ගෙන දෙන්නාහු ය. එබැවින් සංස්කාරයෝ බිය විය යුත්තේ ය. සතුරන් සැටියට සැලකිය යුත්තේ ය. මේ බිය විය යුතු බව සංස්කාරයන්ගේ දුඃඛ ලක්ෂණය යි.
සංස්කාරයෝ නිත්‍ය වෙත් නම් පරමාණු බෝම්බය නිසා වත් බිය විය යුත්තක් නැත. සංස්කාර බිඳෙන සුලු පෙරළෙන සුලු දේ බැවින් සංස්කාර සමූහයක් වූ මේ කය මැස්සකුට මදුරුවකුට වුවද පෙළිය හැකිය. විකාරයට පැමිණවිය හැකි ය. වැලි කැටයකට ද පෙළිය හැකි ය. මැස්සකු ඇසට වැටුණ හොත් කනට නාසයට ඇතුළු වුවහොත් වැලි කැටයක් ඇසට වැටුණ හොත් වන පීඩාව බලනු. සංස්කාරයන් මෙසේ දුබල වන බැවින් ඒවායින් ම සෑදුණු ඒවා ම හරය කොට ඇති සත්ත්වයා විසින් නිරතුරුව ම කෝඳුරුවාට - උකුනාට - මකුණාට - රොඩු කැබැල්ලට - වැලි කැටයට පවා බිය විය යුතුය. වැස්සට - පින්නට - සුළඟට - අව්වට - දියට - ගින්නට බිය විය යුතුය. සත්ත්වයා අවට තිබෙන ඔහු විසින් බිය විය යුතු දේවල ප්‍රමාණයක් නැත.
කුඩා ඔරුවක නැඟී මුහුදේ යාත්‍රා කරන්නහුට මුහුදු රළත් සුළඟත් බිය එළවන දේ ය. ඒවා මහ නැවක යාත්‍රා කරන්නාගේ සිත පිනවන දේ ය. එක ම රළත් සුළඟත් කෙනකු බිය ගන්වන දෙයක් ද කෙනකු ප්‍රීතිමත් කරවන දෙයක් ද වූයේ රළේ සුළඟේ වෙනසකින් නොව, ඒ ඒ පුද්ගලයා ඇසුරු කළ වස්තූන් ගේ වෙනස්කමිනි. නැවේ වෙසෙන්නා ප්‍රීතිමත් කරවන රළ හා සුළඟ, ඔරුවේ යන්නා හට බියක් වනුයේ ඔරුවේ දුබල බව නිසාය. එබැවින් ඔරුවේ යන්නා හට ඇති වන බිය ඔරුවෙන් ම ගෙන දෙන බියක් බව කිව යුතුය. එමෙන් ම සංස්කාරයන් ගේ දුබල බව නිසා වන්නා වූ බිය සියල්ල ම සංස්කාරයන් විසින් ම ගෙන දෙන බිය බව කිව යුතුය. ඒ නිරතුරු ව බිය ගන්වන බව, බිය ගෙන දෙන බව සංස්කාරයන් ගේ දුඃඛ ලක්ෂණයකි.
ලෝකයෙහි යම් පමණ දුක් වේ නම් ඒ සියල්ල ම ඇති වන්නේ සංස්කාරයන් කෙරෙහි ය. සංස්කාර නොමැති නම් දුක් වලට තැනක් නැත. දුක් ඇති වන්නේ එයට නිසි තැන ඇති නිසාය. පොළොව ඇති කල්හි ගස් වැල් හට ගන්නාක් මෙන් ද, ජලය ඇති කල්හි මසුන් උපදින්නාක් මෙන් ද, වනය ඇති කල්හි සතුන් බෝ වන්නාක් මෙන් ද, සංස්කාර ඇති කල්හි සකල දුඃඛය ම ඇති වේ. දුඃඛයට ස්ථාන වන බව සංස්කාරයන්ගේ දුඃඛ ලක්ෂණයෙකි. නිරතුරුව පෙළීම ය, බිය විය යුතු බව ය, බිය ගෙන දෙන බව ය, දුක් වලට ස්ථාන වන බවය යන දුඃඛ ලක්ෂණ ඇති බැවින් සකල සංස්කාරයෝම දුඃඛයෝ ය.