තථාගතයන් වහන්සේගේ පාත්‍ර චීවරාදි වස්තූන් ඇති ස්ථාන බුද්ධවංස පාළියේ අවසානයෙහි මෙසේ දැක්වේ.
වජිරායං භගවතෝ - පත්තො දණ්ඩඤ්ච චීවරං,
නිවාසනං කුලඝරෙ - පච්චත්ථරණං කපිලව්හයෙ.
පාටලීපුත්තපුරම්හි - කාරකං කායබන්ධනං,
චම්පායමුදකසාටිකා - උණ්ණලොමඤ්ච කොසලෙ.
-
කාසාවං බ්‍රහ්ම ලොකෙච - වෙඨනං තිදසෙ පුරෙ,
නිසීදනං අවන්තීසු - රට්ඨෙ අත්ථරනං තදා.
-
අරණීච මිථිලායං - විදහෙ පරිස්සාවනං,
වාසි සූචිඝරඤ්චාපි - ඉන්දපත්තෙ පුරෙ තදා.
-
පරික්ඛාරා අවසෙසා - ජනපදෙ අපරන්තකෙ,
පරිභුත්තානි මුනිනා - අකංසු මනුජා තදා.
මේ ගාථාවල සමහර තැන් තේරුම් ගැනීම දුෂකරය. සාමාන්‍යයෙන් ඒවායේ තේරුම මෙසේ ය.
භාග්‍යවතුන් වහන්සේ ගේ පාත්‍රය, සැරයටිය, සිවුරු යන මේවා වජිරාවෙහි ය. අඳනය කුලඝරයෙහි ය. පච්චත්ථරනය කපිලවස්තුවෙහි ය.
ඩබරාව, පටිය යන මේවා පාටළීපුත්‍ර නගරයෙහි ය. උදකසාටිකාව චම්පා නගරයෙහි ය. ඌර්ණරෝමය කොසොල් රටෙහි ය.
සිවුර බ්‍රහ්ම ලෝකයෙහි ය. හිස්වෙළුම දෙව්ලොව් ය. නිසීදනය හා ඇතිරිය අවන්ති රටෙහි ය.
ගිනිගානා දණ්ඩ මිථිලාවෙහි ය. පෙරහන විදෙහ රටෙහි ය. කරකැත්ත හා ඉඳිකටු ගුලාව ඉන්දපත්ත නගරයෙහි ය. තථාගතයන් වහන්සේ පරිභෝග කළ අවශේෂ පරිෂ්කාරයෝ අපරන්ත ජනපදයෙහි ය.
රටක් හෝ නගරයක් හෝ ගමක් හෝ කියැවෙන වජිරා කියා වචනයක් පාලි පොත්වල අන් තැනක දක්නට නැත. තථාගතයන් වහන්සේගේ පාත්‍රයට ධාතූන් වහන්සේ වඩා ලක්දිවට ගෙන ඊමට දහම්සෝ රජතුමා විසින් දුන් බව මහාවංසයෙහි හා ධාතු වංසයෙහි සඳහන් වේ. දේවානම් පියතිස්ස රජතුමා ඒ පාත්‍රය තමාගේ රාජභවනයෙහිම තබා ගෙන පූජාසත්කාර කළ බව ද කියා තිබේ. මේ කරුණ සමන්තපාසාදිකා නම් විනය අටුවාවෙහි සඳහන් වන්නේ සුමන සාමණේරයන් ගේ පාත්‍රයම සුවඳ දියෙන් සෝදා පිරිසිදු කොට ධාතූන් වහන්සේ එයට වඩා දුන්නේය කියා ය. බුදුන්වහන්සේ සැරයටියක් පාවිච්චි කළ බව ද කිසි තැනක සඳහන් වී නැත. මෙහි තුන්වන ගාථාවෙහි “වෙඨනං තිදසෙ පුරෙ” යනුවෙන් දැක්වෙන හිස් වෙළුම (ජටාව) සිද්ධාර්ථ කුමාරයන්ගේ ජටාව විය හැකිය. ගිනිගානා දණ්ඩක් තථාගතයන් වහන්සේ පරිහරණය කළ බව ද කිසි තැනක සඳහන් වී නැත.