සෝතාපත්ති මාර්ගඥානය, සකෘදාගාමි මාර්ගඥානය, අනාගාමි මාර්ගඥානය, අර්හත් මාර්ගඥානය යන ලෝකෝත්තර ඤාණ සතර හා ලොවුතුරා බුදුවරයන් ගේ සර්වඥතාඤාණය ද බෝධි නම් වේ. අප බුදුරජාණන් වහන්සේ ඒ ඥානයන් ලැබූයේ දඹදිව මධ්‍ය ප්‍රදේශයේ උරුවේලා නම් ජනපදයෙහි නේරඤ්ජරා නදීතීරයේ පිහිටි ඇසතු රුකක් මුලදී ය. තථාගතයන් වහන්සේටත් බෝධි නම් ඒ උත්තරීතර ඥානයන් ලැබීමට ඒ ඇසතු රුක උපකාර වූ බැවින් එය බෝධි නම් විය. පස්මරුන් දිනීමට උපකාර වූ බැවින් ජය මහා බෝධි නම් විය. පස්මරුන් දිනා සර්වඥපදප්‍රාප්ත වූ බුදුරජාණන් වහන්සේ ඒ වෘක්ෂ රාජයාගේ සෙවනෙහි සමවත් සුව විඳිමින් සත්දිනක් මුළුල්ලෙහි ඒක පර්යංකයෙන් වැඩහුන් සේක. සම්බුද්ධත්වයට පැමිණීමට උපකාර වීම නිසා තථාගතයන් වහන්සේ සතියක් මුළුල්ලෙහි පරිභෝග කළ නිසා ද ඒ බෝධීන් වහන්සේ පරම පූජනීය පාරිභෝගික චෛත්‍යයක් විය. ඒ බෝධීන් වහන්සේගෙන් බිජුවටක් ගෙන්වා ජේතවනද්වාරය සමීපයේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් රෝපණය කරවූ ආනන්ද බෝධීන් වහන්සේද ලක්දිව අනුරාධපුර නගරයේ වැඩ සිටින දක්ෂිණශාඛා බෝධීන් වහන්සේ ද ඒ බෝධි වෘක්ෂවලින් පැවත එන සියලුම බෝධි වෘක්ෂයෝ ද වැඳුම් පිදුම් කිරීමට සුදුසු පාරිභෝගික චෛත්‍යයෝය.