බුද්ධ පූජාවට කළ යුත්ත

star_outline

පිරිනිවීමෙන් පසු තථාගතයන් වහන්සේ උදෙසා සැදැහැතියන් පුදන ආහාර පානයන්ට හා චීවරාදී පරිෂ්කාරයන් කෙරෙහි පිළිපැදිය යුත්තේ කෙසේද? යන වග ජීවමාන කාලයේදී තථාගතයන් වහන්සේ නො වදාළ සේක. එබැවින් දැන් ඒවාට කුමක් කළ යුතුද? යනු ගැටළු ප්‍රශ්නයක් වී තිබේ.

ප්‍රථම සාංඝික දානය වන බුද්ධප්‍රමුඛ උභතෝ සංඝයාට දෙන දානය බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු භික්ෂු භික්ෂුනී දෙසඟ මැද සධාතුක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තබා ප්‍රතිමා වහන්සේ ඉදිරියෙහි පාත්‍රය තබා සංඝයාට දෙන සියල්ලෙන් ම අග්‍ර කොට්ඨාශය බුදුරදුන් උදෙසා ඒ පාත්‍රයට බෙදමින් දානය දිය හැකි බව දක්ෂිණාවිභංග සූත්‍ර අටුවාවෙහි කියා තිබේ.

අනතුරුව-

“යං සත්ථු දින්නං තං යො සත්ථාරං ජග්ගති වත්තසම්පන්නො භික්ඛු තස්ස වා භික්ඛුස්ස සංඝස්ස වා දාතබ්බං, සප්පිතෙලානි පන ගහෙත්වා දීපා ජාලෙතබ්බා, සාටකං ගහෙත්වා පටාකා ආරොපෙතබ්බා.”

යනුවෙන් “ඒ දානයේදී තථාගතයන් වහන්සේට දෙන ලද දෙය උන්වහන්සේට උපස්ථාන කරන වතින් සම්පූර්ණ භික්ෂුවක් ඇති නම් ඒ භික්ෂුවට හෝ සංඝයාට දිය යුතුය. ගිතෙල් හා තෙල් ගෙන පහන් දැල්විය යුතුය. වස්ත්‍ර ගෙන කොඩි එසවිය යුතුය” යි දක්වා ඇත්තේ ය. මෙහි බුදුනට උපස්ථාන කරන භික්ෂුවය යි කියා තිබෙන්නේ දාගැබ් බෝධි ප්‍රතිමා ගෘහ යන මේවායේ වත කරන භික්ෂුවටය. පහන් දැල්වීම කොඩි එසවීම කළ යුත්තේද ඒ තැන්වල ය.

“ධම්මදායාදා මෙ භික්ඛවේ භවථ මා ආමිසදායාදා” යනුවෙන් “මහණෙනි, තෙපි මාගේ ධර්මය උරුම කොට ගන්නෝ වව්. ආමිසය ගන්නෝ නො වව්” යයි තථාගතයන් වහන්සේ විසින් ධර්මදායාද සූත්‍රයෙහි වදාරා තිබේ. තවද බුදුරජාණන් වහන්සේ වළඳා අවසන් වීමෙන් පසු තවත් ආහාර ඉතිරි වී ඇති අවස්ථාවක ආහාර නො ලැබ උන්වහන්සේ වෙත පැමිණි භික්ෂූන් දෙනමකට “මහණෙනි, මම දන් වළඳා අවසන් කොට සිටිමි. මේ ආහාර රාශියක් ඉතිරිව ඇත්තේ ය. කැමති නම් මේවා වළඳව්. තෙපි මේවා නො වළඳන්නහු නම් මම මේවා සතුන් නැති ජලයකට හෝ තණ නැති බිමකට දමන්නෙමැ”යි වදාළ විටෙක ඔවුන්ගෙන් එක් නමක් “මහණෙනි තෙපි මාගේ ධර්මය ගන්නෝ වව්. ආමිෂය ගන්නෝ නොවව්” යයි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේය. “මේ ආහාරයත් එක්තරා ආමිෂයකි. එබැවින් මම මෙය නො වළඳමි” යි ඒ දවස සාගින්නෙන් ගෙවයි නම් අනිත් භික්ෂුව ඒ ආහාරය ගෙන වළඳා සාගින්න සන්සිඳවා ගෙන ඒ දිනය ගත කරයි නම් ඒ දෙදෙනාගෙන් නො වැළඳූ පළමු භික්ෂුව ම පූජ්‍යතර වන්නේ ය. අතිශයින් ප්‍රශංසාවට සුදුසු වන්නේය” යි ධම්ම දායාද සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය. එය අනුව බලතහොත් බුදුනට පිදු වස්තූන් තමන්ගේ ප්‍රයෝජනයට නො ගෙන සිටීම ම භික්ෂූන්ට යෝග්‍ය බව කිය යුතුය. තථාගතයන් වහන්සේගේ භුක්තාවශේෂය ගෙන වළඳන්නා වූ භික්ෂුවට ඉන් කිසියම් පාපයක් වන බව ද එහි වදාරා නැත. එබැවින් යම් කිසි භික්ෂුවක් බුදුරදුන්ට පිදු ආහාර ගෙන පරිභෝග කරනවා නම් එයින් එම භික්ෂුවට වන පාපයක් නැති බව කිය යුතුය. ප්‍රතිමාගෘහාදියෙහී බුදුරදුන්ට පුදා ඇති ආහාර පාන ඒ තැන්වලින් ඉවත් කොට ඒ තැන් පිරිසිදු කළ යුතුය. ඒවායින් කිසි ප්‍රයෝජනයක් බුදුනට හෝ විහාර දාගැබ් වලට හෝ නැත. අහක දමන්නට ඇති ඒ ද්‍රව්‍ය ගෙන තමන් ගේ ප්‍රයෝජනයට යොදා ගැනීමෙන් කා හට වුව ද පාපයක් වන බවක් නො කිය හැකිය.

සැදැහැවතකු යම් කිසි වස්තුවක් විහාරයකට දාගැබකට බෝධියකට ගොස් බුදුරදුනට පුදන්නේ ඒ වස්තුව කෙරෙහි ඔහුගේ ආලයත් අයිතියත් අතහැර ය. පූජා කිරීමෙන් පසු ඒ වස්තුව ඔහුට අයිති නැත. පූජා කරනු ලැබූ බුදුරජාණන් වහන්සේ ද නැත. එබැවින් ඒ වස්තුව අස්වාමික වස්තුවකි. අහක දමන ලද්දක් වැනියෙකි. පාපයක් වන්නේ හිමියා විසින් නො දෙන ලදුව හිමියෙකු ඇති වස්තුවක් ඒ බව දැන දැන ගැනීමෙනි. හිමියෙකු නැති වස්තුවක් ගැනීම අදින්නදානය නො වේ. ඒ කරුණු අනුව සළකත හොත් බුදුරදුන්ට පුදා ඇති වස්තූන් පාංසුකූල සංඥාවෙන් ගැනීමෙන් කාට වුවත් වරදක් නො වන බව කිව යුතුය. එහෙත් බුදුනට පුදා ඇති වස්තූන් ගැනීමට තැත් නො කළ යුතුය. අපේ බණ පොතවල එන පතාකා ප්‍රේත වස්තුවේ හැටියට එය භයානකය.