වන්දනා ගමනේදී මියගිය උපාසිකාවක්

තථාගත පරිනිර්වාණයෙන් පසු අජාසත් රජතුමා විසින් ලත් සර්වඥ ධාතූන් වහන්සේලා වඩා හිඳවා චෛත්‍යයක් කරවූ පසු රජගහ නුවර එක් උපාසිකාවක් ඒ චෛත්‍යය ට පුදනු පිණිස වැටකොලු මල් සතරක් ගෙන බලවත් ශ්‍රද්ධාවෙන් වෙහෙස නොබලා චෛත්‍යය දෙසට ගමන් කරමි සිටියා ය. ඒ ගමනේදී වසු පැටවකු ඇති දෙනක් වේගයෙන් දුව ඇවිත් ඇයට ඇන්නා ය. ඒ පහරින් උපාසිකාව එ තැනම කලුරිය කොට තව්තිසා දෙව්ලොව උපන්නා ය. ඒ අවස්ථාවෙහි සක් දෙව් රජ ඔහුගේ අඩුතුන් කෙළක් දෙවඟනන් පිරිවරා උයන් කෙළියට යමින් සිටියේ ය. ඕ තොමෝ රන්වන් වස්ත්‍රාභරණයෙන් සැරසී රන්වන් රථයකට නැඟී රන්වන් ඡත්‍රය ඇතිව ඒ දෙවඟනන් අතර අන් සැම දෙනාම රූපශ්‍රීයෙන් යටපත් කරමින් පෙනී සිටියා ය. සක්දෙව් රජ රූසිරින් සැමදෙනා ඉක්මවා සිටින අළුත් දෙවඟනක දැක විස්මයට පැමිණ “කිනම් කුශලයකින් මේ සම්පත් ලැබුවාදැ” යි ඇසීය.

එකල්හි දෙවඟන කියන්නී “දේවේන්ද්‍රයෙනි, කිසිවෙකු කැමැති නොවන කෝසාතකී නම් වැලක් ඇත. මම චෛත්‍යයට පුදනු සඳහා එයින් මල් සතරක් ගෙන චෛත්‍යය කරා ගමන් කරමින් සිටියෙමි. බුදු රදුන්ගේ ධාතූන් ගැන් සිත්මින් පහන් සිතින් ගමන් කළ මට අනිකක් ගැන් සිතන්නට නොලැබිණ. එසේ යන්නා වූ මම මඟ සමීපයේ පැටවකු සමඟ සිටි දෙනක දුව ඇවිත් ඇන මරනු ලැබීමි. එපමණින් මම මේ සම්පත්තිය ලදිමි. ඉදින් අදහස පරිදි චෛත්‍යයට මල් පුදන්නට ලැබිණි නම් මම මෙයට වඩා මහත් සම්පත් ලබන්නට තිබුණේය” යි කීවාය. එබස් අසා සක්දෙව් රජ තව්තිසා දෙවියන් පහදවනු පිණිස මාතලී දෙව්පුත් අමතා මෙසේ කීය.

පස්ස මාතලී අච්ඡෙරං - චිත්තං කම්ම ඵල ඉදං,

අප්පකම්පි කතං දෙය්‍යං - පුඤ්ඤං හොති මහප්ඵලං.

-

නත්ථි චිත්තේ පසන්නම්හි - අප්පිකා නාම දක්ඛිණා,

තථාගතෙ වා සම්බුද්ධෙ - අථවා තස්ස සාවකෙ.

-

එහි මාතලෙ අම්හෙපි - හිය්‍යො හිය්‍යො මහෙමසෙ,

තථාගතස්ස ධාතුයො - සුඛො පුඤ්ඤානමුච්චයො.

-

තිට්ඨන්තෙ නිබ්බුතෙ චාපි - සමෙ චිත්තෙ සමං ඵල,

චෙතොපණීදි හෙතුහි -සත්තා ගච්ඡන්ති සුග්ගතිං.

-

බහුන්නං වත අත්ථාය - උප්පජ්ජන්ති තථාගතො,

යත්ථ කාරං කරිත්වාන - සග්ගං ගච්ඡන්ති දායකා.

මාතලී! මේ විචිත්‍ර වූ ඵලය බලන්න. ස්වල්ප සත්කාරයක් වූ ස්වල්ප දානයක් වූ පින මහත්ඵලය. තථාගත සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ ශ්‍රාවකයෙකු කෙරෙහි සිත ප්‍රසන්න කල්හි සුළු දානයක්ය කියා නැත. මාතලී! එව, අපිද තථාගතයන් වහන්සේගේ ධාතූන් වඩ වඩා පුදමු. පින් රැස් කිරීම සැපයකි. බුදුරදුන් ජීවමාන කල්හිත් පිරිනිවි කල්හිත් පූජා කරන්නහුගේ සිත සම නම් පූජාවෙන් වන පින්පලය සමාන වන්නේ ය. සිත මනා කොට තබා ගැනීම හේතුකොට සත්ත්වයෝ සුගතියට යන්නාහ. බොහෝ ජනයාට වැඩ පිණිස තථාගතයන් වහන්සේ ලොව පහළ වන සේක. තථාගතයන් වහන්සේට පූජා සත්කාර කොට දායකයෝ ස්වර්ගයට යන්නාහ.

මෙසේ කියා සක් දෙවිඳු උයන් කෙළියෙහි යාම අතහැර චූඩාමණි චෛත්‍යය වෙත ගොස් එහි සතියක් පූජා පැවැත්වීය. එක් දිනක් දෙව්ලොව වැඩම කළ ආයුෂ්මත් නාරදස්ථවිරයන් වහන්සේ ට සක්දෙව් රජ මේ පුවත සැළ කළේය. උන්වහන්සේ ධර්මසංග්‍රාහක තෙරුන් වහන්සේලාට සැළ කළහ. (විමානවත්ථු පීත විමාන)