පෙර ලක්දිව රුහුණු පෙදෙසෙහි දීර්ඝායු නම් චෛත්‍යයක් විය. එහි ඔසවා තිබූ කොඩියක් සුළඟින් කැඩී ගොස් දුර පිහිටි කෙතක වැටිණ. කෙත් හිමියා කෙත බලා ඇවිදිනුයේ එය දැක අතට ගෙන බලන්නේ එහි සටහන් කර තිබූ අකුරු දැක චෛත්‍යයට පුදන ලද්දක් බව දැන ඒ වස්ත්‍රයට ලෝභ කොට අකුරු තිබූ කොටස ඉරා දමා පොරවාගෙන ගෙදර ගියේය. කලකට පසු ඔහු කළුරිය කොට ගිනියම් වූ දහසක් යපට ඇඟේ වෙළුණු ප්‍රේතයෙක් විය. ඔහුට වාඩි වන්නට හෝ නිදන්නට හෝ නො පිළිවන. කෑම බීම කරන්නට නො පිළිවන. ඔහු මහබර ඔසවාගෙන ඉතා දුකසේ ඇවිදී. දිනක් ඒ ප්‍රේතයා මධ්‍යම රාත්‍රියේ එක්තරා ස්ථවිර නමක් ඉදිරියේ පෙනී සිට ඔහුට පැමිණි දුක කියා සිටියේ ය. තෙරුන් වහන්සේ ඔහුගේ දුක දැක මහත් සංවේගයට පැමිණ “නුඹට මේ දුකින් මිදීමට මා කරන්නේ කුමක්දැ” යි ඇසූහ. “හිමියනි, දීර්ඝායු චෛත්‍යයට කොඩි දහසක් පුදා මට පින් දුන හොත් මිදිය හැකි වන්නේ ය” යි කියා ප්‍රේතයා අතුරුදහන් විය. ප්‍රේතයා ගැන ඇති වූ මහත් අනුකම්පාවෙන් පසුදින තෙරුන් වහන්සේ කොඩි සොයන්නාහු පනසක් ලැබ ඒවා චෛත්‍යයට පුදා ප්‍රේතයාට පින් දුන්හ. ඒ පින් ලැබීමෙන් ප්‍රේතයාගේ හිස අටඟුලක් විවෘත විය. එදින රාත්‍රියේ ප්‍රේතයා නැවත ද තෙරුන් වහන්සේට පෙනී සිට හිස අටඟුලක් විවෘත වූ බව කීය. තෙරුන් වහන්සේ නැවත කොඩි පනසක් සොයා චෛත්‍යයට පුදා පින් දුන් කල්හි තවත් අටඟුලක් ප්‍රේතයාගේ ශරීරය විවෘත විය. මෙසේ ක්‍රමයෙන් කොඩි සොයා දහස සම්පූර්ණ කළ කල්හි ප්‍රේතයා සම්පූර්ණයෙන් නිදහස් විය.
එදින මධ්‍යම රාත්‍රියේ ප්‍රේතයා ශුද්ධ වස්ත්‍රයෙන් හා නානාභරණයෙන් සැරසී තෙරුන් වහන්සේ ඉදිරියේ දේවත්වයෙන් පෙනී සිටියේය. තෙරුන් වහන්සේ “නුඹ කවරෙක්දැ” යි ඇසූ කල්හි “හිමියනි, මම පෙර ගිණියම් වූ දහසක් යපටින් වෙලී කෑමක් බීමක් නැතිව මැරෙන්නේ ද නැතිව මහ දුක් වින්දෙමි. ඒ මම දැන් නුඹ වහන්සේගේ කරුණාවෙන් දුකින් මිදී දේවත්වයෙන් සුවසේ වෙසෙමි. කාරුණිකයන් වහන්ස මා හට මාපියන් විසින් නෑයන් විසින් කළ යුත්ත නුඹ වහන්සේ විසින් කරන ලද්දේ ය. ඒ මම නුඹ වහන්සේ දැක වැඳීමට මෙහි පැමිණියෙමි. නුඹ වහන්සේ ගේ කරුණාවෙන් මා දුකින් මිදී සැපයට පැමිණියාක් මෙන් නුඹ වහන්සේට ද අග්‍ර වූ ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සුඛයට පැමිණෙන්නට ලැබේවා.” යි ප්‍රේතයා කීය.
ඉක්බිති හෙතෙමේ “හිමියනි, බුද්ධ ධර්ම සංඝ යන මේ තුන් තන්හි කළ ස්වල්ප වූ ද පාපය අනන්ත දුක් ගෙන දෙන්නක් වන්නේ ය. එසේම ඒ තුන් තන්හි කරන ස්වල්ප වූද පූජාව අනන්ත ඵල දායක වන්නේ ය” යි කියා තෙරුන් වහන්සේ සාදරයෙන් ප්‍රදක්ෂිණා කොට වැඳ අතුරුදහන් විය.
මේ කථාව ලෝකප්පදීපකසාර නම් ග්‍රන්ථයෙන් ගන්නා ලදි. තුනුරුවනට පුදා ඇති සුළු දෙයක් වුව ද තමාගේ ප්‍රයෝජනයට ගැනීම අනාගතයෙහි අනන්ත දුක් ලැබෙන බරපතල පවක් බව මේ කථාව අනුව තේරුම් ගනිත්වා. මේවායේ බරපතල බව නො දත් ඇතැම්හු කිසි සැලකිල්ලක් නැතිව විහාරවල දාගැබ්වල බෝධිවල පුදා ඇති පහන් තමන්ගේ උවමනා වලට තැනින්තැන ගෙන යති. පහන් වල තෙල් ගනිති. ඉදල් මුසුන් හා භාජන තමන් ගේ උවමනා වලට ගෙන යති. කොඩි මල් ආදිය ගෙන යති. නපුරු විපාක ඇති විය හැකි බැවින් ඒවායින් වළකිත්වා.