බුදුරදුන්ට වත් කිරීම

මල් පහන් ආදියෙන් බුදුරදුන්ට පිදීමෙන් පමණක් නොව උන්වහන්සේට වත් කිරීමෙන් ද සැදැහැතියන්ට පින්සිදුකරගත හැකිය. තථාගත පරිනිර්වාණයෙන් පසු ද ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදුන් ජීවමාන කාලයේ උන්වහන්සේට කළ ගඳකිළිය හැමදීම, අසුන් පැනවීම, පැන වූ අසුන් තැන්පත් කිරීම, පහන් දැල්වීම, නාන පැන් මුව දෝනා පැන් පිළියෙල කිරීම, දැන් නෑමට වේලාව ය, දැන් දහම් දෙසීමට වේලාව ය, දැන් භික්ෂූන්ට අවවාද දීමට වේලාව ය යනාදීන් කාලාරෝචනය කිරීම යන වත් සියල්ල බුදුරදුන් ජීවමාන කාලයේදී කළාක් මෙන්ම පිරිනිවීමෙන් පසු ද කළ බව සමන්ත පාසාදිකා නම් වූ විනය අටුවාවෙහි හා සුමංගල විලාසිනි නම් වූ දික්සඟ අටුවාවෙහි ද කියා ඇත්තේ ය. ඒ අනුව ප්‍රතිමා මන්දිරයක හෝ දාගැබක බෝධියක හෝ තථාගතයන් වහන්සේට වත් කිරීමේ චේතනාවෙන් පරමල් ඉවත් කිරීම්, මලසුන් සේදීම්, හැමදීම්, කසළ බැහැර කිරීම්, පැන් එළවා තැබීම්, තණ ආදිය උදුරා ඉවත් කිරීම් යනාදී වත් කිරීමෙන් පින් කැමතියන්ට බොහෝ පින් සිදු කර ගත හැකිය. බුරුම බෞද්ධයෝ බුදුරදුනට වත් කිරීම් වශයෙන් සුවඳ පැන් පිළියෙල කොට බුදු රූ නහවති.