චිත්තප්‍රසාද කුසලය

star_outline

බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය කෙරෙහි සිත පහදා ගැනීම චිත්තප්‍රසාද කුශලය ය. තුනුරුවන් හැඳින ගැනීමට තුනුරුවන් ගුණ තේරුම් ගැනීමට නො සමත් කරවන, තුනුරුවන් ගුණ වසන මෝහය දේවාදීන් මැවුම්කරුවන් ගැලවුම්කරුවන් ලෙස වරදවා පිළිගන්නා දෘෂ්ටිය, පරලොවක් නැත, පින්පවු වල විපාක නැත ය කියා පිළිගන්නා දෘෂ්ටිය, එසේද, මෙසේද කියා දෙපැත්තට ඇදෙන විචිකිත්සාව, අන්‍යන්ගේ ගුණවත් බව, උසස් බව, පූජ්‍ය බව, ඉවසිය නොහෙන ඊර්ෂ්‍යාව, අන්‍යන්ට ගරු බුහුමන් කිරීමට නො කැමති කරවන මානය, ධනය හා පස්කම් සැපයම ලොව ඇති උසස් දෙය වශයෙන් සලකන තෘෂ්ණාව යනාදී ක්ලේශයෝ ගෞරවයෙන් තුනුරුවන් පිළිගැනීමට බාධා කරන ධර්මයෝය. සිත් කිලිටි කරන ධර්මයෝය.

ප්‍රසන්න සිතය කියනුයේ ඒ කෙලෙස් කුණු නැති සිතය. සිතෙහි ඒ කෙලෙස් කුණු, කෙලෙස් කසට, කෙලෙස් අඳුර ඇති තාක් ඒ පුද්ගලයාට තථාගතයන් වහන්සේගේ සර්වඥභාවය පරිශුද්ධභාවය පූජ්‍ය භාවය නො දැනෙන්නේ ය. නො පිළිගැනෙන්නේ ය. තථාගත ධර්මයේ සත්‍යතාවය නෛර්යාණික භාවය පරිශුද්ධභාවය උත්තම භාවය නො දැනෙන්නේ ය. නො පිළිගැනෙන්නේ ය. සංඝයාගේ සුප්‍රතිපන්නභාවය බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා වූ නික්ලේශී වූ පූජ්‍ය වූ මහෝත්තමයෙකැ යි ගෞරවයෙන් පිළිගතහොත් ධර්මය හෝ පිළිගතහොත් සංඝයා හෝ පිළිගතහොත් ඒ පිළිගැනීමෙන් ඉහත කී කෙලෙසුන් සිතෙන් බැහැර වී සිත ප්‍රසන්න වන්නේ ය. සිත පහදා ගැනීම යයි කියන ලදුයේ රත්නත්‍රය පිළිගෙන ඉහත කී කෙලෙසුන් දුරු කර ගැනීම ය. ශ්‍රද්ධාව යයි කියනුයේ ද ගෞරවයෙන් තෙරුවන් පිළිගැනීමට ය. චක්‍රවර්තී රජුගේ උදකප්‍රසාදක මාණික්‍යය බොර වතුරට දැමූ කල්හි ජලයේ බොර සියල්ල ඉවත් වී පෑදෙන්නාක් මෙන් ශ්‍රද්ධාව ඇති වූ කල්හි සිතෙහි බොර වූ දෘෂ්ටි මෝහාදී කෙලෙසුන් පහවී සිත පැහැදෙන්නේ ය. තුනුරුවන් පිළිගන්නා ස්වභාවය වූ ශ්‍රද්ධාවම කුශලයකි. ශ්‍රද්ධාවෙන් යුක්ත පහන් සිතද කුශලයකි. ඇතැම්හු දානාදී අන් කිසි පිනක් නැතුව ශ්‍රද්ධාව උපදවා සිත පහන් කර ගැනීමෙන් මද මරණින් මතු දෙව් ලොව උපදිති.

සැවැත් නුවර විසූ අදින්නපුබ්බක බමුනාගේ පුත් මට්ටකුණ්ඩලී මරණාසන්නයේදී තථාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදා ගැනීමේ කුශලයෙන් දෙව්ලොව උපන්නේය. ඒ බව ඇසූ අදින්නපුබ්බක බමුණා බුදුරදුන් වෙත එළඹ “පින්වත් ගෞතමයෙනි! කවදාවත් දනක් නොදී පූජාවක් නොකොට බණක් නොඅසා සීලයක් සමාදන් නොවී ඔබ කෙරෙහි සිත පහදා ගැනීමෙන් පමණක් දෙව්ලොව උපන්නෝ ඇද්දැ” යි ඇසීය. “බ්‍රාහ්මණය, එකකු දෙදෙනකු නොව සියදෙනෙකු දෙසියදෙනෙකු නොව අප කෙරෙහි සිතපහදා ගැනීමෙන් දෙව්ලොව උපන් අය ගණනක් නැති තරමට ඇත්තාහ” යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

දුබල වූ චිත්තප්‍රසාදයෙහි හෙවත් ශ්‍රද්ධාවෙහි සමත්කම ඇත්තේ මරණාසන්නයේදී ඇතිවුවහොත් සතර අපායෙන් මුදවා දෙව්ලොව උපත ලබාදීමට පමණෙකි. බුදුරදුන් මුණගැසීම උන්වහන්සේ වෙනුවෙන් කළ මහා චෛත්‍යයක් දැකීම මහජනයා රැස්ව මහා පූජෝත්සව පවත්වනු දැකීම යනාදිය හේතුකොට සමහරුන්ට සමහර විට තථාගතයන් වහන්සේ කෙරෙහි ඉතා බලවත් චිත්ත ප්‍රසාදයක් ඇතිවේ. එක් වරෙක එබඳු බලවත් චිත්තප්‍රසාදයක් හෙවත් ශ්‍රද්ධාවක් ඇතිවුවහොත් ඒ චිත්තප්‍රසාද කුශලය ඒ පුද්ගලයා සතර අපායෙන් මුදවා ඔහුට කල්ප බොහෝ ගණනක් මුළුල්ලෙහි උසස් ලෙස දෙව් මිනිස් සැප ලබාදී අන්තිමට නිර්වාණ සම්පත්තියද ලබා දෙන්නේ ය. බලවත් චිත්ත ප්‍රසාදයෙන් මහත් වූ ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබූ පුද්ගලයන් බොහෝ දෙනෙකුගේ කථා ආපදාන පාළියෙහි දක්නා ලැබේ.

බුදුරදුන් කෙරෙහි බලවත් ප්‍රසාදය යමකුට ඇති වුවහොත් ඔහුගේ සිත කය දෙකම බුදුරදුන් දෙසට නැමෙන්නේ ය. ඇදෙන්නේ ය. ඔහුට ඉබේම “සාදු සාදු” යි කියැවෙන්නේ ය. දෙ අත් ඉබේම එසවෙන්නේ ය. ධනය ඇති නම් ඔහු ලක්ෂයකින් කෝටියකින් වුව ද බුදුරදුන් පුදන්නේය. අනේපිඬු මහසිටු තුමාට බුදුරදුන් කෙරෙහි බලවත් චිත්තප්‍රසාදය ඇති විය.