අනේපිඬු සිටුතුමා සැවැත් නුවර විසූ මහා ධනේශ්වරයෙකි. අනාථයන්ට සංග්‍රහ කරන ත්‍යාගවන්තයෙකි. ඔහුගේ පළමු නම සුදත්ත ය. අනාථ සංග්‍රහය බෙහෙවින් කරන බැවින් පසුකලෙක ඔහුගේ නම අනාථපිණ්ඩික විය. ඔහුගේ බිරිය රජගහ නුවර සිටුවරයාගේ සොහොයුරියකි. රජගහ සිටුහුගේ බිරිය අනේපිඬු සිටුතුමාගේ සොහොයුරියකි. මේ නෑකම නිසා ඒ පවුල් දෙකෙහි තද සම්බන්ධයක් පැවතිණ. රජගහ සිටුතුමා එනුවර උපදනා බඩුගැල් පන්සියයක් ගෙන කලින් කල වෙළඳාම් සඳහා සැවැත් නුවරට යයි. එසේ ගිය කල්හි සැවැත් නුවරින් යොදුනකට මොබ සිට තමා පැමිණි බව අනේපිඬු සිටුතුමාට දන්වා යවයි. අනේපිඬු සිටුතුමා පෙර මගට ගොස් මහත් හරසරින් රජගහ සිටුවරයා පිළිගෙන සැවැත්නුවරට කැඳවා ගෙන එයි. අනේපිඬු සිටුතුමා ද එසේම වරින් වර සැවැත් නුවර උපදනා බඩු ගැල් පන්සියයක් පුරා ගෙන රජගහ නුවරට වෙළඳාම සඳහා යයි. රජගහ සිටු ද අනේපිඬු සිටුතුමා පැමිණෙන කල්හි එසේම සංග්‍රහ කරයි.
එක් දවසක් අනේපිඬු සිටුතුමා ගැල් පන්සියයකින් බඩු ගෙන රජගහ නුවර බලා ගොස් නුවරින් යොදුනකින් මොබදී තමා පැමිණි බව රජගහ සිටුවරයාට දන්වා යැවීය. එවේලෙහි සිටුතුමා දහම් අසනු පිණිස විහාරයට ගොස් සිටියෙන් පණිවිඩය නොලැබිණ. අනේපිඬු සිටුතුමා පෙරමග බලාසිට පිළිගැනීමට එන කිසිවකු නැතිවම රජගහ නුවර බලා පිටත් වී ගොස් සිටු ගෙදර දොරටුවේවත් පිළිගන්නා කෙනෙකු නැතිව ගේ තුළට පිවිසියේ ය. එවේලෙහි රජගහ සිටු තුමා පසු දිනට බුදු පාමොක් මහ සඟනට ආරාධනා කර තිබූ බැවින් සේවකයන් කැඳවා ගෙන දර පැලීම්, ලිප් බැඳීම්, භාජන පිළියෙල කිරීම් ආදිය කරවමින් සිට අනේපිඬු සිටුතුවරයා වෙත පැමිණ වචනයක් දෙකක් පමණක් කථා කොට ඒ කටයුතුවලටම ගියේය. අනේපිඬු සිටු ඔහුගේ කටයුතු නිම්වන තුරු බලාසිටියේ ය. රජගහ සිටුතුමා දාන සංවිධානය කර අනේපිඬු සිටුතුමා වෙත පැමිණ පිළිසඳර කතා කොට අස්නක වාඩි විය. එකල්හි අනේපිඬු සිටුතුමා “පෙර අප මෙහි පැමිණෙන කල්හි ඔබ යොදුනක් දුර පෙරමඟට අවුත් මහත් හරසරින් අප පිළිගෙන අන් සියළු වැඩ නවත්වා අපට සංග්‍රහ කරන්නෙහිය. අද ඔබ මහ කලබලයකින් සේවකයන් රැස් කරගෙන මහා ව්‍යාපාරයක යෙදී සිටින්නෙහි ය. කිමෙක්ද, මේ ගෙදර සෙට දවස ආවාහ මංගල්‍යක් හෝ ඇත්තේද? විවාහ මංගල්‍යක් හෝ ඇත්තේද? මහා දානයක් හෝ දෙන්නට සූදානම් වන්නේහිද? සේනාව සහිත රජතුමාට හෝ නිමන්ත්‍රණයක් කර ඇත්තේද? අද මේ කලබලය කුමක්දැ” යි කීහ. “සිටුතුමෙනි, මෙහි ආවාහයක් හෝ විවාහයක් නැත. රජතුමාට නිමන්ත්‍රණයකුත් කර නැත. සෙට මගේ මහා දානයක් ඇත. බුදුපාමොක් මහ සඟනට සෙට ආරාධනාවක් කර ඇත්තේ ය” යි රජගහ සිටු කීය.
ඈත අතීතයේ පටන් බුදු කෙනෙකුන්ගේ අග්‍රෝපස්ථායක භාවය පතා අවුත් ඇති අනේපිඬු සිටුතුමාට “බුදුන්” යන පදය ඇසෙනු සමඟම ඉමහත් ප්‍රීතියක් ඇති විය. ඔහු නැවතත් “ඔබ බුදුන් යයි කියන්නෙහි දැ” යි රජගහ සිටුවරයාගෙන් ඇසීය. “එසේය සිටු තුමනි බුදුන් යයි කියමි” ටි රජගහ සිටු කීය. අනේපිඬු සිටුතුමා බුදු කෙනෙකුන් ඇති බව කලින් අසා නො තිබිණි. හදිසියේ ඒ නම අසන්නට ලැබීම ඔහුට පුදුමයක් විය. එබැවින් ඔහු දෙවනු තෙවනුවත් ඒ ප්‍රශ්නය ඇසීය. රජගහ සිටු පෙර සේම පිළිතුරු දිණ. ඉක්බිති සිටුතුමා මහත් ප්‍රීතියට පැමිණ “ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දක්නට දැන් යා හැකි දැ” යි ඇසීය. “සිටුතුමෙනි, දැන් ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නට යාමට සුදුසු වේලාව නොවේ. හෙට සුදුසු කාලයෙහි ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නට යනු මැනව” යි රජගහ සිටුතුමා කීය. බුදුරදුන් කෙරෙහි බලවත් ප්‍රසාදයක් ඇති වූ අනේපිඬු සිටුතුමා ගේ සිත බුදුරජාණන් වහන්සේ දෙසටම ඇදී නැමී බරවී සිටියේය. ඔහු සෙට ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දක්නට යමි යි යහනේ වැදහොත්තේ ය. රාත්‍රියේ ප්‍රථම යාමය ඉක්මුණු කල්හි ඔහු නින්දෙන් අවදිව බුදුරදුන් සිහි කළේය. ඔහුගේ සිත අනිකකට නො ගියේය. බුදුරදුන් කෙරෙහි ඇති වූ බලවත් ප්‍රසාදය බලවත් ප්‍රීතිය නිසා ඔහුගේ සිත බුද්ධාරම්මණයෙහි සමාධි විය. සමාධිය ආලෝකයක් ඇති කරන්නකි. භාවනාවෙහි යෙදෙන යෝගාවචරයන්ට සමාධියෙන් වන ආලෝකය අඳුරේ වාඩිවී භාවනා කරන තමන්ගේ ශරීරය පෙනෙන පමණට ඇති වේ. ඇතැමකුට තමන් ඉන්නා ගෙය පුරා ඒ ආලෝකය ඇති වේ. ඇතැමකුට ගෙයින් පිටත ද පෙනෙන සේ ආලෝකය ඇති වේ. සමහරුන්ට යොදුන් දෙක තුන දුරට ආලෝකය ඇති වේ. සමහරුන්ට පොළවෙහි පටන් අකනිටා බඹලොව දක්වා පැතිර සිටින මහා ආලෝකයක් ඇති වේ. භාග්‍යවතුන් වහන්සේට දස දහසක් සක්වළ පුරා පැතිර සිටින ආලෝකයක් ඇති වූ බව කියා තිබේ.
පෙර සිතුල් පවුවේ ගල්ගෙයක් තුළ අමාවක් පොහෝ දිනයක මධ්‍යම රාත්‍රියේ මහාන්ධකාරයේ භාවනාවෙහි යෙදී හුන් යෝගාවචර භික්ෂූන් දෙනමකගෙන් එක් නමක් “ස්වාමිනි, මට දැන් චෛත්‍යංගණයේ මලසුනෙහි පස් පැහැය ඇති මල් පැහැදිලි ලෙස පෙනේය.” යි කීහ යි ද, අනික් නම “ඇවැත්නි, එය පුදුමයක් නොවේ. මට දැන් මහ සයුරෙහි යොදුනක් තැන සිටින මස්කැසබුවෝ ද පෙනෙති” යි කීහ යි ද විශුද්ධි මාර්ගයේ දක්වා තිබේ. සිටුතුමාට ද ඒ අවස්ථාවෙහි ප්‍රීති සහගත සමාධි ආලෝකය ඇති වී රාත්‍රිය ගෙවී හිර උදා වූවාක් මෙන් දැනිණ. ඔහු යහනින් නැගිට සඳළුතලයට ගොස් අහස බලා සඳ දැක තවමත් රාත්‍රිය ය. දැන් ප්‍රථම යාමය ඉක්ම ඇත්තේ ය, පහන් වන්නට තව දෙයාමයක් ඇත්තේ යයි නැවත ද යහන් ගැබට පිවිස සයනය කළේය.
දෙවන යාමය ඉකුත් කල්හි සිටාණන් ද අවදි විය. බලවත් ප්‍රසාදයෙන් බුදුරදුන් සිහි කරන්නට පටන් ගත් ඔහුගේ සිත බුද්ධාරම්මණයෙහි සමාධි වී නැවත ද ආලෝකය පහළ විය. දෙවන වර ද සඳළුතලයට ගොස් සඳ බලා පහන් නොවූ බව දැන නැවත යහනෙහි වැද හොත්තේය. පශ්චිම යාමයේ අවසාන භාගයේ ඔහුට නැවත අවදි විය. එවෙලෙහි ඔහුට සත්මහල් පහයේ දොරවල් ඉබේම ඇරිණ. ඔහු ඒ ආලෝකයෙන්ම ගෙයින් නික්ම මගට බැස නගරද්වාරය කරා ගියේය. ඔහුට අමනුෂ්‍යයෝ නගරද්වාරය අළහ. ඔහු නුවරින් බැහැරට යන කල්හි ඔහුට ලැබී තිබූ ආලෝකය අතුරුදහන් විය. කිසිවක් නොපෙනී ගියේය. එයින් බියපත් වූ ඔහු බුදුන් දක්නට යාම නවතා ආපසු එන්නට සිතුවේය. එය දුටු සීවක නම් දෙවියා නො පෙනී සිට ඔහුට ඇසෙන සේ මෙසේ කීවේය.
“සතං හත්ථි සතං අස්සා සතං අස්සතරීරථා.
සතං කඤ්ඤා සහස්සානී ආමුත්තමණිකුණ්ඩලා,
එකස්ස පදවීතිහාරස්ස කලං නාග්ඝති සොළසිං”
“ඇතුන් සිය දහසක් ද අශ්වයන් සිය දහසක් ද අශ්වතරයන් යෙදූ රථ සිය දහසක් ද යන මේ සියල්ල බුදුන් දක්නට ඉදිරියට තබන එක් පියවරකින් සොළොස් වන කලාව පමණ නො වටනේ ය. ගෘහපතිය, ඉදිරියට යව, ගෘහපතිය, ඉදිරියට යව, ඉදිරියට යාම ඔබට යහපතකි. පසු බැසීම ඔබට යහපතක් නොවේ” ඒ ශබ්දය ඇසීමෙන් සිටුතුමාට නැවත ධෛර්යයක් ලැබිණ. බුද්ධාලම්බන ප්‍රීතිය නැවත පහළ විය. ආලෝකයද නැවත පහළ විය. මඳ දුරක් ඉදිරියට ගිය කල්හි නැවත ද ආලෝකය අතුරුදහන් විය. සිටුතුමා බියපත් ව ආපසු එන්නට සිතුවේ ය. සීවක නම් දෙවියා එවර ද ඔහු උනන්දු කළේය. තෙවන වරද එසේම විය. තුන්වන වරටත් පහළ වූ ආලෝකයෙන් සිටුතුමාට බුදුරදුන් වැඩ සිටින ශීත වනයට යා හැකි විය. අද ලෝකයෙහි “අපි බුදුම්හ, අපි බුදුම්හ” යි කියන්නෝ බොහෝ ඇතහ. මුන්වහන්සේගේ බුදුබවෙහි සැබෑ බොරු බව මම කෙසේ දැනගනිම් ද” කියා සිතක් එහිදී ඔහුට ඇති විය. ඉක්බිති මාපියන් බාල කාලයේ මට තැබූ නම දැන් මා හැර අන් කිසිවෙක් නො දනිති. ඉදින් මුන්වහන්සේ සියල්ල දන්නේ නම් ඒ නමින් මා අමතත්වා යි සිතීය. තථාගතයන් වහන්සේ එවේලෙහි සක්මන් කරමින් හුන් සේක. උන්වහන්සේ දුර සිටම සිටුතුමා එනු දැක, සක්මනින් බැස පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ “සුදත්ත මෙහි එනු” යි ඔහු ඇමතූ සේක. එකල්හි සිටුතුමා “භාග්‍යවතුන් වහන්සේ නමින්ම මා ඇමතූ සේකැ” යි බලවත් ප්‍රීතියට පැමිණ තථාගතයන් වහන්සේගේ පාමුල වැඳ වැටී “ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ සුවසේ සැතපුණු සේක්දෝ” යි විචාළේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ -
“සබ්බදා චෙ සුඛං සෙති - බ්‍රාහ්මණො පරිනිබ්බුති
යො න ලිම්පති කාමෙසු - සීතිභූතො නිරූපධි,
සබ්බා ආසත්තියො චෙත්වා - විනෙය්‍ය හදයෙ දරං
උපසන්තො සුඛං සෙති - සන්තිං පප්පුය්‍ය චෙතසො.”
යනුවෙන් “යමෙක් කාමයන්හි නො ඇලේද කෙලෙස් ගිනි නිවා ගැනීමෙන් සිසිල් වූයේ ද උපධි නැත්තේ ද කෙලෙස් නිවුණා වූ ඒ බ්‍රාහ්මණ තෙමේ සෑම කල්හි සැප සේ නිදන්නේ ය. සකල තෘෂ්ණාව ද සිඳ සිතෙහි ක්ලේශ දාහය දුරුකොට සන්සුන් සිත් ඇති තැනැත්තේ චිත්තයාගේ සන්සිඳීමට පැමිණ සුවසේ නිදන්නේය” යි වදාරා සිටුතුමාට දහම් දෙසන සේක්. දාන කථාදිය වදාරා සිටුතුමාගේ සිත චතුරාර්යසත්‍ය ධර්මය තේරුම් ගත හැකි තත්ත්වයට සකස් වූ කල්හි චතුරාර්ය සත්‍යයන් ප්‍රකාශ කළ සේක. සිටුතුමා සත්‍යාවබෝධයෙන් සෝවාන් ඵලයට පැමිණ තුනුරුවන් සරණ ගොස් උපාසකත්වයට පැමිණියේය.
ඉක්බිති සිටුතුමා භික්ෂු සංඝයා සහිත තථාගතයන් වහන්සේට පසුදින දානයට ආරාධනා කළේය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම් භාවයෙන් ආරාධනාව පිළිගෙන වදාල සේක. දෙවන දින ඔහු රජගහ සිටු නිවසේම දන් පිළියෙල කරවා බුදුපාමොක් මහ සඟනට දන් දී අවසානයේ සැවැත් නුවර වස් විසීමට ද බුදුරජාණන් වහන්සේට ආරාධනා කෙළේය. තථාගතයන් වහන්සේ එය ඉවසා වදාරා දහම් දෙසීමෙන් ඔහුගේ සිත පහන් කළ සේක. සිටුතුමා සැවැත් නුවරට පෙරළා ගොස් අටළොස් කෝටියක් මිලදී ජේත නම් කුමාරයාගේ උයන ගෙන අටළොස් කෝටියක් වියදම් කොට සකලාංග සම්පූර්ණ කොට විහාරයක් කරවා බුදුපාමොක් මහ සඟන වැඩම කරවා අටළොස් කෝටියක වියදමින් විහාර පූජෝත්සවය පැවැත්වීය. ඔහු බුදු සස්නෙහි පරිත්‍යාග කළ ධනය සිවු පනස් කෝටියකි.
අනේපිඬු සිටාණන්ට එපමණ මහත් ධනස්කන්ධයක් බුදුසස්නට පරිත්‍යාග කළ හැකි වූයේ ඔහු තුළ ඇති වූ චිත්තප්‍රසාදයේ ආනුභාවයෙනි. එබඳු බලවත් චිත්තප්‍රසාද නිර්දනයන්ට ද ඇති වේ. එහෙත් ඔවුනට ධන පරිත්‍යාගයක් නො කළ හැකිය. යම්කිසි දුගියකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අනේපිඬු සිටුතුමාට මෙන් බලවත් ප්‍රසාදයක් ඇතිවුවහොත් ධන පරිත්‍යාගයක් නොකළේ ද ඒ චිත්තප්‍රසාදය ම කල්ප බොහෝ ගණනක් දෙව්මිනිස් සැප ලබා දී නිවන් සම්පත්තිය ද ලබා දෙන කුශලයක් වේ. දෝත් නගා වරක් කළ වැඳීමෙන් වරක් කළ පූජාවකින් නිවන් දැක ඇත්තේ එබඳු බලවත් චිත්තප්‍රසාදයක් ඇති වූ පුද්ගලයන් ය. එය ලෝකයේ කලාතුරකින් සිදුවන්නකි. එවැන්නන්ගේ කතා අසා වරක් වැඳීම ම වරක් පිදීම ම නිවන් දැකීමට ප්‍රමාණවත්ය කියා මුලා නොවිය යුතුය.