සර්වඥධාතූන් වහන්සේ

star_outline

ඉක්බිති මල්ල රජු ඔවුන්ගේ සන්ථාගාරය සුවඳ කල්ක ගල්වා සුදු අබ සුන්සාල් සමන් කැකුළු හීතණ විළඳ යන මේවා බිම විසුරුවා රන්තරු රිදී තරු ආදියන් විසිතුරු උඩුවියන් බඳවා තැන තැන මල් මාල එල්ලවා දෙව් විමනක් සේ සරසවා සන්ථාගාරයෙහි පටන් මකුටබන්ධන නම් වූ ඔටුණු පළඳනා ශාලාව දක්වා ඇති මාර්ගයද දෙපස කලාලයෙන් ආවරණය කරවා උඩුවියන් බඳවා රන්තරු රිදී තරු රන්මල් රිදීමල් වලින් සරසවා තැනතැන මල් දම් රුවන් දම් එල්වා පඤ්චවර්ණ ධ්වජයන් නංවා තැනතැන කෙසෙල් ගස් හා පුන්කළස් තබවා පහන් දල්වා සර්වාලංකාරයෙන් සැරසූ ඇතකු පිට ධාතු සහිත දෙන තබා නෘත්‍ය ගීතාදියෙන් පූජා පවත්වමින් මහ පෙරහරින් සන්ථාගාරයට ධාතු සහිත දෙන වැඩම වූහ. ඉක්බිති අනේකාකාරයෙන් සැරසූ සාරමය පර්යංකයෙහි රන් දෙන තබා සේසත් එසවූහ. ඉකුත් සතියෙහි මල්ල රජුන්ට දහස් ගණනින් දසදහස් ගණනින් එහි පැමිණි භික්ෂූන් වහන්සේට ආගන්තුක සත්කාර කරන්නට සිදුවූයෙන් රිසි සේ ධාතු පූජා කරන්නට අවකාශ නො ලැබිණ. එබැවින් ඔවූහු රන් දෙනට කිසි සතුරෙකුට ළං විය නොහැකි වන පරිදි චතුරංගනී සේනාව යොදවා ආරක්ෂා සංවිධානය කොට නෘත්‍ය ගීත වාදිතාදියෙන් ධාතු පූජෝත්සවය කළහ.

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම ඇසූ මගධ රට අජාසත් රජු ද, විශාලා මහනුවර ලිච්ඡවී රජහු ද, කිඹුල්වත්පුරයෙහි ශාක්‍ය රජහු ද අල්ලකප්ප නුවර බුලි නම් රජහු ද, රාමග්‍රාමයේ කෝලිය රජහු ද, වේඨදීපක නම් ගමෙහි බමුණෝ ද, පාවානුවර මල්ල රජහු ද යන මොවුන් අපිත් තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ලැබීමට සුදුස්සම්හ. අපටද චෛත්‍ය හා ධාතු පූජා කිරීමට ධාතූන් වහන්සේ දුන මැනවැ යි කුසිනාරා නුවර මල්ල රජුන් වෙත දූතයන් යැවූහ. සාමයෙන් නුදුනහොත් ගත හැකි අයුරකින් ධාතූන් වහන්සේ ගනිමු යයි ඒ රජහු ද සේනා සමග කුසිනාරා නුවර සමීපයට පැමිණ කඳවුරු බැඳ ගත්හ. කුසින්නාරා නුවර මල්ල රජහු සිතන්නා හු අනික් රටවලට යමක් ඇතිවුවහොත් ඒවා ඔවුන්ම ගන්නවා මිස අපට නො දෙන්නාහ. ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේ අපගේ ආරාධනාවක් නැතුවම අප රටට වැඩි සේක. උන්වහන්සේ විසින්ම අපට දන්වා එවා අප උයනෙහි පිරිනිවන් පා වදාළහ. උන්වහන්සේ එසේ කරන ලද්දේ ධාතූන් වහන්සේ ලැබීමට අපටම සුදුසුකම් ඇති නිසා යයි සලකා පැමිණි රජවරුන්ට ධාතූන් වහන්සේ බෙදා දිය නොහැකි බව දන්වා යැවූහ. සෙසු රජහු ද නැවත නැවත ද තම තමන්ගේ සුදුසුකම් කියා සිටියහ.

ධාතූන් වහන්සේ නිසා රජුන් අතර මග අවි ගැටුමක් සිදුවන්නට යන බව ද්‍රෝණ නම් බ්‍රාහ්බණ ආචාර්යවරයාට අසන්නට ලැබී මහ කාරුණික වූ ක්ෂාන්තිවාදී වූ තථාගතයන් වහන්සේ පිරිනිවුණ තැන ධාතුන් උදෙසා යුද්ධ කරගැනීම සුදුසු කරුණක් නොවේ යැයි සලකා ඔවුන් අතරට ගොස් උස් තැනක සිට දේශනයක් කරන්නට පටන් ගත්හ. ඔහුගේ කථාව බණවර දෙකක් පමණ විය. ඝෝෂාව මහත් බැවින් එක් බණවරයක පමණ වූ ඔහුගේ කථාව කිසිවකුට නො ඇසිණ. දෙවන බණවර අවසානයේ ආචාර්යවරයාගේ හඬ වැනි හඬක් ඇසේ යැයි සියල්ලෝම නිශ්ශබ්ද වූහ. එකල දඹදිව උසස් කුලවල බොහෝ දෙනා ද්‍රෝණ බ්‍රාහ්මණගේ ශිෂ්‍යයෝ වූහ. එහිද ඔහුගේ ශිෂ්‍යයෝ බොහෝ වුහ. එබැවින් ඔවුහු අරගලය නවත්වා ද්‍රෝණ බ්‍රාහ්මණ ගේ හඬට කන් යොමු කළහ. බ්‍රාහ්මණ තෙමේ අප බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයහ. ක්ෂාන්තිවාදියහ. එබඳු උත්තමයෙකුගේ ධාතු සඳහා යුධ කර ගැනීම සුදුසු නැත. යුද කිරීම ඒ මහෝත්තමයාණන්ට කරන අගෞරවයෙක. තථාගතයන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න ජනයා බොහෝය. ඔවුන් හැම උන්වහන්සේ ගේ ධාතුන් පූජා සත්කාර කිරීමට සුදුස්සෝ ය. යනාදීන් කරුණු කියා සැම දෙනාම සමගියන් ධාතූන් වහන්සේ බෙදා ගැනීමට යෝජනා කළේය. සියල්ලෝම එයට කැමති වී ධාතු බෙදීම ද්‍රෝණ බ්‍රාහ්මණ පඬිතුමාට බාර කළහ.

දීර්ඝායුෂ්ක බුදුවරයන් වහන්සේලා ගේ ශාරීරික ධාතුහු නො විසිරී රන් කඳක් සේ ඒකඝනව සිටින්නාහ. අප බුදුරජාණන් වහන්සේ “මම නො බෝ කලකින් පිරිනිවන්නෙමි. මාගේ සස්න තවම සැමතැන නොපතළේ ය. ඒ නිසා මාගේ ශාරීරික ධාතුන් ගෙන පිහිටුවා තම තමන්ගේ පෙදෙස්වල චෛත්‍යන් කරවා වැඳ පුදා බොහෝ ජනයා ස්වර්ගපරායන වන්නාහ” යි “ධාතුහු විසිර සිටිත්වා” යි අධිෂ්ඨාන කළ සේක. එයින් උන්වහන්සේගේ ධාතු ඒකඝනව නො සිට කුඩා කැබලි වී සිටියහ. ධාතුන් වහන්සේගේ ප්‍රවෘත්ති පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දැක්වෙන පරිදි මෙසේ ය. දළදා සතරය අකු දා දෙකය, ලලාට ධාතුවය, යන මේ ධාතුහු නො විසිරී සිටියහ. ඉතිරි ධාතුහු විසිර සිටියහ. ඒ ධාතුන් වහන්සේලාගෙන් ඉතා කුඩා ධාතුහු අබ ඇට පමණ වූහ. මධ්‍යම ධාතුහු මැදින් කැඩුණු සහල් ඇට පමණ වූහ. මහා ධාතුහු මුං පියලි පමණ වූහ. පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි ධාතූන් වහන්සේලාගේ පැහැය පැහැදිලි ලෙස දක්වා නැත. “සුමන මකුල සදිසා ච ධොතමුත්තසදිසා ච සුවණ්ණසදිසා ච ධාතුයො අවසිස්සිංසු” යි විභාගයක් නැතිව ධාතුන්ගේ පැහැය එහිදක්වා තිබේ.

මහන්තා සුවණ්ණවණ්ණා ච - මුත්තවණ්ණා ච මජ්ඣිමා

ඛුද්දකා මකුල වණ්ණා ච - සොළස දොණ මත්තිකා

මේ බුද්ධවංසපාළියේ අග ධාතූන් වහන්සේලාගේ තතු දැක්වීම සඳහා යොදා ඇති ගාථා පෙළක එක් ගාථාවෙකි. එහි දැක්වෙන පරිදි මහා ධාතූන් වහන්සේ රන්පැහැ වන්නාහ. මධ්‍යම ධාතූන් වහන්සේ මුතු පැහැ වන්නාහ. කුඩා ධාතූන් වහන්සේ සමන් කැකුළු පැහැ වන්නාහ. ප්‍රමාණයෙන් සියළුම ධාතූන් වහන්සේ ප්‍රකෘති නැළියෙන් සොළොස් නළියක් වූහ යි පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි කියා තිබේ.

මහන්තා පඤ්ච නාළියො - නාළියො පඤ්ච මජ්ඣිමා

ඛුද්දකා ඡ නාළියො ච - එතා සබ්බාපි ධාතුයො

යන බුද්ධ වංස ගාථාවෙන් මහා ධාතූන් වහන්සේ නැළි පසක් බවත් කුඩා ධාතූන් වහන්සේ නැළි සයක් බවත් දක්වා ඇත්තේය.

ධාතූන් වහන්සේ බෙදා ගැනීම සඳහා මල්ල රජුන්ගේ සන්ථාගාරයට සැමදෙනා රැස්වූ කල්හි ද්‍රෝණ බ්‍රාහ්මණ තෙමේ රන් දෙන විවෘත කරවීය. රජවරු සර්වඥ දේහය නො දැක, රන්වන් ධාතූන් වහන්සේ පමණක් දැක මහත් ශෝකයට පැමිණ හැඬූහ. එකෙණෙහි රජුන්ගේ ප්‍රමාදය දැක බමුණු තෙමේ දකුණු දළදා වහන්සේ තමාගේ ජටාවෙහි සඟවා තබා ගත්තේය. ඉක්බිති බ්‍රාහ්මණ තෙමේ රන් නැළියෙන් මැන එක් එක් නගරයට දෙනැළිය බැගින් ධාතූන් වහන්සේ බෙදා දින.

බ්‍රාහ්මණයා ධාතුන් බෙදද්දී සක්දෙව් රජ දකුණු දළදා වහන්සේ නො දැක කොහිදෝයි විමසනුයේ බ්‍රාහ්මණයා විසින් සඟවා තිබෙන බව දැක, මේ බමුණා ධාතූන් වහන්සේට සුදුසු ලෙස සත්කාර කරන්නට අපොහොසත් ය, ඒ නිසා ඔහුගෙන් එය ගත යුතු යැයි සලකා ධාතූන් වහන්සේ බ්‍රාහ්මණයාගේ හිසෙන් ඔහුට නොදැනෙන පරිදිම ගෙන රන් කරඬුවෙක තබා දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයෙහි තැබීය. බ්‍රාහ්මණ තෙමේ තමා සඟවා ගත් ධාතූන් වහන්සේ නොදැක, සොරාගත් නිසා එය අනිකකුට කියන්නට ද අපොහොසත්ව කලින් තමාට ද ධාතූන් වහන්සේ උවමනා බව නොකී නිසා රජුන්ගෙන් ධාතු ඉල්ලන්නටත් අපොහොසත්ව “ධාතූන් වහන්සේ මැනීම කළ මේ නැළියත් පිදිය යුතු වස්තුවකැ” යි සළකා, රජුන්ට කියා නැළිය ලබා ගත්හ. හෙතෙමේ ධාතුන් බෙදූ නැළිය තබා චෛත්‍යයක් කරවූයේ ය. සෙස්සෝ ද තමතමන්ට ලබා ගත් ධාතුන් පිහිටුවා චෛත්‍යයන් කරවා පූජා සත්කාර කළෝය. මෙසේ ධාතූන් වහන්සේ බෙදූ පසු පිප්ඵලී වන නම් නුවර මෝරිය නම් රජහු ද කුසිනාරාවෙහි තථාගතයන් වහන්සේ පිරිනිවුණු වග අසා තමන්ට ධාතුන් ලබා ගනු සඳහා කුසිනාරාවට දූතයන් යැවූහ. ඔවූහු ධාතුන් නොලැබ දරසෑයේ අඟුරු ගෙන ගොස් ඒවා පිහිටුවා චෛත්‍යයක් කරවූහ. මෙසේ ධාතු චෛත්‍ය අටය. ද්‍රෝණ බ්‍රාහ්මණයාගේ තුම්බචෛත්‍යය, මෝරිය රජුන්ගේ අංගාර චෛත්‍ය යි පළමු වරට දඹදිව චෛත්‍ය දසයක් ඇතිවිය.

ධාතූන් වහන්සේ වැඩ සිටි රන් දෙණ හා ආදාහනයේදී එහි ඉතිරි වූ සළු දෙක, ධාතු බෙදු නැළියට හා අඟුරුවලට වඩා උසස් පූජනීය වස්තුහු ය. ඒවාට කුමක් වී ද කුමක් කරන ලද ද යන බව පොත පතෙහි සඳහන් වී නැත්තේ ය.

අසම්භින්න සත් ධාතූන් වහන්සේලා ගෙන් දකුණු දළදා වහන්සේ සක්දෙව් රජ දෙව්ලොවට ගෙනගිය බව පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. ඉතිරි ධාතූන් වහන්සේ ලා සනම ගැන එහි කිසිවක් සඳහන් නොවේ. පරිනිර්වාණ සූත්‍රයේ අග, පසුකාලයේ දී ලංකාවේ තෙරුන් වහන්සේ විසින් යොදන ලදැයි කියන ගාථා පසක් ඇත්තේය. එහි දෙවන ගාථාව මෙසේ ය.

ඒකා හි දාඨා තිදිවෙහි පූජිතා

එකා පන ගන්ධාරපුරෙ මහීයති

කාලිංග රඤ්ඤො විජිතෙ පුනෙකං

එකං පුන නාගරාජා මහෙති.

මේ ගාථාවෙන් දැක්වෙන්නේ එක් දළදාවක් දෙව්ලොවත්, එක් දළදාවක් ගන්ධාර රටෙහිත්, එක් දළදාවක් කළිඟු රටෙහිත්, එක් දළදාවක් නාගරජෙකු වෙතත් වැඩ සිටිනා බව ය. මේ කරුණ මෙසේ ම බුද්ධවංශ පාලියේ අග ගාථාවක ද දක්වා තිබේ. ඒ මෙසේ ය.

එකා දාඨා තිදසපුරෙ - එකානාග පුරෙ අහු

එකා ගන්ධාරවිසයෙ - එකා කාලිංගරාජිනො

මිහිඳු නම් මහ තෙර කෙනෙකුන් වෙත වැඩ සිටි දළදා වහන්සේ නමක් පිහිටුවා සෝමාවතී චෛත්‍යය කරවූ බව ද කියා තිබේ. කාලිංග දේශයේ වැඩ සිටි දළදා වහන්සේ පසු කළෙක ලක්දිවට වැඩමවන ලදහ. දැනට මහනුවර දළදා මන්දිරයේ වැඩ සිටින්නේ ඒ ධාතූන් වහන්සේ ය. ඉතිරි මහා ධාතූන් වහන්සේ තෙනම ගැන පරිනිර්වාණ සූත්‍රයේ ගාථාවල සඳහන් නොවේ. බුද්ධවංස පාළියේ ඒ ධාතූන් වහන්සේ ගැන දැක්වෙන්නේ මෙසේ ය.

උණ්හිසං සීහළෙ දීපෙ - බ්‍රහ්මලොකෙ ච වාමකං

සීහළෙ දක්ඛිනක්ඛඤ්ච - සබ්බා පෙතා පතිට්ඨිතා

ලලාට ධාතූන් වහන්සේ සිංහල්ද්වීපයේ ද වම් අකුදා වහන්සේ බ්‍රහ්ම ලෝකයෙහි ද දකුණු අකුදා වහන්සේ සිංහල්ද්වීපයේ ද පිහිටි සේක් ය යනු එහි තේරුමයි.

දකුණු අකු ධාතූන් වහන්සේ කලින් සක්දෙව් රජ වෙත තිබී මිහිඳු මහ රහතන් වහන්සේ ගේ නියෝගයෙන් සුමණ සාමණේරයන් විසින් ලක්දිවට වැඩම වන ලද බවත් අනුරාධපුරයේ ථූපාරාම චෛත්‍යයෙහි ඒ ධාතූන් වහන්සේ පිහිටවන ලද බවත් විනය අටුවා ආදියෙහි කියා තිබේ.

ලලාට ධාතූන් වහන්සේ ගේ පුවත ධාතුවංසයෙහි මෙසේ දැක්වේ. ධාතු බෙදීමේදී ලලාට ධාතූන් වහන්සේ මල්ල රජුන්ට හිමි වූ කොටසට අයත් වූහ. මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ “බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී ලලාට ධාතූන් වහන්සේ ලක්දිව පිහිටවන ලෙස වදාරා ඇත්තේය” යි කියා මල්ල රජුගෙන් එය ලබා ගෙන තමන් වහන්සේගේ සද්ධිවිහාරික මහා නන්ද නම් තෙරුන් වහන්සේට “අනාගතයෙහි ලක්දිව මහවැලි ගඟතෙර සේරු නම් විල් තෙර වරාහසොණ්ඩ නම් තැන මේ ධාතූන් වහන්සේ පිහිටවා කාවන්තිස්ස නම් රජෙක් චෛත්‍යයක් කරවන්නේය” යි කියා ආරක්ෂා කරන ලෙස භාර කළහ. පරම්පරාගතව මහතෙරුන් වහන්සේලා විසින් ආරක්ෂා කරගෙන ආ ඒ ධාතූන් වහන්සේ පසු කාලයකදී කාවන්තිස්ස රජතුමා සත් රුවනින් බුදුරුවක් කරවා එහි නලලත පිහිටුවා, හිසැ තථාගතයන් වහන්සේගේ කේශධාතුන් වහන්සේද පිහිටුවා ඒ බුදුපිළිමය තබා සේරුවිල මංගල චෛත්‍ය කරවීය. ලලාට ධාතුව පිහිටුවා කාවන්තිස්ස රජතුමා කරවූ චෛත්‍ය තිස්සමහාරාම චෛත්‍ය යැයිද කියති. ලලාට ධාතූන් වහන්සේ පිහිටි තැන ගැන මත්භේද ඇත්තේ ඒ චෛත්‍ය දෙකම ඒ රජතුමා විසින්ම කරවන ලද චෛත්‍යයන් වන බැවිනි.

පළමු වරට දඹදිව ශාරීරික ධාතු චෛත්‍ය අටක් ඇතු වූ පසු මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ අනාගතයෙහි ඒ ධාතූන් වහන්සේලාට තීර්ථකයන්ගෙන් අනතුරු පැමිණිය හැකි බව දැක ඒ බව අජාසත් රජතුමාට දන්වා රාමග්‍රාමයේ ධාතූන් වහන්සේ හැර ඉතිරි සත්තැන පිහිට වූ ධාතූන් වහන්සේ ගෙන ධර්මාශෝක රජතුමා විසින් දඹදිව යොදුනෙන් යොදුන චෛත්‍යයෝ කරවන ලදහ. ඒ ධාතූන් වහන්සේලා ගෙන් පාත්‍රයක් පුරා ලක්දිවට ද ලැබිණ. දෙවන පෑතිස් රජතුමා ඒ ධාතූන් වහන්සේලා පිහිටුවා ලක්දිව ද යොදුනෙන් යොදුන චෛත්‍ය කරවීය.

කෝලිය රජු විසින් රාමග්‍රාමයේ ගංතෙර කරවන ලද දාගැබ පසු කාලයේ ගංවතුරෙන් බිඳී ආ කරඬුව මුහුදට ගොස් නා රජුන්ට හමුවී මඤ්ජේරික නම් නාග භවනයට වැඩම කරවනු ලැබ, එහි තිබී පසු කළෙක ලක්දිවට වැඩමවා රුවන්වැලි මහා සෑයෙහි වඩා හිඳවනු ලැබූහ. අද ලෝකයේ සර්වඥ ධාතූන් වහන්සේ ලා වැඩි ගණනක් වැඩ සිටින්නා වූ ස්ථානය රුවන්වැලි මහා සෑය ය.

ප්‍රථම බෝධියේ දී තථාගතයන් වහන්සේ තපස්සු භල්ලුක නම් වෙළඳ දෙබෑයන්ට තමන් වහන්සේගේ හිස පිරිමැද අතට ආ කේශධාතුන් දුන් සේක. ධාතූන් වහන්සේ රැන්ගුන් නුවර ශ්වේදගොන් චෛත්‍යයෙහි ඇත යයි බුරුම ජාතිකයෝ කියති. සේරුවිල මංගල චෛත්‍යයෙහි ඇත යයි ධාතු වංශයෙහි කියා තිබේ. බුදුරජාණන් වහන්සේ බුදුවීමෙන් නව වන මස දුරුතු පසළොස්වක පොහෝ දිනයේ මහියංගණයට වැඩ වදාළ අවස්ථාවෙහි සමන්තකූට පර්වත වාසී සුමන සම්න් දෙව් රදුන්ට ද කේශධාතුන් දුන්සේක. ඒ ධාතූන් වහන්සේ පිහිටුවා මහියංගණ චෛත්‍ය කරවන ලද්දේය. නැවත බුදුරදුන් පිරිනිවී ආදාහනය කරන කල්හි සැරියුත මහ තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයකු වන සරභූ නම් රහත් තෙර කෙනෙකුන් විසින් තථාගතයන් වහන්සේගේ ග්‍රීවා ධාතුව ඇවිලෙන දර සෑයෙන් සෘධිබලයෙන් ගෙන මියුගුණ දාගැබෙහි පිහිටවූ බවද කියා තිබේ. මෙතෙකින් කියන ලද සර්වඥ ධාතූන් වහන්සේලා හැර තවත් බොහෝ ධාතූන් වහන්සේලා ලෝකයෙහි ඇති බව කිව යුතුය.

චත්තාළීස සමාදන්තා - කෙසා ලොමා ච සබ්බසො

දෙවා හරිංසු එකෙකං - චක්කාවාලපරම්පරා

මෙය මහා පරිනිර්වාණ සූත්‍රයේ අන්තිම ගාථාව ය. බුද්ධවංස පාළියේ අග ද මේ ගාථාව දක්නා ලැබේ. තථාගතයන් වහන්සේගේ දත් සතළිස හා කේශ ලෝමයන්ද දෙවියන් විසින් චක්‍රවාළ පරම්පරාවෙහි ගෙනයන ලද බව ඒ ගාථාවෙන් දැක්වේ.

බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව මිහින්තලා පර්වතයේ සේල චෛත්‍යයෙහි ද නියදා වහන්සේ නමක් දීඝවාපී චෛත්‍යයේ ද පිහිටා ඇති බව ලංකාවේ පොත්වල දැක්වේ.