පාංසුකූල සඤ්ඤක තෙරුන් වහන්සේ

මෙයින් දෙ අනූ කපකට පෙර තිස්ස නම් බුදුන්වහන්සේ ලොව පහළ වූ සේක. දිනක් උන්වහන්සේ පාංසුකූලචීවරය ගසක වනා විහාරයට පිවිස වැඩහුන් සේක. සතුන් මරා ජීවත් වන මිනිසෙක් දුන්න හා කඩුවක් ගෙන දඩයමට යන්නේ වනයෙහි ගස මුදුනක තිබූ ඒ පාංසුකූලචීවරය දැක දුන්න හා කඩුව බිම තබා ප්‍රසන්න සිතින් මහත් ප්‍රීතියෙන් බුදුන්වහන්සේ සිහි කොට පරිභෝග චෛත්‍යයක් වන ඒ පාංසුකූලචීවරයට දොහොත් නඟා වැන්දේ ය. ඒ පිනෙන් ඒ තැනැත්තා දෙ අනූ කප මුළුල්ලෙහි සුගතියෙන් සුගතියට යෙමින් සසර සැරිසරා අප බුදුන්ගේ සස්නෙහි පැවිදිව රහත්ව නිවන් දුටුවේ ය.

ද්වෙ නවුතෙ ඉතො කප්පෙ - පංසුකූල මවන්ද’හං,

දුග්ගතිං නාභිජානාමි - වන්දනාය ඉදං ඵලං.

මේ පාංසුකූල සඤ්ඤක තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයෙකි. “මෙයින් දෙ අනූ වන කපෙහි මම පාංසුකූලයට වැන්දෙමි. ඒ පිනෙන් මෙතෙක් මම දුර්ගතිය නොදනිමි. මෙය වන්දනාවේ විපාකය” ය යනු එහි තේරුමයි. මේ කථාව අපදාන පාළියෙහි ආයේ ය. විමානවත්ථූපකරණයෙහි එන චණ්ඩාලි දෙව්දුවගේ කතාවද වන්දනානිසංසය දැක්වෙන කථාවෙකි. එය මෙහි අන් තැනක දක්වා ඇත.