නො පිළිගන්නා පූජාව

අජීවමාන බුදුවරුන් රහතුන් උදෙසා කරන පූජා උන්වහන්සේ ලා නො පිළිගන්නාහ. පරිභෝග නොකරන්නාහ. නොපිළිගන්නා වූ, පරිභෝග නොකරන්නා වූ නැති බුදුවරුන්ට, නැති රහතුන්ට පිදීමෙන් පිනක් ලැබේද? ඵලයක් ලැබේද? යනු මේ පූජාවන් පිළිබඳව ඇතැමුන් නඟන ප්‍රශ්නයකි. ඔවුන් ඒ ප්‍රශ්නය නඟන්නේ පින් පව් නො හැඳිනීම නිසාය. ජීවමාන බුදුරජාණන් වහන්සේට යම්කිසිවක් පූජා කරන කල්හි පින වන්නේ තථාගතයන් වහන්සේගේ පිළිගැනීම හෝ පරිභෝග කිරීම නොව පූජා කරන තැනැත්තා තුළ ඇතිවන ඒ වස්තුව තථාගතයන් වහන්සේට පිරිනමන ප්‍රසාදයෙන් යුක්ත සිත ය. පූජා කලහුට අනාගතයේ ඉෂ්ට විපාක ඇතිකර දෙන්නේ ද තථාගතයන් වහන්සේ විසින් නො ව පූජකයා තුළ ඇති වූ කුශල චිත්තයෙන්ම ය. යම්කිසි පූජාවක් කරන තැනැත්තකුට කුශලය ඇතිවන්නේ ඒ පූජාව පිළිගැනීමට ප්‍රථමයෙනි. ප්‍රතිග්‍රාහකයා විසින් පූජාව පිළිගන්නේ කුශල චිත්තය ඇති වූවාට පසුවය. පරිභෝග කරන්නේ ඊටත් පසුවය. පිළිගැනීම්, පරිභෝග කිරීම් දෙක සිදු නො වීමෙන් කලින් ඇති වූ කුශල චිත්තයට හෝ එයින් ලැබෙන විපාකයට හෝ වන හානියක් නැත. බාල කාලයේ තථාගතයන් වහන්සේ ඇති දැඩි කළ උන්වහන්සේ ගේ කුඩා මෑණියන් වන මහා ප්‍රජාපති ගෝතමී තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති මහත් භක්තිය නිසා උන්වහන්සේට සිවුරු පිණිස සළු සඟලක් පුදනු කැමැත්තී, රජගෙදර ගබඩාවල,බොහෝ අගනා වස්තු ඇතද ඒවා නොගෙන පුළුන් ගෙන්වා සියතින් ම නූල් තනා සියතින් ම සළු සඟලක් වියා කරඬුවක බහා හිස මත තබාගෙන දාශිගණයා හා තථාගතයන් වහන්සේ වෙත පැමිණ “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, මා විසින් නුඹ වහන්සේ උදෙසා සියතින්ම නූල අඹරා සියතින් ම වියා පිළියෙල කළ මේ සළු සඟල මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා” යි සැල කළාය. එකල්හි තථාගතයන් වහන්සේ “සංඝෙ දෙහි ගොතමී, සංඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පුජිති භවිස්සාමි සංඝො ච” යනුවෙන් ‘ගෞතමිය; සංඝයාට දෙව; ඒවා සංඝයාට දුන් කල්හි මම පූජා කරන ලද්දේ වෙමි. සංඝයා ද පූජා කරන ලද්දේ ය’ යි වදාරා ගෞතමිය ගේ පූජාව ප්‍රතික්ෂේප කළ සේක. තථාගතයන් වහන්සේ ලෝකයෙහි අග්‍රදක්ෂිණෙය්‍ය වන සේක. සංඝයාට පිදීමෙන් බුදුනට පිදීමෙන් වන කුශලය තරම් මහත් කුශලයක් නො වේ. සළු සඟල ප්‍රතික්ෂේප කිරීමෙන් තථාගතයන් වහන්සේට එය පිදීමේ කුශලය නැති වී යතහොත් බොහෝ වෙහෙසී ලබාගන්නට තැත්කළ ඒ කුශලය ලබාගන්නට නොදී එයට කුඩා කුශලයක් ලබා ගන්නට සැලැස්සීම තථාගතයන් වහන්සේ විසින් සිය මැණියන්ට කරන ලද ඉමහත් අපරාධයකි. බුදුවරයෝ මාපියන්ට ගරු කරන්නාහ. කිසි කලෙක අපරාධයක් නො කරන්නාහ. තථාගතයන් වහන්සේ තමන් වහන්සේට කළ පූජාව ප්‍රතික්ෂේප කොට එය සංඝයාට පුදන්නට නියම කරන ලද්දේ මහා ප්‍රජාපතී ගෝතමියට අතිරේක වශයෙන් තවත් කුශලයක් ලබා දීම පිණිස ය. මේ වස්ත්‍ර පිළිගන්නා සේක්වා යි කියා තථාගතයන් වහන්සේ ඉදිරියේ ඒ වස්ත්‍ර තැබූ පසු ඇගේ පින සිදුවී අවසානය. ඇයට බුදුරදුන් පිළිබඳව පූර්ව චේතනා, මුඤ්චන චේතනා, අපර චේතනා යන කුශල චේතනාත්‍රය ඇති වී අවසාන ය. තථාගතයන් වහන්සේ විසින් පිළිගැනීමෙන් හෝ නො පිළිගැනීමෙන් හෝ ඒ ඇති වූ කුශල චේතනාවලට වන අමුත්තක් නැත. තථාගතයන් වහන්සේගේ නියෝගයෙන් පිරිකර නැවත සංඝයාට පිදූ කල්හි ඇයට සංඝයා සම්බන්ධයෙන් ද පූර්ව චේතනා, මුඤ්චන චේතනා, අපර චේතනා යන චේතනාත්‍රය ඇතිවීමෙන් කුශල චේතනා සයක් වන්නේ ය. එයින් ඇයට වස්ත්‍ර පූජාව අධිකතර මහත්ඵල මහානිසංස වන්නේ ය. “තථාගතයන් වහන්සේ ගෝතමියගේ පූජාව ප්‍රතික්ෂේප කළේ ඒ කරුණ නිසා ය. නැත්තා වූ අජීවමාන බුදුවරුන්ට ආහාර පාන වස්ත්‍රාදිය පිදූ කල්හි ප්‍රතිග්‍රාහකයන් නැති කමින් පූජා කරන්නහුගේ පිනට හානියක් නැති බව ජීවමාන බුදු කෙනෙකුන්ට පූජා කිරීමෙන් වන කුශලයට සමාන කුශලයක් අජීවමාන බුදුවරුන්ට පිදීමෙනුත් ලැබිය හැකි බව කියන ලද කරුණු අනුව තේරුම් ගත හැකිය. පූජා කිරීමට බුදු කෙනෙකුන් නැතය කියා සංඝයා නැතය කියා පසුබට නොවී පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේට හැකි පමණින් පුදා බුද්ධ පූජාමය කුශලය අත්පත් කරගෙන සඟමොක් සැප ලබත්වා!